Colombo Today Local News

යළි හරවන්න බැරි ලෙස බටහිර අධිරාජ්‍යවාදය, ඉන්දියානු ව්‍යාප්ත වාදය රටතුළ දිගේලි වන ආකාරය – විමල් කියයි

බටහිර උවමනාවන් ඉටු කිරීමට සිරිසේන ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගෙන් කල් ඉල්ලන්නේ ඔවුන් සියලු දෙනා නොසිතූ පරිදි මහින්ද රාජපක්‍ෂ මහතා මේ වන විට මෙරට දේශපාලනයේ කේන්ද්‍රීය සාධකය බවට පත්ව ඇති නිසා යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

කළුතර නගර ශාලාවේදී පැවැති ‘ව්‍යවස්ථා මරඋගුල සහ ජාතියේ අවමගුල’ දේශන මාලාවේ 6වැන්න සිදු කරමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය

“මහින්ද රාජපක්‍ෂ සාධකය දේශපාලන භූමියට නැවත ආගමනය වූයේ නැතිනම් මේ වන විට ජාතියේ ‘නහය’ අල්ලලා බලෙන් වතුර පොවලා ‘තිත්ත බෙහෙත් පෙති’ ටික ඔක්කොම ගිල්වලා ඉවරයි. ජනාධිපති සිරිසේනට මේ ‘තිත්ත බෙහෙත්’ පෙත්තෙන් පෙත්ත පොවන්න වුණේ රාජපක්‍ෂ සාධකය මෙරට දේශපාලන භූමියේ ‘කේන්ද්‍රය’ බවට පත්වූ නිසයි. බලන්න මැලේසියාවට ගියාම කොටි ‘කන්න බලන්නේ’ මහින්ද රාජපක්‍ෂව. අද මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ හා රතු කමිසධාරී රතු අලි පැටියා, පා.ච රණවකලා, කළුතර දත් දොස්තර ආදී සකලවිද සතුරන් කන්න බලන්නෙත් මහින්ද රාජපක්‍ෂව. සියලු සතුරන්ට මහින්ද රාජපක්‍ෂ වටා කැරකැවෙමින් තමයි තමන්ගේ දේශපාලනය කරන්න වෙලා තිබෙන්නේ. කලින් මේ රටේ දේශපාලන භූමියේ කේන්ද්‍රයේ හිටියේ ප්‍රභාකරන්. එදා ප්‍රභාකරන් වටා තමයි කාටත් කැරකැවෙන්න සිදු වුණේ. දැන් එතැනට මහින්ද රාජපක්‍ෂ සාධකය පැමිණ තිබෙනවා.
මේ නිසා තමයි එක්සත් ජාතින්ගේ මහ ලේකම් බැන් කී මූන්ට ළං වෙලා සිරිසේන ජනාධිපතිවරයාට කියන්න සිදු වුණේ ‘මම හිතුවේ නැහැ මහින්ද ආයෙත් මෙතැනට එයි කියලා. ඒත් දැන් එයා ඇවිල්ලා කේන්ද්‍රයේ ඉන්නේ. එයා කේන්ද්‍රයේ ඉන්නකොට මට ඔයගොල්ලෝ කියන වැඩ ටික පටපට ගාලා කරන්න බැහැ. එකින් එක කරන්න ඉඩ දෙන්න’ කියලා. මහින්ද රාජපක්‍ෂගේ යළි ආගමනයක් සිදු වෙයි කියලා මේ සතුරන් හිතුවේ නැහැ. යළි ආගමනයක් සිදු වූවාට පසුව මහින්ද රාජපක්‍ෂ ඇතුළු ඒ සමඟ සිටින පිරිසට ‘හොරු’ කියන ලේබලය අලවනවා. රාජපක්‍ෂ පවුලේ එකිනෙකා සිරගත කරමින් සිටිනවා. බැසිල් රාජපක්‍ෂ, යෝෂිත රාජපක්‍ෂ, නාමල් රාජපක්‍ෂ සිරගත කළා. දැන් ගෝඨාභය රාජපක්‍ෂ සිරගත කරන්න පුළුවන්ද, කියා බලනවා. රාජපක්‍ෂ පවුලේ අය හිරේ දමලා මහින්ද රාජපක්‍ෂ යටත්කර ගන්න බැරි බව දැන් මේ සතුරන්ට තේරුම් ගොස් තිබෙනවා.

‘විමල් 2005දී දුටු මහින්දගේ විශේෂ ලක්‍ෂණය’

මම 2005දීත් දුටුවා මහින්ද රාජපක්‍ෂ මහතාගේ තිබෙන එක් සුවිශේෂී ලක්‍ෂණයක්. ඔහු ප්‍රතිප්‍රහාර එල්ල කරන්නේ සතුරා පහර දුන්නොත් පමණයි. මම ජවිපෙ දේශපාලන මණ්ඩලය තුළ එදා තර්ක කළා ‘මහින්ද රාජපක්‍ෂ යුද්ධය කරනවා’ කියලා. ජවිපෙ දේශපාලන මණ්ඩලයේ ඇතැමුන් කීවා,‘නැහැ ඒක වෙන්න බැහැ’ කියලා. නමුත් මම පෙන්වා දුන්නා, ‘මහින්ද, සරත් ෆොන්සේකා හමුදාපති කළේ, ගෝඨාභය රාජපක්ෂ ආරක්‍ෂක ලේකම් කළේ යුද්ධය හරියට කරන්න’ කියලා. මහින්ද කොළඹ කුල්ටූර් සමාජයේ ප්‍රොඩක්ෂන් එකක් නොවෙයි, රෝයල් හෝ සෝබෝන් ප්‍රොඩක්ෂන් එකකුත් නොවෙයි. හම්බන්තොට මැදමුලන ඔර්ජිනල් ප්‍රොඩක්ෂන් එකක්. ඒ ස්වාභාවික චරිතය හැසිරෙන විදියක් තිබෙනවා. ඒ තමයි, ගැහුවොත් ගහනවා. එදා මහින්දට ප්‍රභාකරන් ගැහුවා. ඊට ප්‍රතිප්‍රහාරයක් විදියට මහින්ද ගැහුවා.

‘අහවල් එකෙන් ගහපු විදිය වැරදිලු’

එදා ජවිපෙ සහ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා අතර පැවැති සාකච්ඡාවකදී සෝමවංශ අමරසිංහ මහතා ජවිපෙ වෙනුවෙන් කීවා, ‘ආයුධ නැතිනම් අහවල් එකෙන් ගහලා හරි යුද්ධය කරන්න’ කියලා. ඒ අවස්ථාවේ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ මමත් සිටියා. කොහොමහරි ‘අහවල් එකෙන්’ ගහලා හරි යුද්ධය දිනපුවාම අද ජවිපෙ නායකයා කියනවා, ‘අහවල් එකෙන් ගහලා තිබෙන්නේ වැරදි විදියට’ කියලා. ඒක යකාගේ කතාවක්නෙ.

දැන් සිදුවෙමින් තිබෙන දේ අපි ඉතා හොඳින් තේරුම්ගත යුතුයි. ෆෙඩරල් ව්‍යවස්ථාවක් හදනවා. රාජ්‍යය දුබල කරනවා. උතුරු-නැගෙනහිර ඒකාබද්ධ කරනවා. සමූහාණ්ඩු සංගමයක් බවට ශ්‍රී ලංකාව කැබලි කරනවා. ඒ අතරේ අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවලා රණවිරුවන්ට එරෙහි චෝදනා එකතු කරනවා. යුද අපරාධ අධිකරණය පිහිටුවලා ඉහත චෝදනා මත රණවිරුවන්ට එරෙහිව නඩු අහනවා. වසර එකහමාරකින් පමණ යුද අපරාධ සිදු කළ බවට තීන්දුව දෙනවා. මේ තීන්දුව ආවාට පසුව සිදුවන්නේ කුමක්ද?

‘සර්බියාවේ සිදු වූ දෙය ලංකාවටත්…’

එදා ‘සර්බියාවේ සිදු වූයේ කුමක්ද?’ කියලා අපි බලමු. කොසෝවෝ, සර්බියාවට අයත්ව තිබූ ප්‍රදේශයක්. සර්බියාව බෙදන්න කොසෝවෝ බෙදුම්වාදීන් උත්සාහ ගනිමින් සිටියා. සර්බි ජනාධිපති මෙලොසොවික් එදා කොසෝවෝ බෙදුම්වාදය පැරදවීමට සර්බි හමුදාව යොදවනු ලැබුවා. කොසෝවෝ බෙදුම්වාදීන් පරාජයේ ඉම වෙත පැමිණියා. එවිට නේටෝ හමුදා බලහත්කාරයෙන් කොසෝවෝ වෙත ගොඩබැස්සා. එහිදී සර්බි හමුදාව පලවා හැරපු නේටෝ හමුදාව කෙටි කාලයක් කොසෝවෝ ප්‍රදේශය අල්ලාගෙන හිටියා. ඒ අතරේ හේග්වල ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය විසින් සර්බි ජනාධිපති සහ හමුදාපතිට එරෙහිව නඩු පැවරුවා, ‘කොසෝවෝ ජනතාව සමූහ වශයෙන් ඝාතනය කිරීම’ යන චෝදනාව යටතේ. 2015 ජනවාරි 08 වැනිදා වගේ දවසක බටහිර අධිරාජ්‍යවාදීන් සර්බි ආණ්ඩුව කුමන්ත්‍රණයක් මගින් ගෙදර යැව්වා. රට ත්‍රස්තවාදයෙන් ගලවා ගත්තු මෙලොසොවික් ජනාධිපතිවරයා ගෙදර යැව්වා. ‘රුපියල් 10,000ක් දෙනවා’ කිව්වාම රට, ජාතිය, ආගම ආදී සියල්ල අමතක කරපු ‘අයියලා ටිකක්’ එදා සර්බියාවෙත් හිටියා.(සභාවේ සිනා) පුංචි කාර් එකක්, ප්‍රී වයි-ෆයි’ දෙනවා කීවාම ඒකට අහුවුණු අයියලා ටිකකුත් එදා සර්බියාවේ හිටියා(තදින් සිනා)

‘එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ආ යෝජනාව’

මෙලොසොවික් පැරදුනාට පසුව හේග් නුවර යුද අපරාධ අධිකරණයට ගෙනගියා. හිරේ දමලා නඩුව ඇහුවා. මේ නඩුව අහන අතරේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට යෝජනාවක් එනවා, ‘සර්බියානු ආරක්‍ෂක හමුදා විසින් කොසෝවෝ වැසියන් සමූහ වශයෙන් ඝාතනය කළ බවට වන චෝදනා සනාථ වී ඇති බැවින් ද කොසෝවෝ වැසියන්ට සර්බි රාජ්‍යය යටතේ ආරක්‍ෂාව සැලසෙන්නේ නැති බව සක්සුදක් සේ පැහැදිලි වී ඇති බැවින් ද එම ජනතාවගේ ආරක්‍ෂාව තමන් විසින්ම සලසාගනු වස් ‘ආරක්‍ෂාව සඳහා වගකීම’(Responsibility to Protect) යන ජාත්‍යන්තර නීති මූලධර්මය යටතේ කොසෝවෝ වෙනම රාජ්‍යයක් ලෙස අද පටන් එක්සත් ජාතීන් විසින් පිළි ගත යුතුයි’ කියලා. යෝජනාව සම්මත වෙනවා. කොසෝවෝ වෙනම රාජ්‍යයක් වෙනවා. හේග් නුවර යුද අපරාධ අධිකරණය දිගටම නඩුව අහමින් යනවා. ඒ අතරේ සිරගත කළ සර්බි හිටපු ජනාධිපති මෙලොසොවික් මිය යනවා. මියගියාට පසුව තමයි දීර්ඝ කාලයක් අහපු මේ නඩුවේ තීන්දුව ලැබෙන්නේ. ‘යුද අපරාධ සිදු වී නැත’ කියායි අවසානයේ හේග් නුවර යුද අපරාධ අධිකරණය තීන්දුව ලබා දෙන්නේ. ‘කොසෝවෝහි සමූහ මිනිස් ඝාතන සිදුව නැත. හිටපු සර්බි ජනාධිපතිවරයා සහ හමුදාපතිවරයා නිදොස්කොට නිදහස් කරමි’ කියලයි ඒ තීන්දුව ලැබී තිබුණේ. නමුත් ‘යුද අපරාධ සිදුවී ඇත’ යන උපකල්පනය මත ඒ වන විට සර්බියාව සතුව තිබූ කොසෝවෝ ප්‍රදේශය වෙනම රාජ්‍යයක් බවට පත්කොට අවසන්ව තිබුණා. බොරු යුද අපරාධ චෝදනා දමලා බටහිර අධිරාජ්‍යවාදීන් කොසෝවෝ, සර්බියාවෙන් වෙන් කළේ එහෙමයි. අද ශ්‍රී ලංකාවට කරන්න යන්නෙත් ඒකයි.

‘මියගිය කොටි මළසිරුරු ගොඩදැමීම’

අර මියගිය කොටින් වල දමපු භූමියේ තිබෙන හමුදා කඳවුර ඉවත් කළා, කියලා හිතන්න. එතැන තිබෙන මළමිනී ටික ජාත්‍යන්තරව විකුණුවා, කියලා හිතන්න. ඒ අතරේ ෆෙඩරල් ව්‍යවස්ථාවත් සම්මත කළා, කියලා හිතන්න. ඒ සමඟම අර මළමිනී ටිකත් පදනම් කරගෙන නඩුව යනවා. එහි තීන්දුව එනවා, ‘සමූහ මිනිස් ඝාතන සිදුව ඇත. යුද අපරාධ සිදුව ඇත’ කියලා. ඒ නඩු තීන්දුව අනුව යමින් එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයට යෝජනාවක් ගෙන එනවා, ‘ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජීවත් වන දෙමළ ජනතාවට ආරක්‍ෂාව සැලසීමට ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදා අසමත්ව ඇති හෙයින් ද එම හමුදාව විසින් දෙමළ ජනතාව සමූහ වශයෙන් ඝාතනයකර ඇති බව ඉහත නඩු තීන්දුවෙන් ද සනාථව ඇති හෙයින් ද ‘ආරක්‍ෂාව සඳහා වගකීම’(Responsibility to Protect) යන මූලධර්මය යටතේ එක්සත් ජාතීන් ශ්‍රී ලංකාවේ උතුරු – නැගෙනහිර ප්‍රදේශය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගත යුතුයි’ කියලා. යෝජනාව සම්මත වේවි. ඉතා හොඳින් තේරුම් ගන්න, අද බටහිර අධිරාජ්‍යවාදීන් යුද්ධ කරලා නොවෙයි රටවල් බෙදන්නේ. මේ භයානක ක්‍රියාවලියට බාධාවකින් තොරව ඉදිරියට යන්න ඉඩ දුන්නොත් ජාත්‍යන්තර පිළිගැනීමක් සහිතව නීත්‍යනුකූලව ඊළම නිර්මාණය වේවි.

‘ප්ලෑන් A වෙනුවට ප්ලෑන් B

එදා ඊළම ලබා ගැනීමට බටහිර අධිරාජ්‍යවාදීන් හඳුන්වා දුන්නේ ‘ප්ලෑන් ඒ’නම් වූ ‘ප්‍රභාගේ අවි බලය හරහා ඊළම ලබා ගැනීම’ සඳහා වූ සැලැස්මක්. ඒක මහින්ද රාජපක්‍ෂ පාලනය විසින් පරදවනු ලැබුවා. පසුව ඔවුන් ‘ප්ලෑන් බී’ හඳුන්වා දුන්නා. ඒ මගින් යුද්ධයක් නොකර රාජ්‍යය බෙදා වෙන්කිරීම සිදු කෙරෙනවා. ඉහතදී අප පෙන්වා දුන්නේ එයයි. එම නිසා ඔවුන් සර්බියාවට කළ දේ ලංකාවටත් කරනවා. ඇමෙරිකාවට අවශ්‍යව ඇත්තේ ශ්‍රී ලංකාව දුබලකොට දකුණු ආසියාවේ දියාගෝ ගාර්ෂියාව බවට පත්කර ගැනීම. ඉන්දියාවට අවශ්‍යව ඇත්තේ ද ශ්‍රී ලංකාව කැබලි කොට දකුණ එට්කා ගිවිසුම හරහාත් උතුරු නැගෙනහිර ‘හනුමාන් පාලම’ ඉදි කිරීම හරහාත් තම ග්‍රහණයට ගැනීම. ඒ අනුව ශ්‍රී ලංකාව බෙදාවෙන්කර දුබල කිරීම ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉන්දියාව යන දෙදෙනාටම අවශ්‍යයි. අද ඔවුන්ගේ උවමනාවන් සමපාතයි. නමුත් ඉදිරියේදී ශ්‍රී ලංකාව තුළ සිය ආධිපත්‍යය පතුරවා ගැනීමේදී එකිනෙකා අතර ගැටුම්කාරී තත්වයක් ඇති වීමට පුළුවන්. අද ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර උවමනාව වෙනුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහත් ඉන්දියානු උවමනාව වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත් කටයුතු කරනවා. මෙතැන ඇතිව තිබෙන්නේ කසාද දෙකක්. මෛත්‍රීපාල සිරිසේන බටහිරට යටත් නොවී ඉන්දියාවට උවමනා දේ පමණක් කළොත් වන දේ තමයි පසුගියදා අපට දකින්න ලැබුණේ. ඕස්ට්‍රේලියානු පුවත්පත් මගින් එළියට ආවේ සිරිසේනට කළ ඒ බටහිර අනතුරු හැඟවීම. කෙසේ වෙතත් මේ සියලු දෙනා අද ඉටු කරමින් ඉන්නේ විජාතික උවමනාව. රටට සතුරු න්‍යාය පත්‍රයන් තමයි ඔවුන් ඉදිරියට ගෙන යන්නේ. එය පැරදවීම තමයි අප කළ යුත්තේ.

‘අලුත් පක්‍ෂයට නමක් විතරයි අඩු’

අද මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනබලයක් නැහැ. ශ්‍රී ලනිප ජනබලවේගය ඔහු සමග නැහැ. ශ්‍රී ලනිප ජනබලවේගය සිටින්නේ මහින්ද රාජපක්‍ෂ මහතා සමඟයි. ජනබලවේගයක් තිබෙන කෙනාට පක්ෂයක් හදන්න බැරි කමක් නැහැ. නමක් විතරයි තවම අඩු. ඒ නිසා සිරිසේන මහත්තයෝ අලුත් පක්‍ෂයක් බිහිවන එක වළක්වන්න ඔයාට බැහැ.

‘පළාත් පාලන ඡන්දයට කලින් ජනමතවිචාරණයක්?’

අද ශ්‍රීලනිප බෝඞ් ලෑල්ල විතරක් හිමි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා, පළාත් පාලන ඡන්දයට ගියොත් තමන්ට ලැබෙන්නේ තුන්වන හෝ හතරවන තැන කියලා දන්නවා. ඒ නිසා ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මතකර ගැනීමේ ජනමතවිචාරණය, පළාත් පාලන ඡන්දයට පෙර පැවැත්වීමේ ඉඩකඩ තිබෙනවා. එවිට ඒ ‘කලගෙඩි – ලාම්පු’ සෙල්ලමේදී එජාපය, දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය හා ඇතැම් විට ජවිපෙත් කලගෙඩිය තෝරා ගනීවි. එතැනදී මෛත්‍රීටත් ශ්‍රී ලනිපය බෝඞ් ලෑල්ල එතැනට හේත්තු කරන්න පුළුවන් වේවි.

බටහිර අධිරාජ්‍යවාදය සහ ඉන්දියානු ව්‍යාප්තවාදය ආපසු හැරවීමට නොහැකි ලෙස ශ්‍රී ලංකාව තුළ දිගේලි වෙමින් තිබෙන මේ මොහොතේ අපි මේ රටට ආදරය කරන සුජාත දූ පුතුන් ලෙස ඊට එරෙහිව නැඟී සිටිය යුතු වෙනවා. ඒ සඳහා පෙළගැසෙන්න. එක්වන්න.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

Related posts

විදේශ රැකියා ආයතන 13ක බලපත්‍රය අවලංගුයි.. ඕමාන්-ඩුබායිහී අතරමං වී සිටින 140ක් දිවයිනට ගෙන්වීමට පියවර

Admin

ඖෂධ ගේන්න රට යන්න ඇමති කෙහෙළියට අධිකරණයෙන් අවසර

Admin

කොවිඩ් මුස්ලිම් මරණයක සිරුරක් මහනුවර රෝහලේ ශීතාගාරයේ තබයි. සේවකයන් වර්ජනයක.මළසිරුරු මෘත ශරීරාගාරයේ ගොඩ ගැසෙයි.

colombotoday

හිටපු ජනපති නන්දසේන වෙනුවෙන් අයෙක් දිවිනසා ගනී – කිසිදු චීවරදාරියෙක් මළගමට එපා කියලා

colombotoday

බූස්ස බන්ධනාගාරයේ රැදවියන්ගේ උපවාසය අවසන්

colombotoday

මියගිය ව්‍යාපාරිකයෙකුගේ සොහොනට පොලිස් ආරක්ෂාව | බිරිඳ සහ සේවකයා අත්අඩංගුවේ

colombotoday