Colombo Today Local News

මේ ජාතිකවාදී මත දරන ගිහි-පැවිදි නායකයන්ට සිර කුටිය උරුමවන යුගයක් !

දිඹුලාගල හාමුදුරුවෝ අද වැඩසිටියානම් පන්සලට අලි පැටියකු ගෙනවිත් දමලා හෝ FCIDය ලවා අත්අඩංගුවට ගැනීමට ඉඩ තිබුණා

ජානිපෙ නායක, විමල් වීරවංශ

ජාතිකවාදී මතයක සිට දෙමළ බෙදුම්වාදී අන්තවාදයට එරෙහිව සටන් වැදුණු දිඹුලාගල හාමුදුරුවෝ නමින් සුපතල වූ කිතලගම ශ්‍රී සීලාලංකාර නාහිමියන් අද වැඩවිසුවා නම් ආරණ්‍ය සේනාසනයට අලි පැටියකු ගෙනවිත් දමා හෝ ත්‍ක්‍ෂෘය ලවා අත්අඩංගුවට ගැනීමට මේ ආණ්ඩුව කටයුතු කරනු ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිර ශ්‍රවණාගාරයේදී පැවැති දිඹුලාගල හාමුදුරුවෝ කෘතිය එළි දැක්වීමේ උත්සවය අමතමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

දිඹුලාගල හාමුදුරුවෝ කියන්නේ අපේ භික්‍ෂු වංශ කතාවේ එත්කරා තීරණාත්මක පරිච්ඡේදයක් සංකේතාත්මකව නිරූපණය කරන ගරු කටයුතු භික්‍ෂුන් වහන්සේ නමක්. උන්වහන්සේ ඉතාම දුෂ්කර ප්‍රදේශයකට වනවාසීව ජීවත්වීම අරමුණු කොට වැඩම කළා. බෙදුම්වාදී ත්‍රස්තවාදයෙන් ඒ ප්‍රදේශයේ ජන ජීවිතය බිඳ වැටෙන විට, මරණීය බිය හේතුවෙන් ඒ ජනතාව තමන්ගේ ගම්බිම් අතහැර යන්න හදනවිට ඒ මරණීය බියට විරුද්ධව සටන් වැදීමට තරම් ධෛර්ය හා ශක්තිය තිබුණු විරෝදාර භික්‍ෂුන් වහන්සේ නමක් ලෙසටයි අපට දිඹුලාගල හාමුදුරුවෝ නමින් ප්‍රකට කිතලගම ශ්‍රී සීලාලංකාර හිමියන් සිහිපත් වන්නේ.

කිතලගම ශ්‍රී සීලාලංකාර හිමියන් දෙමළ බෙදුම්වාදය පිටු දැක්කාට, සාමාන්‍ය දෙමළ ජනතාව ප්‍රතික්ෂේප කළේ නැහැ. අන්තවාදයට එරෙහිව සටන් වැදුනත් බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් ලෙස සාමාන්‍ය ජනයා කෙරෙහි වන මෛත්‍රී ගුණය බිඳකුදු අඩු වූයේ නැහැ. ඒ යුගයේ ඒ ප්‍රදේශයේ තිබුණු හමුදා කඳවුරු ඉවත් කරන විට, ඒ ජනතාවගේ ආරක්‍ෂාව සඳහා වූ ආරක්‍ෂක කොන්දේසි ඉවත් කරන විට උන්වහන්සේ ඊට එරෙහිව නැඟී සිටියා. ඒ වගේම ඇතැම් පාලකයන් කොළඹට වඩින්න හෙලිකොප්ටර් එවන විට ඒවා පිටුදකිමින් ඒ ගම්බිම් ආරක්‍ෂා කරන්න මහා දැවැන්ත පූජනීය කාර්යභාරයක් ඉටු කළා.

ගිහි පැවිදි බොහෝ දෙනෙකුට වැලඳුණු රෝගය?

අපේ හිටපු ජනාධිපතිතුමා, උඩුවේ ධම්මාලෝක හිමියන් පැවසූ කතාවක් උපුටා දක්වමින් කීවා,ගිහි පැවිදි බොහෝ දෙනෙකුට නරි කැස්ස නැමති රෝගය වැලඳෙන කාලයක් දැන් උදාවී තිබෙනවා කියා. නමුත් දිඹුලාගල නායක හාමුදුරුවන්ට කිසිදාක නරි කැස්ස හැදුණේ නැහැ. ජාතිකවාදී මතයක ඉඳලා, රටත් ජාතියත් කෙරෙහි වන ආදරණීය, ගෞරවනීය හැඟීම මත ඉදලා ආණ්ඩුව කවරක් වුවත් කෙරෙන්නේ වැරැද්දක් නම් උන්වහන්සේ ඊට එරෙහිව නැඟී සිටියා.

දිඹුලාගල හිමියන් අපවත් වී වසර 21ක් පමණ ගත වන මේ වෙලාවේ අපේ සමාජයේ දේශපාලන ක්‍රියාදාමය උඩු-යටිකුරු වෙලයි තිබෙන්නේ. අද ජාතිකවාදී මතය දරන්නන් සඳහා සිරකූඩු පිළියෙල වෙමින් තිබෙන කාලයක්. 2005 ජනාධිපතිවරණයේදී ජාතිකවාදී මතය දරන්නන් විසින් මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ජයග්‍රහණය කරවූයේ නැතිනම් මේ වන විට බෙදුම්වාදී ත්‍රස්තවාදය තම අරමුණු ඉටුකරගෙන ඉවරයි. මහා සඟරුවනේ ආශිර්වාදය ඇතිව සිදුකළ, මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමන් ප්‍රමුඛ ජාතිකවාදී මතය දරන දේශපාලන බලවේගවල සක්‍රීය මැදිහත්වීමේ ප්‍රතිඵලයක් ලෙස තමයි, මේ රටේ ආරක්‍ෂක හමුදාවන්ට ශක්තිය ලැබුණේ මිනීමරු ත්‍රස්තවාදය හා නොබියව සටන් වැද එය පරාජයට පත් කිරීමට.

දිඹුලාගල හාමුදුරුවෝ අද වැඩසිටියා නම්

ත්‍රස්තවාදය පැරදවීමෙන් පසුව ලැබුණු, ජීවත්වීම සඳහා වූ ගෞරවනීය වටපිටාව අද වන විට අන්තරායකට භාජනය වෙමින් තිබෙනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරලා ඒ යටතේ දඬුවම් විදින සියලුම ත්‍රස්තවාදීන් එළියට දමන්න කටයුතු සූදානම් කරන මේ වෙලාවේ ජාතිකවාදී මතය දරන ගිහි-පැවිදි නායකයන් හිරගෙවල් ඇතුළට ගාල් කිරිමේ පරිච්ජේදයක් ආරම්භ වී තිබෙනවා. දිඹුලාගල හාමුදුරුවෝ අද වැඩවිසුවා නම් පන්සලට අලි පැටියකු ගෙනවිත් දමලා හෝ FCIDය ලවා අත්අඩංගුවට ගැනීමට ඉඩ තිබෙනවා. ජාතිකවාදී මතයේ සිටින ගිහි-පැවිදි නායකයන් හොරු -අලි හොරු හැටියට අද ලේබල් කරනු ලබනවා.

ඒකාබද්ධ විපක්ෂය සහ අනුබද්ධ විපක්ෂය
`
ජාතිකවාදී මතය දරන බලවේගවලට මේ ආණ්ඩුව පහර ගහන්නේ ඇයි? අද පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ විපක්‍ෂය කියන්නේ ජාතිකවාදී මතය දරන පිරිසට, ඒ කියන්නේ අපට. තව පාර්ලිමේන්තුවේ තිබෙනවා ආණ්ඩුවට අනුබද්ධ විපක්‍ෂය කියලා එකක්. මේ අනුබද්ධ විපක්ෂය ජාතිකවාදී ප්‍රතිවිරෝධයක් මේ ආණ්ඩුවට එල්ල කරන්නේ නැහැ. අතුරුදහන්වූවන් පිළිබඳව සොයන බව පවසමින් ආරක්‍ෂක හමුදාවන්ට විරුද්ධව බොරු චෝදනා නිපදවන ෆැක්ටරියක් පිහිටුවීමට අදාළ පනතක් අද මේ ආණ්ඩුව විසින් බලහත්කාරයෙන් සම්මතකරගෙන තිබෙනවා. ඒකාබද්ධ විපක්‍ෂය ඊට විරුද්ධ වෙද්දී අනුබද්ධ විපක්‍ෂය ඊට පක්‍ෂ වෙනවා. ආණ්ඩුව සහ ආණ්ඩුවට අනුබද්ධ විපක්‍ෂය එකතු වෙලා මේ පනත සම්මත කළාම ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් හද පිනා ගිහිල්ලා ඉතා වැදගත් දෙයක් තමයි ශ්‍රී ලංකා රජය කළේ කියා කියනවා. ළඟදීම එක්සත් ජාතිීන්ගේ මහ ලේකම් බන් කි මූන් මහත්තයා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. ඒ ඇවිල්ලා එයත් කියාවි, මම එන්නත් කලින් ආණ්ඩුවත් එයට අනුබද්ධ විපක්‍ෂයත් සිදු කළේ ඉතා වැදගත් දෙයක් කියලා.

අනුබද්ධ විපක්‍ෂයට ලැබෙන වරප්‍රසාද

ජාතිකවාදී මතයක සිට ආණ්ඩුව සමඟ නොගැටෙන මේ අනුබද්ධ විපක්‍ෂයට ආණ්ඩුවෙන් මර්දනයක් එල්ල වෙන්නේ නැහැ. ඔවුන්ට පාර්ලිමේන්තු කාරක සභාවල සභාපති ධුර ලැබෙනවා. නමුත් ඒකාබද්ධ විපක්‍ෂයට පාර්ලිමේන්තුව තුළ කතා කිරීමේ ඉඩකඩත් කෙලින්ම ලැබෙන්නේ නැහැ. එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලැබෙන වෙලාවෙන් ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් 51 දෙනාට ලබාදිය යුත්තේ කවර කොටසක්ද? කියලා තීරණය කරන්නේ නිමල් සිරිපාල ද සිල්වා මහත්තයායි. ඒකාබද්ධ විපක්‍ෂයට ලබා දෙන කාලය මදි නම් ඒක වැඩිකර ගන්න අපට සභාගර්භය මැදට පැමිණෙන්න සිදු වෙලා තිබෙනවා. එහෙම සභාගර්භය මැදට ආවාම ඒක හරි අශෝභනයි කියලා කියනවා. අශෝභන ක්‍රියාව සභාගර්භය මැදට පැමිණීම නොවෙයි, මන්ත්‍රීවරු 51 දෙනෙකුගේ අයිතිවාසිකම පිළි නොගෙන ඔවුනට කතා කිරිමේ ඉඩකඩ ලබා නොදීමයි.

ඒකාබද්ධ විපක්‍ෂය නිල වශයෙන් පිළිගත්තොත් සිදු වන දේ

ජාතික නිදහස් පෙරමුණ හැටියට අපේ මන්ත්‍රීවරු පස්දෙනාගේ අත්සන් සහිත ලිපියක් මම කථානායකවරයාට භාර දී තිබෙනවා, අද පටන් අපි එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ කිසිඳු බැඳීමක් නොමැතිව, ස්වාධීනව විපක්‍ෂයේ පක්‍ෂයක් ලෙස කටයුතු කරනවා. ඒ නිසා අපට හිමි අයිතිවාසිකම් පිළිගන්න කියලා. මම ඒ ගැන පසුව කථානායකවරයාගෙන් විමසුවාම ඔහු පවසනවා, මම මේ ගැන විමසලා එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් නායක නිමල් සිරිපාල ද සිල්වා මහතාට ලිපියක් යවා තිබෙනවා. තවම පිළිතුරක් ලැබුණේ නැහැ කියා. මම ඊට පසුව නිමල් සිරිපාල ද සිල්වා මහත්තයා පාර්ලිමේන්තුවේ මගදි හමුවෙලා ඇහුවා කථානයකතුමා මෙහෙම ලිපියක් එවා තිබෙනවාද? ඒකට ඔබතුමාලා යවන උත්තරය මොකක්ද? කියලා. එතකොට නිමල් සිරිපාල ද සිල්වා මහත්තයා කීවා අපි ඒ ඉල්ලීම පිළිගන්නේ නැහැ කියලා සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහත්තයා ලිපියක් යවාවි කියලා. අපි කියනවා කසාදේ ඉවරයි. වෙන් වෙන්න ඕනෙ කියලා. එයාලා කියනවා වෙන් වෙන්න දෙන්න බැහැ කියලා. එහෙම කරන්නේ අපේ ඉල්ලීම පිළිගත්තොත් අපට විපක්‍ෂයේ ස්වාධීන කණ්ඩායමකට අයිති වරප්‍රසාද ලබාදීමට සිදුවන නිසයි. අද ඒකාබද්ධ විපක්‍ෂය පිළිනොගන්නේ ඇයි? පිළිගත්තොත් මන්ත්‍රී ධුර 16ක් පමණක් තිබෙන දෙමළ ජාතික සන්ධානයේ ආර්. සම්බන්ධන්ට විපක්‍ෂ නායක ධුරයත් මන්ත්‍රී ධුර 06ක් පමණක් තිබෙන ජනතා විමුක්ති පෙරමුණේ අනුර දිසානායකට විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයත් අහිමි වන නිසයි. ඒ දෙන්නත් එක්ක හුරතල් වෙමින් ආණ්ඩු කරන්න නම් ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් දඩයම් කරන්න ඕනේ. දඩයම් කරන්න නම් ඔවුන්ට හොරු කියලා ලේබලයක් ගහන්න ඕනේ.

විමල් සැප්තැම්බර් 01දා ත්‍ක්‍ෂෘයට

මටත් සැප්තැම්බර් 01 වැනිදා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට එන්න කියලා දැනුම් දී තිබෙනවා. මම හිතන්නේ එතැනින් ප්‍රශ්න කරලා අත්අඩංගුවට අරන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරාවි. එතැනට යාම හුම්මානයට ගියා වගේ. යාමක් මිස ඒමක් නැහැ. ඒකාබද්ධ විපක්‍ෂයට හොරු කියන ලේබලය ගහන එක අද ආණ්ඩුව සහ ජවිපෙ කරගෙන යනවා. ඒකාබද්ධ විපක්‍ෂයට හොරු කියලා ලේබලය ගහන ආණ්ඩුව සහ අනුබද්ධ විපක්‍ෂය අද වත්මන් ජනාධිපති, හිටපු කෘෂිකර්ම අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේනගේ ලොකු හොරකමක් එළියට ඇවිල්ලා තියෙද්දී ගොළු වෙලා ඉන්නවා.

ඕස්ටේ්‍රලියානු ෆෙඩරල් පොලීසියෙන් විශේෂ විමර්ශනයක්

ඒකාබද්ධ විපක්‍ෂයේ අපට චෝදනා ඉදිරිපත් කරන්නේ පොදු දේපළ පනත අනුවනේ. එතකොට මේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට එල්ල වී ඇති චෝදනාවට නඩු දමන්නේ කවර පනත අනුවද? මේ පිළිබඳව සමාජජාලා වෙබ් අඩවි මගින් අනාවරණය කළත් ජාතික මාධ්‍ය ඔස්සේ ප්‍රමාණවත් සංවාදයක් ඇති වන්නේ නැහැ. මේ හොරකම පිළිබඳව විමර්ශන සිදු කරන ඕස්ටේ්‍රලියානු ෆෙඩරල් පොලීසියේ ප්‍රධානියා සිදු කළ ප්‍රකාශයක් පදනම්කර ගෙන ඕස්ටේ්‍රලියාවේ පළ වන සිඞ්නි මෝනිං හෙරල්ඞ්^Sydney Morning Herald) පුවත්පත සවිස්තර වාර්තාවක් පළකර තිබුණා. මේ සවිස්තර පුවත්පත් වාර්තාවේ සඳහන් වන්නේ කුමක්ද? පසුගිය ආණ්ඩුව සමයේ කෘෂිකර්ම, ගොවිජන සේවා, මහවැලි සංවර්ධන ඇමති ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරයා 2009 වසරේ ජලාශ වේල්ලක් ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත්තුවක් ලබා ගැනීමට ආ ඕස්ටේ්‍රලියානු සමාගමකින් ආධාරයක් ඉල්ලා තිබෙනවා. මේ සමාගමේ නමSnowy Mountains Engineering Company(SMEC). ඒ සමාගමේ ශ්‍රී ලංකා නියෝජිතයා තමන්ගේ ඕස්ටේ්‍රලියානු හාම්පුතාලාගෙන් අහලාE-mail පණිවිඩයක් යවනවා, මම අහවලා හමු වුණා. එයා ශ්‍රී ලංකාව පාලනය කරන පක්‍ෂයේ ලේකම්වරයා. එයා ආධාරයක් ඉල්ලනවා. ඒ ආධාරය දුන්නොත් අපට එයාගෙන් තව වැඩ ගන්න පුළුවන් වෙයි. ඒ නිසා අපට දෙන්න පුළුවන් මුදල කරුණාකර මට දැනුම් දෙන්න කියලා. මේ ලිපි ලේඛන සියල්ල ඕස්ටේ්‍රලියානු ෆෙඩරල් පොලීසිය සතුව තිබෙනවා. ඔවුන් දැන් මේ පිළිබඳව විශේෂ විමර්ශනයක් සිදු කරමින් සිටිනවා කියලා.

FCID සහ රතු කමිසධාරීන්

මේ ව්‍යාපෘතිය සඳහා මුදල් ලැබී ඇත්තේ ලෝක බැංකුවෙන්. ව්‍යාපෘතියට අදාළ කොන්ත්‍රාත්තුව ලබා දීමට තමයි ීඵෑක්‍ සමාගමෙන් රුපියල් මිලියන 2.5ක් ඉල්ලා ඇත්තේ. එය ලබා දී තිබෙනවා. ඒ බව ගිණුම්ගත වී තිබෙනවා. කෝ මේ FCIDය? කෝ මේ රතු කමිසධාරීන්? ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහත්තයා නම් එයාගේ දුක වමරලා තිබුණා, තමන්ගේ ෆේස්බුක් ගිණුමේ. ඔහු කියනවා, මේ ප්‍රශ්නයේදී ජනාධිපතිවරයාට සැඟවීමට තැනක් ඉතිරිව නැත. ඔහු මේ පිළිබඳව ස්ථාවරයක් ගත යුතු අතර රාජපක්‍ෂවරුන්ට චෝදනා කරන සියලු දෙනාට මේ ප්‍රශ්නයෙන් කරඇරිය නොහැක. යහපාලන කතිකාව මෙතැනින් ඉදිරියට යා යුත්තේ මේ කරුණ මුල්කරගෙන විනා රාජපක්‍ෂලාගේ ක්‍රියා මීට වඩා විශාල බව පෙන්වීමෙන් නොවේ. රජිත් කීර්ති තෙන්නකෝන් අපි කුමක් කරමුද? කියලා. රජිත් කීර්ති තෙන්නකෝන් කියන්නේ යහපාලන දූෂණ විරෝධී සංවිධානයක ප්‍රධානියෙක්. නිර්මාල් අසරණ වෙලා මේ ප්‍රශ්නය අහන වෙලාවේ අපට ඕනෑනම් පුළුවන් වස කුප්පියක් ගෙනවිත් දෙන්න

හැදිලා තියෙන අසනීපය

සමහරු හිතනවා හැමෝම තමන් වගේ කියලා. ඇමති විදියට මම මෙහෙම පගාව ගැහුවා නම් ජනාධිපති කොහොම පගාව ගහන්න ඇතිද? කියලා ඒ අය හිතනවා. මේ හැදිලා තිබෙන්නේ ඒ අසනීපයනේ. ජාතිකවාදී බලවේගය හොරු කියලා ලේබලය ගහලා ඔවුන්ගේ කටවල් වහලා, හිරගෙවල්වල දමලා අද උතුරු නැගෙනහිර සිදු වන්නේ කුමක්ද? අද පෙරවරුවේ යාපනය ප්‍රදේශයේ සමහර පාසල්වල දරුවන්ට වර්ණ පුවත්පතක් බෙදාහැර තිබෙනවා. වේළුපිල්ලේ පිරබාහරන්ගේ ඡායාරූපය සහිත එහි ඔබ ගිය මඟ අපි යන්නෙමු කියලා දෙමළ භාෂාවෙන් සඳහන්කර තිබෙනවා. නැවත යාපනයේ දරුවන්ට විස පොවන අවධියක් ආරම්භ වී තිබෙනවා. අද මනෝ ගනේෂන් ඇමතිවරයා කියනවා බලය බෙදන්න ඕනේ. ෆෙඩරල් පාලනයක් ඇති කරන්න ඕනේ. එහෙම නොකළොත් අපි ආණ්ඩුවේ ඉන්නේ නැහැ කියලා. මේ බලය කොහෙන් ආපු එකක්ද? මේ තමයි 2015 ජනවාරි 08 වැනිදා මේ රටේ ජනතාවට සිදු වුණු වැරැද්දේ ප්‍රතිඵලය. අද දෙමළ ජාතිවාදයට උඩගෙඩි දුන්නු දේශපාලන බලවේග මේ රටේ පාලන සුක්කානම හොබවනවා. යුද්ධ කරන අවස්ථාවේ යුද්ධය පරදිනතුරු බලා සිටිය අය අතට පාලනතන්ත්‍රය ලැබී තිබෙනවා. බටහිරට, ඩයස්පෝරාවට හා ඉන්දියාවට ඕනෑ විදියට මේ රට අද භයානක විපතකට ඇදගෙන යනවා. මෙවැනි යුගයක දිඹුලාගල හාමුදුරුවෝ ජීවතුන්අතර සිටියානම් මේ අනතුරට සහ විසකුරු බලවේගයට එරෙහිව රටත් ජනතාවත් වෙනුවෙන් හඬක් නැඟීම නිසැක ලෙසම සිදු වෙනවා.

සිදුව ඇති විකෘතිය

අද මෙරට දේශපාලන තලයේ විකෘතියක් සිදුව තිබෙනවා. මේ විකෘතිය දේශපාලන තලයෙන් ඉවත් කරන්නේ නැතිව, ජාතිකවාදී න්‍යාය පත්‍රයකට යළි මේ රට නතු කරන්නේ නැතිව අපට ඉදිරියට යන්නට බැහැ. මේ රට විජාතික න්‍යාය පත්‍රයක් යටතේ දිනෙන් දින අඳුරු අගාධයක් තුළ ගිලී යාමයි සිදු වෙමින් තිබෙන්නේ. රණවිරුවන් හිරගෙවල්වල දුක් විදින එක, රට බේරාගත් නායකයන්ට අවමන් කරන එක දිගින් දිගටම සිදු වේවි. රට බේරාගත් නායකයන්ට අවමන් කරන කොට දිට්ඨ ධම්ම වේදනීය කර්මය පටිසන් දීලා වෙන්න ඇති ඕස්ටේ්‍රලියාවේ පුවත්පතක ඉහත කී ප්‍රවෘත්තිය පළ වෙලා තිබෙන්නේ.

කැලුම්ලා වගේ මිනිසුන් අද මේ රටේ දේශපාලන කරළියට ඕනේ වෙලා තිබෙනවා

දිඹුලාගල හිමියෝ අපවත් වී වසර 21ක් සපිරෙන මේ වෙලාවේ ජාතියම මරණීය දංගෙඩිය කරා රැගෙන යමින් තිබෙනවා. මේ බොරුවට හා තකතිරුකමට, ජිනීවා න්‍යාය පත්‍රයට අනුව මේ රට නැටවීමට එට්කා ගිවිසුමට එරෙහිව අපි නැගී සිටිය යුතුයි. මේ සටන අපි ජාතියක් ලෙස එකමුතුව ජයගත යුතු සටනක්. කැලුම් ජයසුමනයන් ෆේස්බුක් ජාලය තුළ මීට එරෙහිව මහා සටනක් කරනවා. ඒ සටන මුහුණුපොතට පමණක් සීමා නොකර තවත් ආකාරයකින් ඉදිරියට ගෙන යාමක් තමයි, මේ කෘතිය එළිදැක්වීමෙන් එතුමා බලාපොරොත්තු වෙන්න ඇත්තේ කියා මම හිතනවා. අද ශාසනයට දිරි දෙන්න දිඹුලාගල හාමුදුරුවෝ වැනි භික්ෂූන් වහන්සේලා ඕනේ වගේම, ඒ ජානමය උරුමය තිබෙන කැලුම්ලා වගේ මිනිස්සුත් මේ රටේ දේශපාලන කරළියට ඕනේ වෙලා තිබෙනවා. රටත් ජාතියත් වෙනුවෙන් හැඟීම් ආවේග සහිත, ඒ වෙනුවෙන් නාඩි වැඩ කරන මිනිසුන්ගේ සවියෙන් මේ රට යළි නිවැරදි තැනට ගෙන යා යුතුව තිබෙනවා. ඒ සඳහා මේ කෘතිය සවියක් වන බව සක්සුදක් සේ පැහැදිලියි.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

Related posts

විද්‍යා ඝාතනය නාවික හමුදාව පිට දාන්න සාක්කි දෙයි !

colombotoday

සිරකරුවන් සතුව තිබූ ජංගම දුරකතන 800 ක් අත්අඩංගුවට

colombotoday

හමුදා පාලනයක් ගේන්නේ නෑ – ආරක්ෂක ලේකම්ගෙන් සහතිකයක්

colombotoday

මහර ගැටුම – විද්වත් කමිටු වාර්තාව අධිකරණයට

colombotoday

ඌව පළාත් ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වෙයි

colombotoday

අරලියගහ මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වූ තවත් තුනක් අල්ලයි

colombotoday