Colombo Today Local News

රාජපක්ෂලා කොහොමත් ‘ෆේල්’ “කඩා වැටෙන ප්‍රතිරූපය රැකගන්න ආණ්ඩුව කූඨ උපක්‍රම අනුගමනය කරනවා…” – පාඨලීගෙන් සැර පහරක්


කඩා වැටෙන ප්‍රතිරූපය රැකගැනීමට ආණ්ඩුව කූඨ උපක්‍රම අනුගමනයකරන බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඔහු මේ බව පවසන්නේ මාධ්‍යයට එරෙහිව ආණ්ඩුව පාර්ශවයෙන් එල්ල වන තර්ජන සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමිනි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ගම සමග පිළිසඳර ක්‍රමයෙන් එතුමාගේ සති අන්ත මාධ්‍ය ප්‍රකාශනය බවට පත්වෙමින් ඇති බවයි.

මුලදී එය ගම්වල ඇත්තම පොහොට්ටු නායකයින්ට, කළු ගල්, වැලි, පස්, ගස් කැපීමට ආඥාවන්, චක්‍රලේඛන බවට පත්කරවන හමුවක් විය.

හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගෙන් ඇරඹී, සිරස මහාරාජා දක්වා දැන් එය සෘජුව හා වක්‍රව තර්ජන සිදුකරනා පිළිසඳරක් වී ඇත.

ජනාධිපති ගෝඨාභය සිය ධුරයට පත්වූයේ, මාධ්‍ය කූඨ නාටකයක් මඟිනි. පුටින්, ලී ක්වාන් යූ, මහතීර් මොහොමඩ්, ශ්‍රී නේරු ආදී බොහෝ නායකයින්ගේ චරිත ඔහුට ආරූඩ කරනු ලැබීය.

මොනම වෙදකමක් හෝ නොදන්නා කෑගල්ලේ ධම්මික බාස්උන්නැහැ විශ්වීය ඖෂධ තනන්නෙකු කළ ආකාරයටම මෙය සිදුවිය.

දැන් ඒ මාධ්‍ය කූඨ නාටකයේ සළුපිළි එකින් එක ගැළවෙමින් ඇත.

ඒ නාටකයේ රඟපෑ ඇතැම් නළු නිළියෝම දැන් කථානායකවරයා හා අධ්‍යක්ෂක විවේචනය කරති.

තම කඩාවැටෙන ප්‍රතිරූපය හමුවේ ජනාධිපතිවරයා හා ඔහුගේ කණ්ඩායම උපක්‍රම තුනක් අනුගමනය කරති.

පළමුව,නම් අඬගසා කරනා තර්ජනයයි. හරීන්, සිරස, දේවානි හා භාග්‍යා සම්බන්ධයෙන් අපට දැනෙන්නේ එයයි.

දෙවැන්න ප්‍රශ්න උග්‍රවන විට අහස් ගුණ්ඩු යැවීමය. කුරුණෑගල රාජසභා මණ්ඩපය විනාශ කරලීම පිළිබඳ විරෝධය උත්සන්න වන විට, ගව ඝාතනය නතර කිරීම නම් අහස් ගුණ්ඩුව ගුවන්ගත විය.

කෝවිඩ් උතුරා පැතිරී යනවිට, ආදාහනය නම් අහස් ගුණ්ඩුව ගුවන්ගත කෙරිණ. සීනි හොරකම අතේ පත්තු වූ විට, දරුවන් අනිවාර්යෙන් පන්සල් යැවීම, අනිවාර්ය යුධ පුහුණුව දීම යනාදිය ගුවන්ගත විය. දරාගත නොහැකි ජීවන වියදම හා ආර්ථික කඩාවැටීම ඉදිරියේ සහරාන් හා බුර්කාව ගුවන්ගත කෙරිණ.

මේ සමහර අහස් ගුණ්ඩු අතේ පත්තු වූ අතර තවත් ඒවා සත්‍යයේ හිරු එළියෙන් වැසී ගියේය.

දැන් ආණ්ඩුව තුන්වන උපායක්ද කරලියට ගෙන ඇත.

එනම් පරිසර විනාශය හමුවේ ව්‍යාජ පරිසර විනාශයන් පිළිබඳ තොරතුරු සමාජගත කර, සියලු පරිසර විනාශයන් පිළිබඳ තොරතුරු ව්‍යාජයන් බවට පත්කරලීමය.

කපන ලද ඉන්දියාවේ ගස්, ලංකාවේ මෙන් පෙන්වනවා නම් හා ඇමසන් විනාශය සිංහරාජ විනාශය මෙන් පෙන්වනවා නම් ආණ්ඩුවේ CERT ආයතනය ලවා වහාම පියවර නොගෙන මාධ්‍යවල වැළපීමෙන් ඵලක් නැත.

මේ ව්‍යාජ තොරතුරු අව්‍යාජ පරිසරය රැකගැනීමේ අරගලයට ද හානියක් වියහැකි බැවින් සියලු පරිසර හිතකාමීන් ඒවා Fake ලෙස හඳුන්වා අව්‍යාජ අරගලය රැකගත යුතු වෙයි.

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කොළඹ ලස්සන කළා යැයි ද, පරිසරය රැක්කා යැයි ද කීම අර්ධ සත්‍යයකි.

නිදහස් චතුරස්‍ර අලංකරණය හා බේරේ වැව අලංකරණය ආරම්භ කළේ මංගල සමරවීරය. එයට බලගතු මැදිහත්වීමක් ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අංශ යොදවා කළ බව සත්‍යයකි.

එමෙන්ම එය කොළඹ නගරය සඳහා වූ ලෝක බැංකු ව්‍යාපෘතියක් බවද අමතක නොකළ යුතුය. එය සැලසුම් කළේත්, අරමුදල් සැපවූයේත්, නාගරික සංවර්ධන අධිකාරිය හරහා ක්‍රියාත්මක කළේත් ලෝක බැංකුවයි.

කොළඹ යනු පැරණි නගරයකි.
එහි අප ජලය බැසයන උමං පද්ධතිය වසර 150 ක් පැරණිය.
මළ අපවහන පද්ධතිය, ජල සැපයුම් පද්ධතිය ඒ ලෙසම පැරණිය.
කොළඹ පිරිසිදු කර, කුණු මීතොටමුල්ලට ගොඩගසා රැකගත හැකි පරිසරයක් නැත. කොළඹ ලස්සනකරණයෙන් සිදුවූයේ වියපත් ගැහැණියකට මේකප් දැමීම වැනි තාවකාලික ලස්සනක් මවා පෑමකි.

කොළඹ කසල කළමනාකරණයට විද්‍යාත්මක කසළ රඳවනයක් තැනුවේත්, කොළඹ මල අපවහන පද්ධතිය, වැසි අපජල පද්ධතිය හා ජල සැපයුම් පද්ධතිය වැනි පොළොව යට සිදුකළ අමාරු සංවර්ධනයන්, පුරාජේරු කතාවලින් තොරව ලෝක බැංකුවේ හා වෙනත් විදේශාධාරවලින් ද දේශීය අරමුදල්වලින් ද ක්‍රියාත්මක කළේ, 2015-19 යහපාලන ආණ්ඩුවයි. කොළඹ තිරිහන් වූයේ එමගිනි.

දැන් මහින්ද රාජපක්ෂ මහතා එක පෙළට විවෘත කරන්නේ එදා ඒ අසීරු සංවර්ධන කටයුතුවල ප්‍රතිඵලය.

රට පුරා හමුදාව යොදවා ඇවිදින මංතීරු අඩියෙන් අඩියට හැදීම පරිසර ආරක්ෂණයක් නොවේ.

රාජපක්ෂලාට පරිසරය සුරැකීමේ චින්තනයක් නැත.

ඔවුන් දන්න එකම චින්තනය ජාතික ධනය සූරා කෑම හා එයට එරෙහි වන්නන් ලසන්ත වික්‍රමතුංග යැවූ මාර්ගයේ යැවීම පමණි.

ලංකාවේ අද සිදුවන ආර්ථික, සමාජීය පරිසර විනාශයට ගෝඨාභය, මහින්ද, බැසිල් ත්‍රිත්වය පමණක් නොව ඔවුනට පුටින්, ලී ක්වාන් යූ, ශ්‍රී නේරු සළුපිළි ඇන්ඳවූ සියලු දෙනාද වගකිව යුතුය.

ඇත්තටම ‘ෆේල්’ වී ඇත්තේ ‘සර්’ නොවේ. රාජපක්ෂලා කොහොමත් ‘ෆේල්’ ය. ඇත්තටම ‘ෆේල්’ වී ඇත්තේ මාධ්‍ය කූඨ නාටකයට හසුවූ 69 ලක්ෂය ය.

– පාඨලී චම්පික රණවක –

Related posts

වහාම ක්‍රියාත්මක වන පරිදි මුළු දිවයිනටම ඇඳිරි නීතිය පනවයි

colombotoday

කොරෝනා වැළඳී රෝහලේ සිටින පුද්ගලයා සමග සිටි තවත් පුද්ගලයෙකුට කොරෝනා වැළඳෙයි

colombotoday

මම පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙක පෙන්නුවා… මට අගමැතිකම ඕන – හරින්

colombotoday

මැතිවරණ කොමිසම පුංචි ඡන්දෙ ගැන තීරණයකට අදත් රැස්වෙයි

Admin

මහින්දානන්දට විරුද්ධව නඩු කියන්න අල්ලස් කොමිසම සූදානමින්

colombotoday

දුමින්දට එරෙහිව බන්ධුල විනය පරීක්ෂණයක් ඉල්ලයි

colombotoday