Colombo Today Local News

ආර්ථිකය ගැන අගමැතිට අවබෝධයක් නැ.. මහින්ද පැරැද්දුවා වගේ රනිල් – මෛත්‍රී එකට තියා පරද්දමු

මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය කිරීමේ කෙටිදුර ධාවන තරගය අවසන් බවත් දැන් ඇත්තේ මෛත්‍රී රනිල් එකට තබා පරාජය කිරීමේ මැරතන් ධාවන තරගය බවත් ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

ඊට හොඳම දේශපාලන වටපිටාව නිර්මාණය වී ඇතැයි කී හෙතෙම මෙවන් අවස්‌ථාවක්‌ නැවත හිමි නොවන බවත් කියා සිටියේය.

ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා එම අදහස්‌ ඊයේ (01 වැනිදා) පළ කළේ එම පක්‍ෂය සංවිධානය කළ මැයි රැලිය කොළඹ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මාවතේ පිහිටි බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති අවස්‌ථාවේය.

ජනතා විමුක්‌ති පෙරමුණේ අපට අරලියගහ මන්දිරයේ කාමරයක්‌ තිබෙන බව සමහරු චෝදනා කරනවා. කාමරයක්‌ විතරක්‌ නොවෙයි මුළු අරලියගහ මන්දිරයම ලබා ගන්න අප සූදානම්. අපි එය අත්පත් කරගෙන අප රටේ ජනතාවට විවෘත කරනවා.

ජනතා විමුක්‌ති පෙරමුණේ අපි හැමදාම හිටගෙන ඉන්නේ මේ රටේ තැලුණු, පොඩිවුණු අසාධාරණයට ලක්‌වුණු ජනතාව වෙනුවෙන්. රටේ ප්‍රධාන දේශපාලන ව්‍යාපාර දෙකම නව දේශපාලන බලය වෙනුවෙන් ඕනෑම මජර වැඩක්‌ කරන්න සූදානම්. ඒ බව දැන් ඔවුන් ඔප්පු කර අවසන්.

මේ පක්‍ෂ දෙක ආණ්‌ඩු කරන්න නොව දේශපාලනය කරන්නවත් සුදුසු නැහැ. මේ මජර වුණ දේශපාලන පිටිය අප සුද්ධ කරන්න ඕනෑ. ඒ සඳහා අපි ආරම්භක පියවර තබා සිටිනවා. මේ රට මුදා ගැනීමේ කාර්යය අප සහතික වශයෙන් සිදුකරනවා.

රනිල් වික්‍රමසිංහ මහත්තයාට පමණක්‌ නෙමෙයි ලෝක ධන වාදයටම අද බැරිවෙලා තිබෙනවා. මේ ආණ්‌ඩුව අයවැය ලේඛනය හරියට අවුරුද්දකට හදා ගන්න සතියකට සැරයක්‌ බදු වැඩිකරනවා. රනිල් වික්‍රමසිංහ අද ණය ගන්නා වීරයා වෙලා තිබෙනවා.

දැන් ආණ්‌ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග ක්‍රියාත්මක කරමින් සිටිනවා. ඒ නිසයි මේ බදු ඉහළ දමන්නේ. ජනතාව පීඩාවට පත්වීම රජයට ප්‍රශ්නයක්‌ නෙමෙයි. නමුත් ඇමැතිවරුන්ට දෙන පෝමිට්‌ එක වැඩි කරනවා. සභාපතිලාගේ පඩි වැඩි කරනවා. ඒ අයගේ කිසිම පහසුකමක වියදම් කප්පාදු කරන්නේ නැහැ. මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් ඔවුන් වැය කරනවා.

අරලියගහ මන්දිරය වටේ තාමත් කැරකෙන්නේ හොරුන්, වංචාකාරයන් හා ජාවාරම්කරුවන්. පරණ සෙල්ලම මේ රජයත් එලෙසම ඉදිරියට ගෙන යනවා. පාලකයන් ජනතාවට පටි තද කරගන්න කියනවා. නමුත් ඔවුන් ජනතාවගේ මුදල් කාබාසිනියා කරනවා.

රනිල් කොහොමටත් පටිය තද කර ගන්නේ නැහැ. පන්සලකට ගියත් කලිසම උස්‌ස උස්‌ස යන්නේ. මේ ආණ්‌ඩුවට රටේ ණය ප්‍රමාණයවත් හරියට ගණනය කරගන්න බැරිවෙලා. ඒකටත් විදේශ පිරිස්‌ ගෙන්නනවා. මේ ණය කන්ද අපගේ ජනතාව මත පටවන්න හදනවා. මේ ණය කන්දට අපි කර තියන්න ඕනද?

ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල ඉතිහාසයේ අඩුම මිල සනිටුහන් කරද්දී අපට තෙල් මිල අඩුකරන්න බැරිවෙලා. මේ බර ජනතාව දැරිය යුතුද? රනිල් වික්‍රමසිංහ තප්පුලෑවට ඔහුට රට කරන්න බැහැ.

මීළඟ මැතිවරණයකදී මහින්ද රාජපක්‍ෂ සාධකයක්‌ නෙවෙයි. එම මැතිවරණයේදී එක්‌සත් ජාතික පක්‍ෂයයි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයයි එකට තබා පරාජය කළ යුතුයි.

ජාතික සමගියේ වේදිකාව ජනතා විමුක්‌ති පෙරමුණේ වේදිකාවයි. දැන් නිද්‍රdශීලී අවස්‌ථාව අවසන්. අපගේ නව ගමන ධෛර්යසම්පන්නව ආරම්භ කිරීමේ අවස්‌ථාවටයි අප එළඹ තියෙන්නේ. මහින්ද රාජපක්‍ෂ මහතාව පරාජය කිරීමේ කෙටිදුර ධාවනය අවසන්. එහි ප්‍රතිඵල අපි ලබා ගත්තා. දැන් තියෙන්නේ රට දිනවන, සමාජවාදය දිනවන මැරතන් ධාවන තරගයයි.

නව යුගයට දොරටු විවර කරන්න යුගයක්‌ අප ආරම්භ කර තිබෙනවා. ජවිපෙ තරුණ ජවය අප වටා වෙනදාටත් වඩා රොද බැඳගෙන තිබෙනවා. අප සියල්ල එක්‌කරගෙන ජයග්‍රහණය කරා යා යුතුයි. ඊට සුදුසු වටපිටාවක්‌ නිර්මාණය වී තිබෙනවා. අපි වේගයෙන් වැඩ කරන්න ඕනෑ. මීට වඩා හොඳ දේශපාලන අවස්‌ථාවක්‌ අපට හිමිවෙන්නේ නැහැ.

මෙහිදී අදහස්‌ දැක්‌වූ ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙසේද පැවැසීය.

අප රටේ අනාගතය වෙනස්‌ කළ හැකි බලවේගය සිටින්නේ ජනතා අප සමගයි. අප අද මැයි දින රැලියක්‌ තිබ්බා. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය මැයි දින වලියක්‌ තිබ්බා.

කිරුළ ගැලවුණු අය අද කිරුළ සොයන් යනවා. මේ යන්නෙ ජනතාව දිනවන්නද? එජාපය කැම්බල්පිටියේ කම්කරුවා අන්දවනවා. මේ අයට අවශ්‍ය ජනතාව දිනවන්නද?

මෛත්‍රිපාල සිරිසේනට රනිල් වික්‍රමසිංහට, මහින්ද රාජපක්‍ෂට කිරුළ පැළැන්දවීම දැන් නතර කරමු. දැන් අපි ජනතාවට කිරුළ පළන්දවමු. ජනතාව තිත්ත බෙහෙත් බිව්වා දැන් ඇති. ණය ගත්ත නිසා තවත් ණය ගන්නවා. මෙය රටේ ප්‍රශ්නයට විසඳුමක්‌ නෙමෙයි. මේ රට ණයට කන රටක්‌. ඒ ආණ්‌ඩුවත් ණය ගන්නවා. මේ ආණ්‌ඩුවත් ණය ගන්නවා. අවසානයේ ජනතාවගේ කර මත බදු පටවනවා. සහනාධාර කප්පාදු කරනවා.

ගුවන් සමාගමක්‌ ගොඩදාන්න බැරි රජයක්‌ රට ගොඩගන්නේ කොහොමද? කරන්න බැරිනම් අපිට රට භාරදෙන්න අපි කරල පෙන්වන්නම්. මෛත්‍රි, රනිල්ට, මහින්දට බැරි වුණාට රට ගොඩගන්න අපට පුළුවන්.

මෙහිදී අදහස්‌ දැක්‌වූ ජාතික වෘත්තිය සමිති මධ්‍යස්‌ථානයේ සභාපති ජවිපෙ දේශපාලන මණ්‌ඩල සභික කේ. ඩී. ලාල්කාන්ත මහතා මෙසේද පැවැසීය.

අප අද මේ සමරන්නේ ජාත්‍යන්තර අරගලයේ කොටසක්‌. ඒ නිසයි ලෝක වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් ජෝර්ඡ් මවුරිකෝන් මහතා අප සමග එක්‌ව තිබෙන්නේ. ලාංකීය වැඩකරන ජනතාවගේ පක්‍ෂය ජනතා විමුක්‌ති පෙරමුණයි. මෙම ආණ්‌ඩුව වැඩකරන ජනතාවගේ අයිතීන් කප්පාදු කිරීම හා ජනතාව සූරා කෑමට එරෙහිව අප මැයි දිනය පසුදා සිටම දැවැන්ත අරගලයකට සූදානම්.

මේ ආණ්‌ඩුවට 2020 වෙනකන් යන්න බැහැ. යන්න දෙන්න ඕනෙත් නැහැ. මේ ආණ්‌ඩුව මේ යන විදිහට වැඩකරන ජනතාව ඉවසන්නේ නැහැ. ඉවසන්න ඕනෙත් නැහැ. අපි මෛත්‍රිටයි, රනිල්ටයි කියන්නේ වී මිලදී ගැනීමේ නීතිය වහා ක්‍රියාත්මක කරන ලෙසයි. නැත්නම් කොළඹ නගරයේ වීදි පුරා දකින්න පුළුවන් වේවි. මෑන් පවර් සේවකයෝ ස්‌ථිර කරන බවට දුන් පොරොන්දු දැන් වහා ඉටු කරපල්ලා කියලා අපි රජයට මතක්‌ කරනවා. සිවිල් ආර්ථික ක්‍රම අහෝසියි. සමාජවාදී ආර්ථිකයක්‌ රටට අවශ්‍යයි.

 

 

Related posts

මට වෙච්ච දේ ජනපති ගෝඨාභයටත් වෙලා

colombotoday

අගමැති තුමාට රාජ්‍ය තාන්ත්‍රික සංචාර කරන්න කාගෙන්වත් අවසර ගන්න ඕනි නෑ – ජගත් කුමාර

colombotoday

“බොරු පුවත් නිර්මාණය කර පළ කිරීම නින්දිත ක්‍රියාවක්” – ගෝඨාභයගෙන් ප‍්‍රකාශයක්

colombotoday

වී තොග රැස්කළ ගබඩා 11කට මුද්‍රා තබයි

colombotoday

පාසලක් පිටුපස ඉඩමකින් ගිනි අවි ඇතුළු පුපුරණ ද්‍රව්‍ය රැසක් සොයා ගනී

colombotoday

මින්පසු ඇමතිලාට හිතු මනාපේ වැඩ බෑ… රාජ්‍ය ආයතන ප්‍රධානීන් පත්කිරීම විද්වත් මණ්ඩලයකින්…

colombotoday