Colombo Today Local NewsNew Constitution

ඒකීය ලේබලයෙන් එන ෆෙඩරල් ව්‍යවස්ථාව ගැන විමල්ගෙන් විවරණයක් !

wimal-33

ඒකීය ලේබලය යටතේ ෆෙඩරල් ව්‍යවස්ථාවක් රැගෙන ඒමට වත්මන් ආණ්ඩුව ඉතාමක් සූක්‍ෂ්ම ලෙස කටයුතු කරමින් සිටින බවත් එබැවින් ‘ලේබලේ මොනවා තිබුණත් බෝතලේ ඇතුළේ තිබෙන්නේ කුමක්ද? ’ යන කාරණය කෙරෙහි දැඩි අවධානයක් යොමුකළ යුතුව ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

ඒ මහතා මෙසේ පැවසුවේ ඊයේ (12) කොළඹ සම්බුද්ධව ජයන්ති මන්දිර දේශන ශාලාවේදී ‘රනිල්ගේ නව ව්‍යවස්ථාව රට රකින්නද? රට බෙදන්නද?’ යන තේමාව යටතේ තම නවතම දේශනමාලාවේ පළමු වැන්න සිදු කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කර සිටියේය.

“2015 ජනවාරි 08 වැනිදා සිදු වූ බල පෙරළියත් සමඟ 2009 මැයි 19 වැනිදා අවසන් කළ මාතෘකාවලට නැවත පණ එමින් තිබෙනවා. අපි ඉන්දු – ලංකා ගිවිසුම පිළිබඳව වද වූ පරම්පරාවක නියෝජිතයන්. පාසලෙන් සුදු ඇඳුම ගලවලා දාලා. උසස් පෙළ පංතියෙන් අපි එළියට එන්නේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා අත්සන් තැබූ ඉන්දු – ලංකා ගිවිසුම අපේ ජීවිතවලට කළ බලපෑම හින්දයි. ඉන්දියාවේ බලපෑමට යටත් වෙලා, ඇඳිරි නීතිය දමලා ඊට එරෙහිව පෙළපාලි ගිය මිනිස්සුන්ට වෙඩි තියලා අත්සන් කරපු ඉන්දු – ලංකා ගිවිසුම සහ ව්‍යවස්ථාවට එක් කළ 13 වන සංශෝධනය එතෙක් නිදහසේ ගලාගෙන ගිය අපේ ජීවිතවල රිද්මය වෙනස් කළා. පර හමුදාවක් කඩා වැදිලා ලක්මාතාව මහදවල් කෙලෙසා දමන විට ආත්ම කේනද්‍රීය වීම පසෙකලා ලක්මාතාව වෙනුවෙන් වූ සිහිනයක් වෙනුවෙන් සටන් වදින්න අපේ පරම්පරාවේ බොහෝ අයට සිද්ධ වුණා. ඒ සටනේ හිටපු බොහෝ දෙනෙක් අද ජීවතුන් අතර නැහැ. ඒ අය සටනට ආවේ මව් පොළාවේ ඒකීයභාවය රකින්නයි. ඒ වගේම බෙදුම්වාදයට කත් අදින ගමනක් පරාජය කිරීම සඳහායි. අපි දේශපාලනයේ ‘අ’ යන්න කීවේ මේ මූලික කාරණා පදනම්කර ගෙනයි.

නමුත් එවැනි දේශපාලන ක්‍රියාදාමයකට අවතීර්ණ වූ අපේ පරම්පරාවට අපේ ජිවිත කාලය තුළදී තවත් එවැනිම බරපතළ ගිවිසුමක් අත්සන් තබන ආකාරය බලා ඉන්න සිදු වුණා. ඒ තමයි රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා කොටි සංවිධානයේ නායක වෙළුපිල්ලේ ප්‍රභාකරන් සමඟ 2002දී අත්සන් කළ ්සටන් විරාම ගිවිසුම.’ එතැනදි වුණේ කුමක්ද? ‘ඒකියභාවය’ ව්‍යවස්ථාවේ ලේබලයක් ලෙස තිබියදී ව්‍යවස්ථාවට පරිබාහිරිව ස්වාධීන වෙනම රාජ්‍යයක ලක්‍ෂණ අන්තර්ගත කිරීමයි සටන් විරාම ගිවිසුමෙන් සිදුවුණේ. එතැනදි රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට ව්‍යවස්ථාවට අත තැබීමේ ඉඩ ප්‍රස්ථාව තිබුත්‍ණ් නැහැ. එදා චන්ද්‍රිකා මැතිනිය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායිකාව සහ ජනාධිපතිවරිය ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව සිටියා. එතුමියට අදට වඩා එදා සිහිබුද්ධිය තිබුණා. එතුමිය එදා රනිල් වික්‍රමසිංහ සමඟ ජාතික ආණ්ඩුවකට ගියේ නැහැ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ පාලනයට පාර්ලිමේන්තුව තුළ තුනේ දෙකක බලයක් තිබුණේ නැහැ.

‘රනිල්ගේ සටන් විරාම ගිවිසුම වනාහි…’

එදා බටහිර ස්වාමියා තම දේශීය ඒජන්තයා වූ රනිල් වික්‍රමසිංහට කීවා, ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එසේ තිබියදී ප්‍රායෝගිකව ඉන් පරිබාහිරව වෙනම රාජ්‍යයක් සඳහා වූ අඩුමකුඩුම ටික දෙන්න.’ කියලා. 2002දී රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්සන් තැබීමට යෙදුණු සටන් විරාම ගිවිසුම වනාහි දෙමළ බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදය වෙනම පාලනයක් ලෙස පිළිගෙන අත්සන් තබන ලද ගිවිසුමක්. මම දැක්කා මෑත දිනකදි රනිල් වික්‍රමසිංහ මහතා ‘අද’ පුවත්පතට පවසා තිබුණා. ‘කොටිත් එක්ක මම ගිවිසුම් ගහලා නැහැ’ කියලා. එහෙමනම් අපිද කොටිත් සමඟ සටන් විරාම ගිවිසුම ගැහුවේ?

‘සුක්‍ෂ්ම ඔත්තු සේවා මෙහෙයුම’

2015 ජනවාරි 08 වැනිදා සිදු වූ ඔත්තු සේවා මෙහෙයුම ඉතාමත් සුක්‍ෂ්ම ඔත්තු සේවා මොහෙයුමක්. ‘සටන් විරාම ගිවිසුම’ හරහා දෙමළ ඊළම බිඑි කරන්න බැරි වුණේ ඇයි?’ කියන කරුණ ඉතාමත් හොඳින් අධ්‍යයනය කරලා ඉදිරියේ එවැනි අවුලක් සිදු නොවන ආකාරයේ න්‍යාය පත්‍රයක් දිගේලි කිරීමයි ජනවාරි 08 වැනිදා සිට ඇරඹුණේ. ජනවාරි 08 වැනිදා මේ බල පෙරළියට දායක වුණු පිරිසට පාඩුවක් වුණේ නැහැ. ජවිපෙ අනුර දිසානායකට නියෝජ්‍ය අමාත්‍යවරයකුගේ වරප්‍රසාද සහිත විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ලැබුණා. දෙමළ ජාතික සන්ධානයේ ආර්. සම්බන්ධන්ට කැබිනට් අමාත්‍යවරයකුගේ වරප්‍රසාද සහිත විපක්‍ෂ නායක ධුරය ලැබුණා. දැන් මහා ඡන්දයෙන් පසුව ආණ්ඩුවට ගිය නිල් අලිපැටව් ටිකකටත් ඇමති, නියෝජ්‍ය ඇමති හෝ අධීක්‍ෂණ මන්ත්‍රී ‘සන්තෝසම්’ දීලා පාර්ලිමේන්තුවේ නඩත්තු කරන්නේ ඇයි? බටහිරින් ලබාදී ඇති තීරණාත්මක කොන්ත්‍රාත්තුවක් ඉටුකර ගැනීමටයි.

‘පාර්ලිමේන්තුවට ලබාදී ඇති බරපතල කොන්ත්‍රාත්තුව’

දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා ‘ආණ්ඩුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන්නේ නැහැ. පාර්ලිමේන්තුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරමින් ඉන්නවා’ කියලා. මේ අය දැන් ‘පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් කළා’ කියලයි කියන්නේ. ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පස්දෙනා නම් ඔය ‘ව්‍යවස්ථා සම්පාදනයට’ සම්බන්ධ වුණේ නැහැ. වැරදීමකින් වීරකුමාර දිසානායක මන්ත්‍රීතුමාගේ නම දමා තිබුණා. අපි ඒකත් පසුව ඉවත්කර ගත්තා. අපි ඒ ක්‍රියාදාමයට සම්බන්ධ වන්නේ නැහැ. සම්බන්ධ වන්නේ නැත්තේ ඇයි? බටහිරට, බෙදුම්වාදීන්ට අවශ්‍ය ව්‍යවස්ථාව මෙමගින් අද හැදෙන නිසයි. නමුත් මේ බටහිරට, බෙදුම්වාදීන්ට අවශ්‍ය ව්‍යවස්ථාවට සළුපිළි අන්දවනවා, ‘පාර්ලිමේන්තු ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය විසින් සාදන ලදී’ කියලා. අවසානයේදී බලපුවාම මේක පාර්ලිමේන්තුව විසින් හදපු එකක් නොවෙයි. ජයම්පති වික්‍රමරත්න විසින් හදපු එකක් එයා තමයි මේ නව ව්‍යවස්ථාවේ සුළු පියා. මේ නාටකය මගින් පෙන්වන්න හදන්නේ ‘මුළුමහත් පාර්ලිමේන්තුව විසින් තමයි මේ ව්‍යවස්ථාව හදන්නේ’ කියන එකයි. ප්‍රතිවිරුද්ධ දේශපාලන පාර්ශ්වයේ අය මේ නාටකයේ නළුවන් වීමෙන් කිසිදු ඵලක් නැහැ.

එදා මේ රටේ දේශප්‍රේමී, ජාතිකවාදී බලවේගවලට පුළුවන් වුණා උපාය උපක්‍රම පාවිච්චි කරලා පැකේජ් වාදී චන්ද්‍රිකාව රනිල් වික්‍රමසිංහගේ පාලනය පෙරළන මෙහෙයුමකට එකඟකර ගන්න. එහි ප්‍රතිඵලයක් ලෙස 2004දී ගෙදර යවපු ‘වික්‍රමසිංහ සුලිය’ 2015දී ආයෙත් එනවා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයාව ඉස්සරහට දාලා ජනතාව නොමඟ යවලා ජනවාරි 08 වැනිදා ඔවුන් අවශ්‍ය ‘වෙනස’ කරගන්නවා.

‘රනිල්ගේ ව්‍යවස්ථා පැකේජය’

1987 ජේ.ආර්ගේ පාලනය යටතේ සහ 2001-2004 රනිල්ගේ පාලනය යටතේ මතුවූ අනතුර මේ මෛත්‍රී-රනිල් පාලනය යටතේත් යළි ජාතිය හමුවේ මතුව තිබෙනවා. ‘1987 ඉන්දු – ලංකා ගිවිසුමෙන් රට බෙදෙනවා, 13වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් බෙදුම්වාදයට උඩගෙඩි දෙනවා’ කියලා ගොඩනැගුණු මතවාදයට අනුව අපි එදා දේශපාලනය ඉදිරියට මෙහෙයවනු ලැබුවා. එහෙම අපට අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ වර්තමාන ව්‍යවස්ථා පැකේජය සහ එම පැකේජය හරහා ක්‍රියාත්මක කරන්න හදන මෙහෙයුමේ කෙළවර නොතේරෙනවානම් ඒක පුදුමයක්. අපේ පරම්පරාවට, එහෙම වෙන්න බැහැ. නමුත් ‘ඩීල් දාපු අයට එහෙම වෙන එක සාමාන්‍ය සංසිද්ධියක් පුංචි අම්මා පාෟ එතකොට තේරෙනවානේ, ‘ඩීල් දාපු අය කවුද?’ කියලා.

‘මේ ගොන්නු ටික ඉව අල්ලන පැලය’

ඒ නිසා අපට අත්හල නොහැකි වගකීමක් තිබෙනවා ‘සිදුවන්නේ කුමක්ද?’ කියලා කල්තියා හදුනාගැනීමට. අපේ ප්‍රතිවාදීන් කියනවා ‘ව්‍යවස්ථා කෙටුම්පතක් තවම සකස් කරලා තිබෙනවාද? ඉතින් කළබල වෙන්නේ ඇයි?’ කියා. කෙටුම්පතක් නොමැති වුණාට මහත්වරුනි, ‘රනිල් වික්‍රමසිංහ කියන්නේ කවුද?’ කියන එකට අපට කෙටුම්පත් හැටහුට හමාරක් තිබෙනවා. ‘චන්ද්‍රිකාගේ පැකේජය හදන්න මුල් වුණු ජයම්පති වික්‍රමරත්නලා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගුවේ ඇයි? කියන එක ගැනත් අපිට හොඳ අවබෝධයක් තිබෙනවා. වචන, වගන්ති, කෙටුම්පත් නැති වුණාට ‘මේ ගොන්නු හැරෙන කොට කියන්න පුළුවන් ඉව අල්ලන්නේ මොන පැලයටද?’ කියලා.

‘ත්‍රිවිධාකාර අනතුර’

අද මේ මව් පොළොව ත්‍රිවිධාකාර අනතුරකට මුහුණ පා තිබෙනවා. එකක් තමයි ජාතික ආරක්‍ෂාව හා ආරක්‍ෂක හමුදාවන් බෙලහීන කිරීම ඒක දිනපතා සිදු වෙනවා. අතුරුදහන් වූවන් පිළිබඳ පනත් එන්නේ සහ අනාගතයේදී යුද අපරාධ අධිකරණ පිහිටුවන්නෙත් මේ මෙහෙයුමට අදාළ ජවනිකා හැටියටයි.

ඊළඟ අනතුර තමයි රාජ්‍යය දේශපාලන වශයනේ බෙලහීන කිරීම. බෙදුම්වාදයට, අන්තවාදයට උඩගෙඩි දෙන ලිහිල් ලෙස විසුරුණු රාජ්‍යයක් බවට ව්‍යුහාත්මකව මේ රාජ්‍යය පත් කිරීම තමයි එමගින් වෙන්නේ. ඉහත කී ව්‍යවස්ථා සම්පාදක ක්‍රියාදාමය හරහා සිදුවන්නේ එයයි. තවත් අනතුරක් එනවා ඒ තමයි ගෝලීය සමාගම් වලල්ලට උවමනා ආකාරයට ලංකාවේ ආර්ථිකයට අදාළ නීතිරිතී වෙනස් කිරීම. ඊට අදාළ පනත් කෙටුම්පත් 15ක් පමණ පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව තිබෙනවා. නිදහස් සෞඛ්‍ය සේවය අහිමි කරන, රාජ්‍ය බැංකු ටික විකුණා දමන, ගොවියාගේ බීජ නිෂ්පාදන අයිතිය පැහැරගන්න ඉඩම් වෙළඳ පොළ විදේශිකයන්ට මිලදී ගැනීම් සිදුකළ හැකි පරිදි සක්‍රීය කරන පනත් කොටුම්පත් රැසක් පාර්ලිමේන්තුවේ සම්මතකර ගැනීමට නියමිතයි.

‘කෝටි 08ක බැලුන් යවපු නිල් අලිපැටියා’

ඒ අනුව 20015 ජනවාරි 08 වැනිදා සිට මේ මව් පොළොව තුන් පැත්තකින් බෙලහීන වෙනවා. මේ රට තුන් පැත්තකින් බෙලහීන කිරිමේ කොන්ත්‍රාත්තුව ඉටු කිරීම පමණයි මේ ආණ්ඩුව ජනවාරි 08 වැනිදා සිට කරපු එකම කාර්යය. ඊට අමතරව යමක් කළනම් ඒ තම දේශපාලන ප්‍රතිවාදීන් දඩයම් කිරීමයි. අද බොහෝ නාලිකාවල ප්‍රවෘත්ති විකාශන පිරි ඇත්තේ ප්‍රතිවිරුද්ධ දේශපාලනඥයන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගැනීම, ඔවුන් උසාවියට ඉදිරිපත් කිරීම හා උසාවියෙන් ඇප පිට නිදහස් වීම යන ජවනිකා තුනකින්. මටත් සැප්තැම්බර් 14 වැනිදා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට එන්න කියලා තිබෙනවා. අමාත්‍ය ධුරය දරන කාලයේ භාවිතා කළ වාහන ගැන ප්‍රශ්න කරන්නලු. හරියට මම පමණක් වාහාන භාවිතා කළා වගේ. දැන් ආණ්ඩුවේ ඉන්න එක නිල් අලිපැටියෙක් රජයේ අරමුදලකින් කෝටි 08ක් වියදම් කරලා බැලූන් යවලා තිබෙනවා. ඒවා ඉතිං රතු අලිපැටියාටත් ප්‍රශ්නයක් නැහැ. එයාටත් ඕනෙ ඒකාබද්ධ විපක්‍ෂයේ කවුරුන් හෝ හිරේට යවන්න විතරනේ. අර ‘ශිවන්‍යා’ බලනවා වගේ කට ඇරගෙන ඒ ජවනිකා දෙස ජනතාව බලා සිටියදී අනෙත් පැත්තෙන් මව් පොළොවට එල්ල කරන්න පුළුවන් දරුණුම ප්‍රහාරය මේ ආණ්ඩුව අද එල්ල කරමින් සිටිනවා.

‘ජිනීවා – ගිවිසුම’

එදා ඉන්දු – ලංකා ගිවිසුම ආවා ඉන්පසුව සටන් විරාම ගිවිසුම ආවා. අද මේ ක්‍රියාත්මක වෙන්නේ ජිනීවා ගිවිසුමයි. අද ජිනීවා ගිවිසුම සමඟ තමයි අපි ඉහතදී කතා කළ මේ රාජ්‍යය දුබල කිරිමේ ත්‍රිවිධාකාර මෙහෙයුම් ක්‍රියාත්මක වෙන්නේ. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඇමෙරිකා එක්සත් ජනපදය ගෙන ආ යෝජනාවේ සම අනුග්‍රාහකයා බවට මෙරට විදේශ අමාත්‍ය මංගල පින්සිරි සමරවීර පත් වුණා. එම යෝජනාවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඞ් අල් හුසේයින්ගේ වාර්තාවත් අන්තර්ගත කළා. ඒ අනුව සෙයිඞ් අල් හුසේන්ගේ වාර්තාවෙහි අඩංගු කරුණු ඇතුළු ඇමෙරිකා එක්සත් ජනපද යෝජනාව ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය නීත්‍යනුකූලව බැඳුණා. මෙහි සඳහන් ඇතැම් දේවල් අපේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ක්‍රියාත්මක කරන්න බැහැ. ඒ නිසා සෙයිඞ් අල් හුසේන් කියනවා, ‘මේ කරුණු ඉටු හැකි පරිදි ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව වෙනස් කරන්න’ කියලා.

‘අල් හුසේන්ගේ විශේෂ ප්‍රකාශය’

ජිනීවා එකඟතාවය අනුව මේ මානව හිමිකම් කොමසාරිස්වරයා 2016 ජුලි 28 වැනිදා ප්‍රකාශයක් කළා. ඒ ප්‍රකාශයෙන් ඔහු කීවා, ‘ශ්‍රී ලංකාව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරනු ලබයි. එම ව්‍යවස්ථා කෙටුම්පත මේ වසරේ අවසානයට පෙර සම්මතකර ගැනීම පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ලබන වසරේ ජනවාරියේ එය ජනමතවිචාරණයකට ඉදිරිපත් කරනු ඇත’ කියලා. අපි මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළාම අගමැතිවරයා ‘මල්ලේ පොල්’ උත්තරයක් දෙනවා. එදා තමන්ගේ කුලී සේනාංකය වූ කොටි ත්‍රස්තවාදීන්ගේ අවි බලය ඉදිරියේ ශ්‍රී ලංකාව දණ ගස්වලා උතුරේ වෙනම රාජ්‍යයක් නිර්මාණයකර දීමටයි බටහිර බලවතුන් උත්සාහ කළේ. එය තමයි ‘ප්ලෑන්A’ලෙස නම් කළේ. කොටි ත්‍රස්තවාදය පරදවා මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ව්‍යර්ථ කළේ ඒ බටහිර බලවතුන්ගේ ‘ප්ලෑන්A’ සැලසුමයි. දැන් ඔවුන් ජිනීවා ගිවිසුම හරහා ක්‍රියාත්මක කරමින් සිටින සැලසුමයි ‘ප්ලෑන් B’ කියන්නේ.

‘මහින්ද රාජපක්‍ෂ බලයෙන් පහ කිරීම’

අප ඉහත කී ‘රාජ්‍යය දේශපාලන වශයෙන් බෙලහීන කිරීම’ කියන කාර්යය සඳහා අවශ්‍ය ‘බඩු ටිකක්’ දැන් පාර්ලිමේන්තුවටත් අරන් තිබෙනවා. ඉන් එක් අයෙක් තමයි ආචාර්ය ජයම්පති වික්‍රමරත්න. 2014දි ලන්ඩන් නුවර පැවැති අමිර්තලිංගම් සැමරුමේ ප්‍රධාන දේශනය සිදු කරනු ලැබුවේ මේ ජයම්පති වික්‍රමරත්න විසිනුයි. ඔහු කියනවා එම දේශනයේදී ‘මහින්ද රාජපක්‍ෂ බලයෙන් පහ කිරීමෙන් තොරව උතුරේ ජනතාවට ව්‍යවස්ථාමය දේශපාලන විසඳුමක් ලබා දිය නොහැක’ කියලා. ඒක ජයම්පති වික්‍රමරත්නගේ පෞද්ගලික මතය නොවෙයි, බටහිර න්‍යාය පත්‍රය කර තබාගෙන සිටින සියලු දෙනාගේ මතය වුණා. ඒ නිසා තමයි විවිධ වර්ණධාරී කල්ලි, කණ්ඩායම් එකතු වෙලා ජනවාරි 08 වැනිදා මහින්ද රාජපක්‍ෂ පාලනය ගෙදර යැව්වේ. ‘රාජපක්‍ෂ බාධාව’ ඔවුන් ඉවත්කර ගත්තා. දැන් ඔවුන්ට අභිමත ජයග්‍රහණය ලබා ගැනීම පිණිස ‘ක්‍රීඩාපිටිය’ සකස් කරමින් යනවා. එහෙමනම් දැන් මේ සූදානම් වෙන්නේ රාජපක්‍ෂ පාලනය බලයෙන් පහ කරලා උතුරේ ජනතාවට ව්‍යවස්ථාමය දේශපාලන විසදුමක් ලබාදෙන්නද? ඒ ව්‍යවස්ථාමය දේශපාලන විසදුම ලබාදෙන්න මුළු පාර්ලිමේන්තුවට සහභාගීකර ගන්නවා කියලත් කියනවා නේද? හැබෑවටම දැන් අගමැති රනිල් වික්‍රමසිංහ කරන්නේ කුමක්ද? ‘මේක මගේ වැඩක් නොවෙයි පාර්ලිමේන්තුවේ වැඩක්’ කියමින් උතුරේ ජනතාවට ව්‍යවස්ථාමය දේශපාලන විසදුමක් ලබාදීම’ කියන වචන ටික තොරොම්බල් කරමින් උතුරේ බෙදුම්වාදී ජාතිවාදී කල්ලි පිනවීමයි. ඒ කල්ලිවල මනදොල සැපිරීමේ දේශපාලනමය ක්‍රියාවලිය තමයි මේ ආණ්ඩුව දැන් දිගේලි කරමින් සිටින්නේ.

‘ජාතියේ ඉරණම තීරණය කරන ප්‍රධානතම සාධකය’

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කියන්නේ සාමාන්‍ය ජනතාවගේ ඔළුවට ‘මහාප්‍රාණ අකුරු’ රිංගවන වැඩක්. සාමාන්‍ය ජනතාව ඉන්නේ මේ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියෙන් එළියේ. මේ ක්‍රියාවලිය එක්තරා ආකාරයක විදග්ධයන් පිරිසකගේ සංවාද මණ්ඩපයකට කොටු වෙනවා. නමුත් මුළුමහත් ජාතියේ පැවැත්ම හෝ විනාශය තීරණය කරන ප්‍රධානතම සාධකය බවට මේ ව්‍යවස්ථාව පත් වෙනවා.

‘ආණ්ඩුවේ උපාය’

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සඳහා මහජන අදහස් ලබා ගැනීමට අගමැතිවරයා විසින් ‘ලාල් විජේනායක’ කමිටුව පිහිටුවනු ලැබුවා. ඒත් එක්සත් ජාතික පක්‍ෂ සමුළුවේදී ඔහු කියන්නේ ‘නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න අපි මොකුත් කරන්නේ නැහැ’ කියලයි. මේ ලාල් විජේනායක කමිටුව ලබා ගත්තු ‘අපුරු මහජන අදහස්’ අනුව නව ව්‍යවස්ථාවට ඉතාමත් සංවේදී කරුණු ගණනාවක් සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත්කර තිබෙනවා. බුද්ධාගමට ප්‍රමුඛත්වය ලබාදීම ඉවත් කිරීම, ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් වෙනුවට සමූහාණ්ඩු සංගමයක් බවට පත් කිරීම, ජාතික කොඩිය වෙනස් කිරීම, ජාතික ගීය වෙනස් කිරීම ආදී ඉතාම සංවේදී කරුණු ගණනාවක් ඒ නිර්දේශ අතර වෙනවා. මුලින්ම මේ නව ව්‍යවස්ථාව පිළිබඳ විවාදය ඉහත කී සංවේදී කරුණු පිළිබඳ විවාදයක් බවට පෙරළිම තමයි ආණ්ඩුවේ උපාය.

‘සුමන්තිරන් කියූ අපුරූ කතාව’

මේ ගැන දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් අපූරු කතාවක් කියනවා. සිංගප්පුරුවේදී පැවැති දෙමළ ඩයස්පෝරාවේ සමුළුවකදී තමයි ඔහු මේ අදහස් දක්වා ඇත්තේ. ඔහු කියනවා ‘සිංහලයෝ මෝඩයෝ ඒ අයට ලේබල් ටික දෙමු. ඒ කියන්නේ ඒකීයභාවය වගේ ඒවා දෙමු. අපි අපට ඕනේ ප්‍රතිපත්තිමය මූලධර්ම ටික මේ නව ව්‍යවස්ථාව ඇතුළට දා ගනිමු.’ කියලා. ඒ අනුව ‘බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙනු ලැබේ.’ කියන ලේබලය ලැබේවි. මුලින් මේ ලේබල් ටික ඉවත් කරනවා කියන සංවාදය හදනවා. ඊට පස්සේ ‘බුදු අම්මෝ මේ ලේබල් ටික ගැලෙව්වොත් අපි ඉඳලා ඉවරයි’ කියන සංවාදය හදනවා අවසානයේදී නව ව්‍යවස්ථාවෙන් මේ ලේබල් ටික දෙනවා, නමුත් ලේබල් තිබුණාට වැඩක් නැති අන්තර්ගතයක් මේ නව ව්‍යවස්ථාව ඇතුළේ හදනවා.

‘ලේබලේ මොනවා තිබුණත් බෝතලේ ඇතුලේ මොනවද තියෙන්නේ?’

අපි මේ ලේබල් ටිකට සීමා වුණු සටනක් පමණක් නම් අවුලුවන්නේ ඒ සටන ආණ්ඩුවට වාසිදායකයි. එවිට ආණ්ඩුව කියාවි. ‘අපි මේ ලේබල් ටික දෙන්නම්’ කියලා. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසි පරිදි ක්‍රියාත්මක වුණා නම් අපට බලාගන්නා තිබුණා ‘ඒකියභාවය’ කියන ලේබලය තිබුණාට ක්‍රියාත්මක වෙන්නේ ෆෙඩරල් ව්‍යවස්ථාවක් බව. ආණ්ඩුව දැන් අපේ සටන ලේබල්වලට පමණක් සීමා වූ සටනක් බවට පත් කරන්නයි යන්නේ. අපි මෙතැනදී බලන්න ඕනේ ‘ලේබලේ මොනවා තිබුණත් බෝතලේ ඇතුළේ මොනවාද තියෙන්නේ? කියලයි.

‘නව ව්‍යවස්ථාවට බෙදුම්වාදී උවමනාවන් රිංගවීම’

ඉහත කී ලේබල් ටික තිබුණත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සුක්‍ෂ්ම ලෙස බෙදුම්වාදී උවමනාවන් රිංගවීමේ ඉඩක් තිබෙනවා. එදා ඉන්දු – ලංකා ගිවිසුම හා සමගාමීව 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජේ.ආර්. ජයවර්ධන පාලනය විසින් ගෙන එන විට එස්. එල්. ගුණසේකර එච්. එල්. ද සිල්වා වැනි කීර්තිමත් නීතිවේදීන් මේ රටේ හිටියා. ඔවුන් එදා ඒ පාලකයන්ට සමහර උපදෙස් ලබා දුන්නා. ඒවායේ ප්‍රතිඵලයක් හැටියට සංවෘත ලැයිස්තුවට හා පළාත් සභා ලැයිස්තුවට අමතරව සමගාමී ලැයිස්තුවකුත් මැදට ආවා. ඒ නිසා පරමාධිපත්‍ය බලය, පාර්ලිමේන්තුව සතු මුදල් බලය දෙකට බෙදුනේ නැහැ. දෙකට බෙදුනේ නැහැ කියන්න පුළුවන් වගේම දෙකට බෙදුණා කියන්නත් කරුණු සමගාමී ලයිස්තුව නිසා ඇති වුණා. ඒ ව්‍යාකූලතාව එැතැන හැදුණා. යම්කිසි විදියකින් සමගාමී ලැයිස්තුව ගලවලා ඉවත් කළොත් මධ්‍යම ආණ්ඩුවේ බලතල සහ පළාත් සභාවල බලතල පැහැදිලිව පෙනෙන්නට පටන් ගන්නවා. පළාත් සභාව පළාත් ආණ්ඩුව ලෙස නම් කළොත් මුදල් බලය පාර්ලිමේන්තුවට සීමා නොකර පළාත් ආණ්ඩුවට ද යම් ආකාරයකට ලබා දුන්නොත් බෝඞ් එකේ ‘ඒකීයභාවය’ කියන ලේබලය තිබුණට වැඩක් වෙන්නේ නැහැ, ශ්‍රී ලංකා රාජ්‍යය ප්‍රායෝගිකව සමූහාණ්ඩු සංගමයක් බවට පත් වෙනවා. ඒක වළක්වන්න බැරි වෙනවා.

‘තිම්පු මූලධර්ම නව ව්‍යවස්ථාවට රිංගවීම’

මම නව ව්‍යවස්ථාවට බෙදුම්වාදී උවමනාව රිංගවීමේ තවත් උදාහරණයක් පෙන්වා දෙන්නම්. ජන සංයුතිය, විවිධ ජනකොටස් ව්‍යාප්ත වී ඇති ආකාරය වැනි එකක් නව ව්‍යවස්ථාවට ඕනෙ නම් ඇතුළත් කරන්න පුළුවන්. එහිදී ‘උතුරු නැගෙනහිර ප්‍රදේශය ඓතිහාසිකව දෙමළ ජනතාව බහුතරයක් ජීවත් වන ප්‍රදේශයකි’ කියන වගන්තිය ඇතුළත් කරන්න පුළුවන්. බැලූ බැල්මට මෙහි ගැටළුවක් නැහැ. නමුත් බෙදුම්වාදීන්ට ‘උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ නිජභූමියයි’ කියන එක වක්‍රාකාරයෙන් හෝ පිළිගැනීම ඉතා වැදගත්. ‘උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ සම්ප්‍රදායික ඓතිහාසික වාසභූමිය’ ලෙස පිළිගැනේ.’ කියන තිම්පු මුලධර්මය ඒකීය ලේබලය ගලවන්නේ නැතිව නව ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමයි මෙතැනදී සිදු වන්නේ. ‘මුස්ලිම් ප්‍රජාව ද උතුරු – නැගෙනහිර යම් යම් ප්‍රදේශවල ඒකරාශී වී සිටිති.’ කියන වගන්තිය දැම්මාම මෙහිදී මුස්ලිම් ප්‍රජාවෙන් මේකට එල්ල වන විරෝධය වළක්වා ගන්න පුළුවන්.

‘පරමාධිපත්‍ය බලය බෙදන විදිය’

දැනට සඳහන් වෙන්නෙ‘පරමාධිපත්‍ය බලය ජනතාව සතුය. එකී පරමාධිපත්‍ය බලය පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු 225 දෙනාගෙන් නිරූපණය වේ’ කියලානේ. නමුත් මේ නව ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225ට පමණක් නොවෙයි පළාත් සභා හෝ පළාත් ආණ්ඩු නැමැති ෆෙඩරල් ව්‍යුහයන්ට තේරී පත්වන නියෝජිතයන්ටද පරමාධිපත්‍ය බලය බෙදී යන ආකාරයේ වෙනසක් සිදු කරන්න පුළුවන්. එහෙම වුණොත් එතැනින් තහවුරු වෙන්නෙත් රාජ්‍යය බෙදා වෙන් කිරිමේ සංකල්පයයි. කෙලින්ම සන්ධීය කියන්නේ නැතිව, ගෙඩිය පිටින් තිම්පු මූලධර්ම ඔබන්නේ නැතිව ‘කොලේ වහලා’ නව ව්‍යවස්ථාවට බෙදුම්වාදී උවමනාවන් රිංගවන්න ආකාර ගණනාවක් තිබෙන බවයි මම ඉහත උදාහරණ මගින් පෙන්වා දුන්නේ.

මේක යෝජනා දීලා හැඩ ගන්වන්න ඕනේ මෙහෙයුමක් නොවෙයි’

සමගාමී ලැයිස්තුව ඉවත් කළහොත් සිදුවන අනතුර මම ඉහතදී පෙන්වා දුන්නා. ඒකාබද්ධ විපක්‍ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායම මේ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සඳහා යෝජනාවලියක් ලබාදී තිබුණා. එහි සඳහන් වුණා, ‘සමගාමී ලැයිස්තුව ඉවත් කර මධ්‍යම ආණ්ඩුවට සහ පළාත් සභාවලට බලතල බෙදන්න’ යනුවෙන් වූ යෝජනාවක්. පසුව මේ පිළිබඳව විශාල සංවාදයක් ඇති වුණා. ඒ අනුව ඒ යෝජනාවලිය ඉල්ලා අස්කර ගන්න ගියාම මේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය කියනවා ‘මේ යෝජනාව ඉල්ලා අස්කර ගන්න දෙන්න බැහැ. ඒක ඉතා හොඳ යෝජනාවක්’ කියලා. මේ ව්‍යවස්ථා සම්පාදකයෝ ඒ යෝජනාවට පුදුම ආදරයක් තිබුණේ. කෙසේ නමුත් අවසානයේ මේ යෝජනාවලිය ඉල්ලා අස්කරගෙන තිබෙනවා. ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න ශ්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රිවරු යෝජනා දෙන්න හදිස්සි වෙන්න ඕනෙ. නැහැ. පසුගිය පාර්ලිමේන්තුවේ දී අගමැතිවරයා පැවැසුවා ‘තවම මේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට එජාපයේ යෝජනා ටිකවත් දීලා නැහැ’ කියලා. එජාප යෝජනා කියලා දෙයක් නැහැ තිබෙන්නේ බටහිර යෝජනා ඒ ටික තවම ඇමෙරිකානු එක්සත් ජනපද තානාපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතාට ගෙනවිත් දීලා නැහැ. අද ක්‍රියාත්මක වන්නේ යෝජනා දීලා වර්ණගන්වන්න, හැඩගන්වන්න ඕන මෙහෙයුමක් නොවෙයි.

‘පාර්ලිමේන්තුවට උඩින් සෙනෙට් සභාවක්’

ඊළඟට මේ නව ව්‍යවස්ථාව මගින් පාර්ලිමේන්තුවට උඩින් සෙනෙට් සභාවක් හදන්න ඉඩ තිබෙනවා. මේවා සෙයිඞ් අල් හුසේන්ගේ කතාව තුළ අන්තර්ගත වූ කරුණු. මහින්ද රාජපක්‍ෂ පාලන කාලය තුළදීත් සෙනෙට් සභාවක් හැදීම පිළිබඳව සාකච්ඡා වුණා. හැබැයි එතැනදී සාකච්ඡා වුණේ පාර්ලිමේන්තුව සහ පළත් සභාව අතර ව්‍යුහයක් ලෙස සෙනෙට් සභාවක් හදන්නයි. නමුත් මෙතැනදී සිදුවන්නේ කුමක්ද? බැලූ බල්මට පේන්නේ නැහැ. ‘මෙතැන අන්තවාදයට උඩගෙඩි දෙමින් තිබෙනවා’ කියලා. ඒත් මෙහිදී සොනට් සභාව හද්නේ පර්ලිමේන්තුවට උඩින් සෙයිඞ් අල් හුසේන්ගේ කතාවේ තිබෙනවා ‘ශ්‍රී ලංකාවේ නව ව්‍යවස්ථාව සුළු ජනයාගේ අයිතිවාසිකම් තහවුරු කෙරෙන ජාත්‍යන්තර අපරාධ නීතිය ශ්‍රී ලංකාව තුළ බලාත්මක කිරීමට තුඩු දෙන ප්‍රතිපාදන ඇතුළත් කෙරෙන, අනෙකුත් ජාත්‍යන්තර සම්මුතීන් පිළිගැනීමට ලක්වන ආකාරයට සකස් කළ යුතුයි’ කියලා. ඊට අමතරව සෙයිඞ් අල් හුසේන් කියනවා ‘නව ව්‍යවස්ථාව මගින් ශ්‍රී ලංකාව තුළ ව්‍යවස්ථා අධිකරණයක් පිහිටුවිය යුතුයි’ කියලා. එහෙම කළාම ඉදිරියේදී ව්‍යවස්ථාවට අදාළ අර්ථකථන ලබාදෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොවෙයි මේ පිහිටුවනු ලබන ව්‍යවස්ථා අධිකරණය මගිනුයි ඒ නිසා ඒකීය ලේබලය ඉතිරිකොට දෙමළ බෙදුම්වාදී අන්තවාදයේ මනදොළ සපුරන්න පුළුවන් උපායශීලී, සූක්‍ෂ්ම ක්‍රමවේද ගණනාවක් ක්‍රියාත්මක වීමේ අවදානම අප ඉදිරියේ තිබෙනවා.

‘ජනාධිපතිගේ බලතල දුර්වල කිරීම’

ඒ වගේම මේ නව ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයාගේ බලතල දුර්වල කිරීමේ ක්‍රියාදාමයක් දියත් වේවි. ජනාධිපතිවරයාට පළාත් ආණ්ඩුකාරවරුන් පත්කිරීමේදී තම අභිමතය පරිදි කටයුතු කිරීමට නොහැකි වේවි. සඳහා පළාත් මහ ඇමතිවරයාගේ කැමැත්ත අවශ්‍ය වන ප්‍රතිපාදනයක් ද ඇතුළත් වේවි. දැන් මේ පළාත් සභා මධ්‍යම ආණ්ඩුවට ගැට ගසා ඇත්තේ පළාත් ආණ්ඩුකාරවරයා මගින්. මේ පිළිබඳව විමසුවොත් රතු අලි පැටියා කියාවි ‘මෙය ප්‍රජාතන්ත්‍රවාදී පෙළහැරපෑමක්, ජනාධිපතිවරයාගේ ඒකාධිපති බලය දුර්වල කිරීමක්’ කියලා. ඒකීයභාවයට හෙන ගහලා ගියත් රතු අලිපැටියා එහෙම කියාවි. ඒ ගොල්ලන්ට ඕනෙ ‘නව ව්‍යවස්ථාවෙන් ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තනයක් සිද්ධ වුණා’ කියලා පෙන්වන්න. ජනාධිපතිවරයාගේ අඬපඬු ටික ඒ විදියට මේ නව ව්‍යවස්ථාවෙන් ගලවනවා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා දන්නේ නැහැ. ‘ගලවලා ඉතිරි වෙන කොට මොනවා ඉතිරි වෙයිද?’ කියලා. පව් අසරණයා. ධුර කාලය අවසන් වෙලා ගෙදර යනකොට විලියම් ගොපල්ලව ජනාධිපතිවරයාට තිබූ බලතල ටිකවත් ඉතිරිවේවිද? දන්නේ නැහැ. ‘රනිල් වික්‍රමසිංහ පාලනය බටලන්ද යුගයට තිත තියා ජනාධිපතිවරයාගේ ඒකාධිපති බලය දුර්මුඛකර ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රදීපස්ථම්භය බවට පත්කළා’ කියලයි මේ ගැන ඇහුවොත් එදාට රතු අලිපැටියා කියන්නේ.

අපට දැන් පැහැදිලියි නව ව්‍යවස්ථාවෙන් සිදු කිරීමට යන දෙය මේ පොළොවේ, සටන ඕනෙ වෙලාවට ඒ සටනට පණ පොවන මිනිස්සු හිටියා. අද ඒ සටනට ඕනෙ මිනිස්සු වල්මත් කරන බලවේග වැඩියි. එදා මේ රටට එරෙහිව ඉන්දු ලංකා ගිවිසුම්, සටන් විරාම ගිවිසුම් ගහනකොට ඒ සෑම එකකටම එරෙහිව ජාතිය රණකාමීව පෙළගැස්සූ ජනතා විමක්ති පෙරමුණ අද ඓතිහාසිකව ඒ භූමිකාව පාවාදීලා තිබෙනවා. අද ඔවුන් තවත් මෝස්තරවාදී ඩීල්වාදී වමේ ව්‍යාපාරයක් බවට පත්වෙලා තිබෙනවා. දැන් පාර්ලිමේන්තුවේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සමඟ තොදොල් වන ආකාරය දැක්කම මට හිතුනා ‘අනුර දිසානායක රනිල් වික්‍රමසිංහගේ වඳ පුංචි අම්මාගේ පුතා ද?’ කියලා. (සභාවේ සිනා) ජවිපෙ විතරක් නොවෙයි පා.ච රණවකලා, ජාතිකවාදී කදවුරේ හිටපු ඇතැම් භික්ෂූන් වහන්සේලා අද තමන්ගේ පැත්තට අරගෙන තමයි අද මේ නව ව්‍යවස්ථාවට විරෝධයක් ඇති නොවන අයුරින් එය රැගෙන එමින් තිබෙන්නේ.

අද මේ ක්‍රියාදාමයට විරෝධය එන්නේ එකම තැනකින් පමණයි. ඒ ජාතිකවාදී කඳවුර නියෝජනය කරන මහින්දවාදී බලවේගයයි. දැන් ඒ ප්‍රතිවිරෝධය එන බලවේගයට ගහන්න ඕනේ. ඒකට තමයි ‘හොරු අල්ලනවෝ’ ‘මෙගා නාට්‍යය පවත්වාගෙන යන්නේ. අල්ලන එකේ අවසානයකුත් නැහැ. අහුවෙන එකේ අවසානයකුත් නැහැ. එක සැරයක් මගේ බිරිඳ අත්අඩංගුවට ගත්තා. දැන් අයියා අත්අඩංගුවේ ඉන්නවා. පවුලේ ඉන්නේ පස් දෙනයි. මේ අය බලයෙන් යන තුරු පවුලේ කවුරු හරි වරකට එකා බැගින් සිරගතව ඉන්න වෙනවා. මේ ආණ්ඩුවට ඇති එකම අභියෝගය ජාතිකවාදී කඳවුරෙන් එල්ලවන ප්‍රතිවිරෝධය පමණයි. අද ඒ ජාතිකවාදී ප්‍රතිවිරෝධය රතු අලිපැටියාගෙන් පා.ච රණවකගෙන් එන්නේ නැහැ. ඒ ජාතිකවාදී ප්‍රතිවිරෝධය එන එකම බලවේගය ඒකාබද්ධ විපක්‍ෂය පමණයි. ඒ නිසායි රතු අලිපැටියාගේ ද මතවාදී සහයෝගය සහිතව අද මේ ජාතිකවාදී බලවේගය මර්දනය කිරීම දියත්කර තිබෙන්නේ.

‘මව් පොළොව ඉල්ලා සිටින ඉල්ලීම’

ඒ නිසා අපි තේරුම් ගන්න ඕනෙ ‘කවර මර්දනයක්, කවර අභියෝග ආවත් මේ පූජනීය වන්දනීය මව්පොළොව එදා 1987 රණකාමී දූ පුතුන්ගෙන් කළ ඉල්ලීම වත්මන් පරම්පරාවෙන් ඉල්ලනවා’ කියලා. ඒ ඉල්ලීමට අවංකව ඇහුම්කන් දෙන්න. අපිට වැඩි කාලයක් නැහැ. මේ මව් පොළොව ගෙවන්නේ ඉතාමත් තීරණාත්මක කාල පරිච්ඡේදයක්

‘ජනමත විචාරණය පරදවමුෟ – පරගැති හවුල පරදවමුෟ’

ඒ නිසා ලක් මාතාවගේ ඇකයේ හැදුණු සූජාත දූ පුතුනි, ඉතිහාසය ඔබගේ වගකීම ඉටුකරන ලෙස බල කර ඉල්ලා සිටිනවා. මේ පාදඩ, පරගැති හවුලට මේ අපරාධය කරන්න ඉඩ දී බලාසිටිනවාද? ලක්‍ෂ සංඛ්‍යාත ජනී ජනයා එක්වී මේ අපරාධය පරදනවාද යන දෙකෙන් එකක් අප අද තෝරාගත යුතුයි. මේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මතකර ගැනීම සඳහා ගෙන එන ජනමතවිචාරණය පැරදවීමෙන් අපට මේ පරගැති හවුල ගෙදර යැවීමේ පළමු වෙඩි මුරය තැබිය හැකියි. ඒ නිසා මේ පරගැති හවුල ඉදිරියට තබන්න හදන පියවර අපට ඔවුන්ගේ අවසානය බවට පත්කර ගන්න පුළුවන්. ඒක ඔවුන්ට පාරාවළල්ලක් බවට පත් කරන්න පුළුවන්. කලගෙඩි- ලාම්පු සෙල්ලමෙන්ම මේ පරගැති හවුල ‘සෙත්ත පෝච්චි’ කරන්න පුළුවන්. ඒ නිසා අපට අභියෝගයක් සහ අවස්ථාවක් තිබෙනවා. අභියෝගයට සරිලන පරිදි මෙහෙයුමක් දියත් කළොත් අපට ඒ අභියෝගය ජයග්‍රහණයක් බවට පත්කර ගන්න පුළුවන්.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,

Related posts

ගං වතුරෙන් කුඹුරු අක්කර 35,000 ක් විනාශයි

colombotoday

ටික් ටොක් සිසුවාගේ ඝාතනය සම්බන්ධයෙන් අවුරුදු 12ක සිසුවෙක් ඇතුළු 6ක් රිමාන්ඩ්

colombotoday

මුස්ලිම් සමූලඝාතන චෝදනා… ගෝලීය ශ්‍රී ලාංකීය සංසදයෙන් කණ පැලෙන්න පිළිතුරු.. සමුළුව විසුරුවා ජිනීවා කොටි පැන දුවති !

colombotoday

අලි සබ්රි ගේ මල්ලි තෙල් සංස්ථා පරිශ්‍රයේ මුස්ලිම් පල්ලියක් හදන්න යයි. ඥානසාර හිමි කොලොන්නාව තෙල් ගබඩාවට යයි

colombotoday

අලුත් ආණ්ඩුවේ ඇමති ධුර බාර ගන්නේ නෑ

colombotoday

මහනුවර ප්‍රචන්ඩ ක්‍රියා වළකන්න අපේ ආණ්ඩුව අසමත් වුණා – රෝසි කම්පා වෙයි

colombotoday