ArticlesColombo Today Local News

ගැමුණු රජුන්ගේ සමයේ රුවන්වැලි මහා සෑය වටා තිබූ වැලි මළුව යළි ඉදිවෙයි

hyr366

ඓතිහාසික අනුරාධපුර රත්නමාලි චෛත්‍ය රාජයාණන් වටා ඇති ඇත් පවුරට පහළින් වූ බිම්තීරුව පෙර රජ දවස වැලිමළුවක් ලෙස පැවැතියත් අද වන විට එය දක්නට නැතැයිද ඒ නිසා අංගසම්පූර්ණ වැලිමළුවක් පිහිටුවීම මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ මහවිහාර සංවර්ධන ව්‍යාපෘතිය මඟින් ආරම්භ කර ඇති බවත් රත්නමාලි චෛත්‍යරාමාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියෝ පවසයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පල්ලේගම හේමරතන නාහිමියෝ නව වැලිමළුව ඉදිකිරීමේ සැලැස්ම මෙසේ විස්තර කළහ.

මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන විසිපහක් (25) වැය වෙතැයි ඇස්තමේන්තු කර තිබෙනවා. රත්නමාලි චෛත්‍ය රාජයාගේ ප්‍රතිසංස්කරණ කටයුතු 1930 පමණ වන විට ආරම්භ වී වැඩ නිමවී දැනට වසර 80කට වැඩියි. එහිදී ඇත්පවුර නිම කළත් ඊට පහළ කොටසේ වැලිමළුව ඉදිවුණේ නැහැ.

මේ නිසා වැසි සමයට එම බිම්තීරුව ජලය පිරී මඩ වන තත්ත්වයකයි තිබුණේ. මේ නිසා බැතිමතුන් විශාල කරදරයකට මුහුණදුන්නා. මේ ගැන ඉන්ජිනේරුවරුන් පරීක්‍ෂා කර සියයට 10ක් පමණ තෙතමනය තිබුණාම ඇති බවත් ඉතිරි සියයට 90ක් ජලය එම බිම් තීරුවෙන් ඉවත් කළ යුතුයි කියලා නිර්දේශ කළා. රත්නමාලි චෛත්‍ය වටා ඇති එම බිම්තීරුව අක්කර හතකින් (7) යුක්තයි. මෙම බිම්තීරුවේ ජලය බැසයෑම කෙසේ වේදැයි අපට දැනගන්නට නැහැ. ඒ නිසා මෙවර වැසි සමය එළැඹෙන විට ස්වභාවධර්මයාගේ හැසිරීම අනුව ජලය ගලායන්නේ කෙසේදැයි පරීක්‍ෂා කරනවා. ඒ අනුව ඇත්පවුරට පහළින් ඇති ප්‍රදේශයේ ජලය බැසයෑම ස්වභාව ධර්මයට අනුව ගළපා ගැනීමයි සැලැස්ම.

ඊට අමතරව ඇත්පවුරට පහළින් ඇති බිම්තීරුවේ ඇත්පවුරේ සිට අඩි 15ක් බිමට ගල් අතුරා ප්‍රදක්‍ෂිණා පථයක් හදනවා. මෑතකදී ඉදිකළ චෛත්‍ය භූමිය වටා ඇති ගල් බැම්මේ සිට තවත් අඩි 10ක තීරුවක බිමට ගල් අල්ලනවා. එවිට මැද කොටස වැලිවලින් පුරවනවා. මේ නිසා ජනතාවට මෙම ස්ථානයේ සිට බණ භාවනා මෙන්ම සිල් සමාදන් වී වන්දනාමාන කළ හැකියි.

දැනට චෛත්‍ය වටා ඇති සලපතළ මළුව බැතිමතුන්ගේ අපරික්‍ෂාකාරීත්වය නිසා නිතරම අපිරිසුදු වෙනවා. එය වළක්වා ඊට පසු සලපතළ මළුව වන්දනාමාන කිරීමට මිස ආහාර ගැනීමට, නිදාගැනීමට දෙන්නේ නැහැ. අනෙක වියළි කාලයට අව්රශ්මිය නිසා චෛත්‍ය වටා ඇති සලපතළ මළුව උදේ 9 සිට සවස 4 දක්වා ගිනියම් වෙනවා. එවිට බැතිමතුන්ට එහි සිට වන්දනාමාන කරන්න බැහැ. මේ ගැටලුවත් වැලිමළුව යළි සෑදීමෙන් පසු විසඳෙනවා. විශේෂයෙන් චෛත්‍යයේ බටහිර පෙදෙසේ වැලිමළුව තුළ භාවනා කිරීමට සුදුසු ස්ථාන හදනවා. එසේම චෛත්‍ය වටා තැනින් තැන පිච්චමල් වවනවා. චෛත්‍ය ආශ්‍රිතව ඇති බෝධීන් වහන්සේ අවට පරිසරය බැතිමතුන්ට ආගමික වතාවත් කිරීමට සුදුසු පරිදි සකස් කරනවා. දැනට ඇති මෙම සැලැස්ම ක්‍රියාත්මක කිරීම අදියරෙන් අදියර සිදුකරන්නයි බලාපොරොත්තුව.

ඒ සඳහා සැදැහැවත් බෞද්ධ ජනතාවටත් දායක විය හැකියි. දැනට වැලිමළුව සැකසීමේදී පොළොවේ අඟල් අටක් (8) දක්වා වූ පස් තට්ටුව ඉවත් කරනවා. එම කාර්ය සඳහා බැතිමතුන්ට ශ්‍රමදානයෙන් දායකත්වය ලබාදීමට හැකියි. එසේ ශ්‍රම දායකත්වය ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා. ඒ පිළිබඳ වැඩි විස්තර මහ විහාර ව්‍යාපෘති කළමනාකරු අංක 025-2055123/121 සහ 0771958200 යන දුරකතන අංක අමතා ලබාගත හැකි බවද පල්ලේගම හේමරතන නාහිමියෝ පැවැසූහ.

Related posts

අවුරුදු 12 ට අඩු දරුවන්ටත් ෆයිසර් ලබාදීමට පරීක්ෂණ

colombotoday

විශේෂ මෙහෙයුමකින් බිමත් රියදුරන් 293ක් අත්අඩංගුවට

colombotoday

රත්නපුර වේ ගගේ මැණික් කැණීමට අවසර

colombotoday

“සිංහලයන් කලින් හමු වුණානම් එල්.ටී.ටී.ඊ.යට බැඳෙන්නේ නෑ” කියූ අවසන් සමයේ එල්ටීටීඊ නමත් පිළිකුල් කළ තමිලිනීගේ කතාව

colombotoday

සුව දුක් බලන්න ගිය නිපුණට මාතර දී විරෝධයක්

colombotoday

රජයේ සහන ප්‍රමාණවත් නෑ.. දන්සැල්, මුදල් අවතැන්වූවන් වෙනුවෙන් ලබා දෙන්න

colombotoday