Colombo Today Local News

“ජන මතයට බිය නැත්තම්, පළාත් පාලන මැතිවරණය තියල පෙන්වන්න” – විමල්

ජනමතයට බිය නැත්නම් ජනතාවට පළාත් පාලන මැතිවරණ ලබා දෙන්න
– ආණ්ඩුවට විමල්ගෙන් අභියෝගයක්

ජනමතයට බිය නැත්නම් දිගින් දිගටම බොරු හේතු ඉදිරිපත් කරමින් පළාත් පාලන මැතිවරණය කල් නොදමා වහා එය පවත්වන ලෙසට ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා ආණ්ඩුවට අභියෝගකර සිටියි.

ඇහැලියගොඩ නගරයේදී පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ඇහැලියගොඩ නියෝජිත සමුළුවේදී විමල් වීරවංශ මහතා මෙසේ අභියෝගකර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද පැවසීය.

‘‘ සිරිසේන – වික‍්‍රමසිංහ දෙමුහුන් ආණ්ඩුව අපේ‍්‍රල් 01 වැනිදා තමයි අලූත් බදුබර ජනතාව මත පටවන්න තීරණය කරලා තිබුණේ. අපේ‍්‍රල් 01 වැනිදා කියන්නේ ‘ මෝඩයාගේ දවස ’ නිසා මේ අය හිතුවා තමන්ට ඡන්දය දීපු මෝඩයන්ට සලකන්න ඕනෙ දවස අපේ‍්‍රල් 01 වැනිදා කියලා. අපේ‍්‍රල් 01 වැනිදා බදුබර පටවනකොට ආනයනික භාණ්ඩවල මිල දෙගුණ – තෙගුණ වෙනවා. ඒ විතරක් නොවෙයි රුපියල ‘ මස්තබාල්දු ’ වෙනකොටත් ඒ දෙයම සිදුවෙනවා. දැන් පෞද්ගලික බස්රථ ධාවකයන්ගේ සංගමය කියනවා ‘ බස් ගාස්තුත් තව සති දෙක තුනකින් ඉහළ නංවන්න ඕනේ ’ කියලා. ‘අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කරන්න බැරි වෙලා තියෙන්නේ රාජපක්ෂ පවුල හොරා කන නිසා ’ කියලා බොරු බේගල් කියමින් මේ අය බලයට ආවා. මේ ආණ්ඩුව, රාජපක්ෂ පාලනය ලබා දුන්නු කිසිදු සහනයක් ජනතාවට ලබා දෙන්න තමන්ට බැහැ කියලා අද වන කොට ඔප්පු කරලා ඉවරයි.

‘ ඡන්දයක් එනකම් ජනතාව බලා ඉන්නවා ’

අද මේ ආණ්ඩුවට ඡන්දය දුන්නු කෙනෙක් හොයා ගන්න එක, කළුනික හොයා ගන්නවාටත් වඩා අමාරුයි. ඩීල් කුමාරලාගේ පච අහලා රැවටිලා ජනවාරි 08 වැනිදා මේ ආණ්ඩුවට ඡන්දය දුන් ජනතාව බලා ඉන්නවා, ඊළඟ ඡන්දයෙන් අනෙක් පැත්ත හරවන්න. ඒ බව දන්න නිසා තමයි සිරිසේන – වික‍්‍රමසිංහ දෙබෑයෝ පළාත් පාලන ඡන්දය කල් දමන්නෙ. අපි අභියෝග කරනවා සිරිසේන – වික‍්‍රමසිංහ දෙබෑයන්ට, ‘ජනමතයට බය නැත්නම් ජනතාවට පළාත් පාලන මැතිවරණය ලබා දෙන්න ’ කියලා. මහින්ද රාජපක්ෂ පාලනය ඡන්ද කල් දැම්මේ නැහැ. සියලූ මැතිවරණ නිසිකලට පැවැත්වූවා. 2015 ජනවාරි 08 වැනිදා ජනාධිපතිවරණය දිනපු මේ අය අගෝස්තු 17 වැනිදා මහ මැතිවරණය දිනුවෙත් අර සිරිසේනගේ අලූගුත්තේරු ලේඛනවලට පිං සිද්ධ වෙන්න. කියපු බොරු බේගල් අතේ පත්තු වෙලා හින්දා, දැන් පළාත් පාලන ඡන්දය තියා ගන්න බැරිව ලත වෙමින් ඉන්නවා.

‘ අවුරුද්දට අය – වැය දෙකක් ’

දැන් මේ අය ඔප්පු කරලා ඉවරයි තමන් ආර්ථික ඔස්තාර්ලා නොවෙයි, ආර්ථිකයේ ‘අ’ යන්න ‘ආ’ යන්නවත් දන්නේ නැහැ කියලා. රවී කරුණානායක බී‍්‍රෆ් කේස් එකක දාගෙන ඇවිත් එක් අය-වැය ලේඛනයක් පාර්ලිමේනතුවේදී බොහොම ආමාරුවෙන් කියෙව්වා. මාසයක් ගියේ නැහැ, අගමැති තවත් අය-වැය ලේඛනයක් ඉදිරිපත් කළා. එක මුදල් වර්ෂයකට අය-වැය දෙකක් ගෙනාපු ලංකා ඉතිහාසයේ එකම ආණ්ඩුව මේ ආණ්ඩුවයි. ඔන්න ‘නළුවෙක් නෙමේ මොළයක් ’ කියපු අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ආර්ථික ඥානයේ තරම. මහින්ද රාජපක්ෂ පාලනය යුද්ධය පැවැති කාලයේ පවා එක සහනයක් කැපුවේ නැහැ. රනිල් වික‍්‍රමසිංහ ‘ඥානපාල’ ඇවිල්ලා මොකද කළේ? 2016 සිට රාජ්‍ය සේවයට අලූතෙන් එකතු වෙන පිරිසගේ විශ‍්‍රාම වැටුප් අයිතිය කප්පාදු කළා. දැන් සමෘද්ධි සහනාධාරය කපන්න කොළේ බෙදා ගෙන යනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ ආණ්ඩුවට කියා තිබෙනවා ‘ඉල්ලන ණය දෙන්න නම් සියලූ සුබසාධන කප්පාදු කරන්න’ කියලා. පාසල් නිල ඇඳුම වෙනුවට වවුචරයක් දුන්නා. ඒකෙන් පාසල් දරුවන්ගේ විලි වහන්න බැහැ. අකිල විරාජ්ගේ විලි වහන්න නම් පුළුවන්. අද තේ, රබර් ගොවියා හතරගාතෙන් වැටිලා ඉවරයි.

අද මැණික් ව්‍යාපාරයත් බිඳ වැටිලා. චීනය තමයි මැණික් ව්‍යාපාරයට තිබුණු විශාලම වෙළඳපොළ. චීනාට පාට් දාන්න ගිහිල්ලා ඒකත් නැති වුණා. ‘පෝට්සිටිය’ නතර කළා. ඩීල් කුමාර කට උල්කරගෙන පෝට්සිටියෙන් වන පරිසර හානිය ගැන කටමැත දෙඩෙව්වා. ඇමරිකාව, බි‍්‍රතාන්‍යය, නෝර්වේ පිච්චියක් දෙන්නේ නැහැ. ඒ අය අද පරණ වලව්කාරයෝ වගේ. වලව්වට මාන්නය තිබෙනවා. අතේ සතේ නැහැ. සල්ලි තිබෙන්නේ චීනා අතේ. අද රනිල් වික‍්‍රමසිංහ ඒක තේරුම් අරන් චීනයට යන්න හදනවා. ‘අනේ චීන මහත්තයෝ පෝට්සිටිය නතර කළාට සමාවෙන්න. මට කීයක් හරි දීලා පෝට්සිටිය පටන් ගන්න. නැත්නම් මට බෙල්ලේ වැල දාගන්නයි වෙන්නේ ’ කියලා කියන්නයි එයා චීනයට යන්නේ. දැනටමත් අපේ සැලැස්මටම මේ කැබිනට් මණ්ඩලය ‘පෝටිසිටිය’ අනුමත කළා. අපි පටන් ගත්තාම ඩීල් කුමාරට ‘පෝට්සිටිය වානා’. රනිල් පටන් ගන්නකොට ‘පෝට්සිටිය ඕනා’. චීනාව යාළුකර ගන්න අද මේ ආණ්ඩුව කොම්පැණියකට සල්ලි ගෙවලා තිබෙනවා.

‘ජෝන් බාස්ගේ සංවර්ධනය’

එදා මහින්ද රාජපක්ෂ පාලනය කුඩු ජාවාරම්කරුවන් අල්ලන කොට අනුර දිසානායක කට උල්කරගෙන කීවේ ‘ රාජපක්ෂ රෙජීමය යටතේ කුඩු කන්ටේනර් පිටින් රටට එනවා’ කියලයි. පසුගියදා නැවකින් ගෙනා කුඩු කිලෝග‍්‍රෑම් 100කට අධික ප‍්‍රමාණයක් ඇල්ලූවා. ඒවා ගැන ඩීල් කුමාරයා කථා කරන්නේ නැහැ. එදා කුඩු ආවේ කන්ටේනර් පිටින් නම්, අද කුඩු එන්නේ නැව් පිටින්. මේ ආණ්ඩුව කරන සංවර්ධනයක් නැහැ. වත්තල ජෝන් බාස් ගිහිල්ලා ඇවිදින මංතීරුවක් මහ රෑ ගලවලා දැම්මා. දැන් ජෝන් බාස් කියනවා ‘ ඒ මංතීරුව අසල ඇලේ කිඹුල්ලූ ඉන්නවා. ඇවිදන අය කිඹුල්ලූ කාවි. ඒකයි මම ඇවිදන මංතීරුව ගැලෙව්වෙ’ කියලා. මේ වගේ ජෝකර්ලා කිසිම පාලනයක ඉඳලා නැහැ. තව ජෝකරයෙක් ඉන්නවා ජෝන් බාස් වගේ. මිනිහා බැලූන් දෙකක් උඩ ඇරියා. දෙකම කඩා වැටුණ. ඊළඟ බැලූම කඩා වැටෙන්නේ මේ ජෝකර්ලාගේ ඔලූව උඩට. (සභාවේ සිනා)

‘ ජාතික ආරක්ෂාව අනතුරේ ’

යළි උතුරේ බෙදුම්වාදය හිස ඔසවමින් තිබෙනවා. මරාගෙන මරෙන ජැකට් යළි උතුරෙන් හමු වෙනවා. ඒත් මේ ආණ්ඩුවේ ආරක්ෂක ලේකම් කියනවා ‘ ඒවා මේ පරණ බඩුමුට්ටුනේ ’ කියලා. මේ ආරක්ෂක ලේකම් යුද්ධ කාලයේ හිටියානම් කොහොම හිටීද ? මධ්‍යම පළාතට පත් කරපු ආණ්ඩුකාරවරිය ආරක්ෂක ලේකම්කමට පත් කළා නම් මීට හොඳයි. වල දමලා තිබිලා මේ මරාගෙන මැරෙන ජැකට් හා පුපුරන ද්‍රව්‍ය හමු වුණා නම් කියන්න තිබුණා, ‘මේවා පරණ බඩු’ කියලා. මේවා පාර්සල් කර ‘වැල්ලවත්තට’ කියලා පාර්සලයේ ලියලා තිබුණ. මේ පාර්සල් එවන්න හදපු පුනරුත්ථාපනය නොවූ කොටි සාමාජිකයා කියන්නේ ‘ මාළු අල්ලන්න යනකොට, මේ බඩු මම ගෙනියන්නයි හිටියේ’ කියලා. මෝරු අල්ලන්නද දන්නේ නැහැ. ඒ ගැන පරීක්ෂණ කරන්නේ නැහැ. සිද්ධිය වසන් කරනවා. ඒත් මේ ගැන අනාවරණය කළා කියලා ජී. එල්. පීරිස් හිටපු ඇමතිතුමා සීඅයිඩියට කැඳවලා පැය තුනක් තිස්සේ ප‍්‍රශ්න කරනවා. ලංකාවේ සිටින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා නීතිය පිළිබඳ විශාරදයාට ඒ විදිහිට හිරිහැර කරනවා. ඒවා දැන ගන්න එක මහ දෙයක්ද ? එතැන බඩු අල්ලනකොටම පොලිසියේ මහත්වරු අපට කියනවා, ‘ඉක්මනට මේක රටට කියන්න. නැත්නම් මේක වසන් කරන්න කියලා උඩින් නියෝග එනවා’ කියලා. රනිල් වික‍්‍රමසිංහ මහත්තයෝ අපට මේවා කියන්නේ පොලීසියේ මහත්වරු. දැන් මාවත් සීඅයිඩියට ගෙනියන්න. මේ තොරතුරු කිව්වේ කවුද ? කියලා අහන්න. අම්මා, මුත්තා කීවත්, දිව කපනවා කීවත් අපි පාවලා දෙන්නේ නැහැ.

‘ ඩයස්පෝරාවේ ඉල්ලීම ’

මේ අවුරුදු එකහමාරට ජනතාවට මේ ආණ්ඩුවේ රඟ දැනිලා ඉවරයි. අද ජනතාවගේ උවමනාවන් ඉටු වෙන්නේ නැහැ. නමුත් බටහිර හාම්පුතුන්ගේ සහ දෙමළ ඩයස්පෝරාවේ උවමනාවන් ටික අපූරුවට ඉටු වෙමින් තිබෙනවා. අද බුද්ධි අංශ රණවිරුවන් 09 දෙනෙක් මාස 07ක් තිස්සේ අත්අඩංගුවේ දුක් විඳිනවා. ඔවුන්ට සිංහල කොටියකු වන ප‍්‍රදීප් එක්නැලිගොඩ ඝාතනය කළා කියලා බොරු චෝදනා එල්ල කොට එසේ රඳවා ගෙන සිිටිනවා. කිසිඳු සාක්ෂියක් නැතිවයි ඔවුන්ව ඇප නොදී රඳවා ගෙන සිටින්නේ. මෙහෙම කරන්නේ ඩයස්පෝරාව සතුටු කරන්නයි.

‘ අවුරුදු 04ක් බලා ඉන්නවාද ?’

මේ තත්වය මෙහෙම ඉදිරියට යන්න දීලා අපි තව අවුරුදු 04ක් බලා ඉන්නවාද? එහෙම බලා හිටියොත් රනිල් වික‍්‍රමසිංහ එට්කා ETCA ගිවිසුමත් අත්සන් කරාවි. ඒ ගිවිසුම අපේ දරුවන්ගේ රැකියාටික කොල්ලකන්න ඉන්දියානුවන්ට ඉඩ හදලා දෙන එකක්. දැනටමත් ඉන්දියානුවන්ට ගුවන් තොටුපළින් වීසා ලබා දීලා කිසිදු බාධාවකින්, සීමාවකින් තොරව ලංකාවට එන්න ඉඩ දෙන්න කියලා මේ ආණ්ඩුව නිලධාරීන්ට උපදෙස දීලා තිබෙනවා. තව අවුරුද්දක් ඉඩ දුන්නොත් මේ ආණ්ඩුව ඒ අපරාධය කරනවා. එට්කා ගිවිසුම අත්සන් තබනවා. මේ අය එතැනින් නවතින්නේ නැහැ. රණවිරුවන්ට එරෙහිව යුද අපරාධ චෝදනා විභාග කරන්න යුද අපරාධ අධිකරණයක් පිහිටුවීම මැයි – ජූනි වන විට සිදුකරනවා. අපේ හමුදාව යුද අපරාධ කළා කියලා ඔප්පු කරලා බටහිර බලවතුන් සහ දෙමළ ඩයස්පෝ්රාව පිනවන්න මේ දෙමුහුන් යුද අධිකරණ පිහිටුවන්නට මේ ආණ්ඩුව සූදානම් වෙනවා.

‘ කළ යුත්තේ කුමක්ද ?’

ඒ නිසා මේ ආණ්ඩුවට ඉඩදී නිහඬව ඉන්න බැහැ. කරන්න තිබෙන්නේ එක දෙයයි. ලක්ෂ ගණනින් පාරට බැහැලා ‘ දැන් හිටියා හොඳටම ඇති. ගෙදර පලයල්ලා’ කියන බලපෑම අපි මේ ආණ්ඩුවට සිදු කළ යුතුයි. එහෙම කළාම තමයි මේ ආණ්ඩුවේ ඇමති කටු සූප්පු කරන අපේ අයියලාගෙත් කකුල් වෙව්ලන්න පටන් ගන්නේ, ඒ අය මේ පැත්තට එන්න පටන් ගන්නේ. ඒ වගේම යූඑන්පියෙත් ඉන්නවා. 20-30ක් අගුපිල්වල රනිල් වික‍්‍රමසිංහට බැන වදින. මහජනතාව ඉදිරියේ බනින තැනට ඒ අය ගෙනෙන්න ඕනේ. ඒක කරන්නත් ලක්ෂ ගණනින් පාරට බැහැලා මේ සටන තීව‍්‍ර කරන්න ඕනේ. අන්න එතකොට පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි හෙලවෙනවා. 113 හදලා මුදල් පනතක් පරද්දලා ඉක්මනින්ම මහ මැතිවරණයක් ගන්න පුළුවන් මාවත අපි නිර්මාණය කරන්න ඕනේ. මේ රට නැත්තටම නැති කරන්න මේ හැත්තට ඉඩ දෙන්නෙ නැතිව, රට ජාතිය ආරක්ෂා කරගන්න සටන් වදින්න රොද බැඳ ගනිමු ! ’’

– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

Related posts

ප්‍රවේසම් වන්න – ශ්‍රී ලංකාවේ අයිසීස් ත්‍රස්ථවාදීයෝ 75ක් රහසේ වැඩ – බුද්ධි අංශ සිදු කළ හෙළිදරව්ව…!!!

colombotoday

මෛත්‍රීගේ රාජකාරී දුරකථනය භාරව සිටි නිලධාරියා පාස්කු කොමිසමට දුන් සාක්ෂිය

colombotoday

නබිනායකතුමාගේ දර්ශනය ජීවිතයට ආදර්ශයක්….

colombotoday

වැඩි ගාස්තු අය කරන අර්ධ සුඛෝපභෝගී බස් දෙසැම්බර් 31 දා සිට ඉවතට

colombotoday

ඉතිහාසය ඇලජික් ‘අලුත් පරපුරේ’ කුවිචාරකයන්ට ජැක්සන්ගෙන් කණ පැළෙන්න උත්තර !

colombotoday

කෝටි දෙකක් අල්ලස්ගත් ජනපති කාර්යමණ්ඩල ප්‍රධානියාට, දැව සංස්ථා සභාපතිට ඇප ඉල්ලීම කල්යයි

colombotoday