Colombo Today Local News

ඩුප්ලිකේට් ෂර්ලොක් හෝම්ස්ලාගේ නොනවතින බුද්ධි අංශ දඩයම!

eknaligoda 1254

සීඅයිඩීය මේ කියන්නේ මාසිකව රුපියල් පහළොස්‌ දහසක්‌ ගෙන තවේන්ද්‍රන් හරහා කොටින්ට ඔත්තු සැපයූ පී. රංජිත් යනු එක්‌නැලිගොඩ බවද? පී. රංජිත් එක්‌නැලිගොඩ නම් ඌ මොනතරම් කාලකණ්‌ණියෙක්‌ද?

කොටි කාන්තා අංශ නායිකාව ලෙස සටන් වැදී පසුව රජයේ හමුදාවන්ට භාර වී නිදහස ලැබ සිටියදී රෝගීව මරණයට පත්වූ තමිලනී විසින් ලියන ලද ආන්දෝලනාත්මක ග්‍රන්ථ දෙකක්‌ පසුගියදා එළිදැක්‌වීය. ඉන් එක්‌ ග්‍රන්ථයක ඇය අපූරු සඳහනක්‌ කර තිබිණි.

රජයේ හමුදා බුද්ධි අංශ එල්ටීටීඊයේ අභ්‍යන්තරයට ඇතුළු වීම කොටි සංවිධානයේ පරාජයට සහ විනාශයට ප්‍රබලම සාධකයක්‌ වූ බව ඇගේ ඒ සුවිශේෂී සඳහන විය. තමිලිනී එම සඳහනින් ලෝකයට කීවේ කුමක්‌ ගැනද?

එමඟින් ඇය අනාවරණය කරනු ලැබුවේ “සතුරා පරාජයට සතුරාම ඇමක්‌ ලෙස යොදා ගැනීම” යන යුද තාක්‌ෂණ ක්‍රමවේදයට අනුව යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකාය විසින් මේ බිමේ රැකවරණය වෙනුවෙන් සටනාරම්භයේ සිට ඉකුත් 2015 වසරේ මුල දක්‌වාම ඉතා සුක්‌ෂම ලෙස ක්‍රියාත්මක කළ “ඔපරේෂන් ඩබල් එඡ්” ඇතුළු බුද්ධි මෙහෙයුම්හි ගුණාගුණ එල්ටීටීඊයට දැනුනු අන්දමය.

නන්දිකඩාල්හිදී පරලොව ගිය යක්‌ෂයා හෙවත් ප්‍රභාකරන් ඇතුළු එල්ටීටීයේ විනාශයට අපේ බුද්ධි අංශයන්හි තීක්‌ෂණ ආක්‍රමණය හේතු වූ බව කොටි කාන්තා නායිකාව ලෙස දැන සිටි නිසාම ඇය ඒ හෙළිදරව්ව සිදු කළාය. එහෙත් තමිලනී එය වටහාගෙන සිටියාට ලොවක්‌ සලිත කළ ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය පරාජය කිරීමේදී “ඌරාගේ මාළු උගේ ඇඟේම තබා කැපීමේ” කපටි න්‍යාය මත සිට රට වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක යෙදුණා වූ අපේ බුද්ධි අංශයන්හි වටිනාකම අපට වැටහුණේද? අප දැන සිටියේද?

එයට සරලව දිය හැකි පිළිතුර වන්නේ නැත යන්නය. මන්ද තමිලනී පැහැදිලිව වටහාගෙන සිටි එය අපට වැටහී තිබුණේ නම් “ඔපරේෂන් ඩබල් එඡ්” ඇතුළුව පොදු සතුරාට එරෙහි දියත් කළ බොහෝ බුද්ධි මෙහෙයුම්හි නියමුවෝ වූ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ ලුතිනන් කර්නල්වරුන් දෙදෙනකු ඇතුළු නිලධාරීන් නවදෙනකු අද වැලිකඩ හිරගෙදර දුක්‌ නොවිඳින්නාහ.

නමුත් ප්‍රගීත් රංජිත් බණ්‌ඩාර එක්‌නැලිගොඩ නොහොත් ප්‍රගීත් එක්‌නැලිගොඩ ඝාතනය නමැති මෙතෙක්‌ පැහැදිලි සාක්‌ෂි, සාධක කිසිත් නැති සීඅයිඩීයේ මනෝවිකාරයක්‌ හමුවේ ඔවුන්ට දැන් එවන් ඉරණමක්‌ අත්ව ඇත.

අප සීඅයිඩීයේ එක්‌නැලිගොඩ විමර්ශනය මනෝවිකාරයක්‌ යෑයි කියන්නේද වගකීම් සහිතවය. මන්ද එක්‌නැලිගොඩ නඩු විභාගය සඳහා හැමදාමත් ටයිකෝට්‌ හැඳ පැළඳ හෝමාගම අධිකරණයට එන, රටට අසීමිතව ආදරය කරන සීඅයිඩීයේ හෙවත් රහස්‌ පොලිසියේ සර්ව සාධාරණ වූ පොලිස්‌ මහත්තුරු දිගින් දිගටම එසේ කියමින් සිටින නිසාය.

ඔවුන්ට අනුව එක්‌නැලිගොඩ විමර්ශනය ඇරඹී මේ ගෙවෙමින් තිබෙන්නේ පස්‌වන වසරය. එහෙත් එක්‌නැලිගොඩ මළාද, මැරුවාද නැතහොත් අතුරුදන් වූවාද යන්න තහවුරු කළ හැකි පැහැදිලි සාක්‌ෂි කිසිවක්‌ එකී දීර්ඝ විමර්ශනය තුළ මෙතෙක්‌ සීඅයිඩීය සොයාගෙන නැත. එසේ සාක්‌ෂි නැති වුවද සීඅයිඩී මහත්තුරු කියන්නේ එක්‌නැලිගොඩ ඝාතනය කළ බව තමන් විශ්වාස කරන්නේයෑයි කියාය. ඉතින් මේ විශ්වාසය මනෝ විකාරයක්‌ මිස අන් කුමක්‌ද?

එක්‌නැලිගොඩ ඝාතනය කළ බව විශ්වාස කරන්නේයෑයි කියන සීඅයිඩී මහත්තුරු මෙතෙක්‌ සාක්‌ෂි නැති ඒ මනෝ විකාරය මත පදනම්ව සියල්ල සිදු කරමින් සිටිති. මේ හමුවේ දිවි පරදුවට තබා සතුරා අතරට යමින් රට වෙනුවෙන් කැපවූ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ විරුවන් නව දෙනකු දණ්‌ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ මිනී මරුවේ යෑයි කියමින් සැකපිට අධිරණයට ඉදිරිපත් කර තිබීම නිසා ඔවුනට ඇපමත සහනයක්‌ ලබා දීමටවත් හෝමාගම මහෙස්‌ත්‍රාත් රංග දිසානායක මහතාට නොහැකිව තිබේ.

ඒ 296 වගන්තිය යටතේ ඉදිරිපත් කරන සැකකරුවකුට ඇප ලබා දීමට මහෙස්‌ත්‍රාත්වරයකුට බලයක්‌ නැති බැවිනි. ඉතින් මේ විරුවෝ එක්‌නැලිගොඩ ඝාතනය නමැති සීඅයිඩී මනෝ විකාරය නිසා දිගින් දිගටම බන්ධනාගාරගත කෙරෙමින් සිටිති. එක්‌නැලිගොඩ කතාවට අදාළ සීඅයිඩී විමර්ශනයේ නිරුවත එසේ වෙද්දී අධිකරණයට එන සීඅයිඩී මහත්තුරු තවත් අරුම පුදුම කතාවක්‌ද අද කියමින් සිටිති.

තමන් එක්‌නැලිගොඩ විමර්ශනයට අනුව සිදු කරන ප්‍රශ්න කිරීම්වලදී සිරගත කර සිටින හමුදා නිලධාරීන් ඇත්ත ප්‍රකාශ නොකරන නිසා එය පරීක්‍ෂණවලට බාධාවක්‌ වී තිබෙන්නේ යෑයි කීම සීඅයිඩීයේ ඒ විශ්මිත කතාව වේ. සීඅයිඩීය කියන මේ ඇත්ත යනු කුමක්‌ද යන්න ගැටලුවකි.

ප්‍රශ්න කිරීමේදී රහස්‌ පොලිසියේ ඩුප්ලිකේට්‌ සර්ලොක්‌ හොම්ස්‌ලා ඉදිරියේ සිට ගන්නා සිරගත කෙරුණු “ඔපරේෂන් ඩබල් එඡ්” විරුවන් “ආ එන්න මහත්තයෝ.. මෙන්න අපේ අත්.. දාන්න මාංචු.. අපි තමයි එක්‌නැලිගොඩ මැරුවේ.. යවන්න හිරේ” යෑයි නොකීම ඒ ඇත්තද යන්න වටහාගත නොහැක්‌කකි.

මිනී මැරුවේ යෑයි කියමින් සැකපිට අල්ලන අය පොලිසිය ඉදිරියේ එසේ පවසා හිරේ යන සිරිතක්‌ රටේ තිබෙන්නේ නම් මේ රටට රහස්‌ පොලිසියක්‌ නොව කිසිදු පොලිසියක්‌ අවශ්‍ය නොවේ. දෙකේ පන්තියේ ළමයින් ටිකකට වැඩේ භාර දුන්නේ නම් හොඳටම සෑහේ. අප එසේ කියන්නේ රහස්‌ පොලිසියේ එක්‌නැලිගොඩ විමර්ශකයන්ට ඇසෙන්නට බවද මෙහිදී විශේෂයෙන් සටහන් කළ යුතුව තිබේ.

සීඅයිඩීයේ මහත්තුරු කරන එකී ප්‍රකාශය අනුව පැහැදිලි වන එක්‌ වැදගත් කරුණක්‌ද ඇත. ඒ තමන්නට ඇවැසි දේ මේ විරුවන් නොකියන නිසා දණ්‌ඩ නීති සංග්‍රහයේ 296 න් ෂොට්‌ එක දී දිගින් දිගටම ඔවුන්ව සිරගත කෙරෙමින් තිබෙන බවය. එසේ කරන්නේ කුමක්‌ නිසා විය හැකිද?

පසුගිය රාජපක්‌ෂ යුගයේදී මාධ්‍යවේදීන් ඝාතනය කිරීම ඇතුළු අපරාධ රැසක්‌ සිදුව තිබෙන බව කීම ඉකුත් 2015 වසරේ යහපාලනය කරළියට ගෙන ඒමේදී වත්මන් ආණ්‌ඩුව දේශපාලන වේදිකා දෙවනත් කළ ප්‍රබල සටන් පාඨයක්‌ව තිබිණ. එහිදී එක්‌නැලිගොඩ, ලසන්ත වික්‍රමතුංග, තාජුඩීන්, පරරාජසිංහම් සහ රවිරාඡ් වැනි ඝාතන කතා සමාජගත කෙරුණේ බොක්‌ස්‌ ඔµsස්‌ වාර්තා තබන චිත්‍රපට පරිදිය.

මේ කතා ඇසූ ජනතාව රාජපක්‌ෂ ආණ්‌ඩුව දෙස බලා අනේ අපොයි කියමින් කම්මුලේ අත තබා කදිමට ඇඳගනිද්දී අවසානයේ කාටත් නොදැනීම එක්‌නැලිගොඩලා, රවිරාඡ්ලා, වික්‍රමතුංගලා සහ තාජුඩින්ලාට පිංසිදු වන්නට යහපාලන පැටියා බිහි විය. එතැන් පටන් ආණ්‌ඩුවේ අය කියූ ලෙසම ඉහත කී ඝාතන පිළිබඳ රහස්‌ පොලිසිය යොදවා විමර්ශන ආරම්භ කළේය.

එහෙත් දැන් තාජුඩීන් විමර්ශනය අපැහැදිලි සීසීටීවී දර්ශන ටිකක්‌ සමඟ රට පටවා ඇත. සැබෑ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන කතාවට වෙච්ච දෙයක්‌ නැත. රවිරාඡ් ඝාතන සිද්ධිය පරස්‌පර කතා ගොන්නක්‌ මැද අධිකරණය ඉදිරියේ තිබෙන්නේය. එක්‌නැලිගොඩ ඝාතනයටද සාක්‌ෂි නැත. ඒ අනුව අද රට ඉදිරියේ ගැලවෙමින් තිබෙන්නේa යහපාලනයේ රෙද්දය.

ඒ අනුව රට වෙනුවෙන් අසීමිත කැපකිරීම් කළ රණවිරුවන් පිරිසක්‌ දිගින් දිගටම සිරගත කරමින් කිසිදු සාක්‌ෂියක්‌ නැති එක්‌නැලිගොඩ විමර්ශන නැට්‌ටේ එල්ලී සීඅයිඩීය මේ කරනුයේ ආණ්‌ඩුවේ රෙදි ගැලවෙද්දී ලෝකෙට පෙනෙන අහවල් එක දෑතින් වසන්නට වෙර දැරීම නොවන්නේද? සිදු වන්නේ එය නම් එය කොතරම් නින්දිත ද?

“අපි හිතන්නේ එක්‌නැලිගොඩ මැරුවා” යෑයි කියමින් මනෝ විකාරයක සිරවී සීඅයිඩීය මෙසේ යහපාලන බබාට නැප්කින් අන්දවන්නට සැරසේදී මෙතෙක්‌ සිදුවූ සහ ඉදිරියටත් සිදු වන දේද බොහෝය.

එකී සීඅයිඩී විමර්ශනය නිසා ලොවම භීතියට පත් කළ ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය පරාජය කරමින් නන්දිකඩාල්හිදී යක්‌ෂයා වනසා දැමීමෙන් පසු කොටින්ගේ යළි පිබිදීම වලකමින් ඉකුත් 2009 වසරේ සිට 2015 දක්‌වා වූ සයවරක කාලයක්‌ තිස්‌සේ රහසේ ක්‍රියාත්මක වූ”ඔපරේෂන් ඩබල් එඡ්” නමැති අති සූක්‌ෂම මෙහෙයුම මුළුමනින්ම ලෝකයා දැන ගත්තේය. එය සිදු කළ රණවිරුවන් කවුරුන්දැයි අනාවරණය කෙරිණ.

“ඔපරේෂන් ඩබල් එඡ්” හරහා දෙස්‌ විදේස්‌ ආදී ලෙසින් මේ රටට එරෙහිව සිදුවූ සියලු කුමන්ත්‍රණ පරාජය කරමින් ජාත්‍යන්තරය දක්‌වා විහිදී ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකීය බුද්ධි සේවයේ දැවැන්ත කඩා වැටීමක්‌ සිදුවිය. ඒ අඩපණ වීම හමුවේ මේ රට අරාජික කිරීමට මාන බලන කුමන්ත්‍රණකරුවනට සහ පොදු සතුරාට යළිත් මඟ විවිර විය. එසේ නොවූවේ යෑයි කියන්නට කිසිවකුටත් නොහැකිය.

අද මේ රට දෙස විමසීමෙන් බැලීමේදී බඩගෝසතරේට කඩේ යන එකෙකුට හැර නාඩි වැටෙන අනිත් ඕනෑම එකෙකුට එය වැටහෙන්නේය. රහස්‌ පොලිසියේ විමර්ශකයන් අද එක්‌නැලිගොඩ ඝාතනය කළ බව කියමින් “ඔපරේෂන් ඩබල් එඡ්” මෙහෙයුමේ නියමුවන් වූ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ ලුතිනන් කර්නල්වරුන් දෙනෙකු ඇතුළු රණවිරුවන් නව දෙනකුට චෝදනා එල්ල කරණුයේ කුමන පදනමක සිටද?

එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන් සක්‍රීය කාලයේ ත්‍රිකුණාමලය සාම්පූර්හි කොටි බුද්ධි ප්‍රධානියා වූයේ තවේන්ද්‍රන්ය. එසේම කොටි බුද්ධි අංශ කායකයා වූ පොට්‌ටු අම්මාන් විසින් එල්ටීටීයේ සිංහල ඔත්තුකරුවන් මෙහෙයවීම භාර දී තිබුණේද මේ තවේන්ද්‍රන්ටය. නමුත් ඉකුත් මානුෂීය මෙහෙයුමේ අවසන් සටනේදී නන්දිකඩාල් කලපුවේ ප්‍රභාකරන් මැරී වැටෙද්දී තවේන්ද්‍රන් වව්නියාවට පැමිණ යුද හමුදාවට භාර විය.

යුද්ධය අවසන් වූ 2009 වසරේ මෙසේ තවේනද්‍රන් හමුදාවට භාර වන විට “ඔපරේෂන් ඩබල් එඡ්” මෙහෙයුම සැලසුම් කෙරී තිබිණ. ඒ එලිටීටීයේ යළි පිබිදීම හෙවත් ඒ වන විටත් දේශීයව සහ ජාත්‍යන්තරව සිදු වෙමින් තිබූ දේශපාලන සහ සන්නද්ධ කොටි බුද්ධි මෙහෙයුම් නවතන්නටය. මෙහිදී කොටි බුද්ධි අංශයේ සිටි තවේන්ද්‍රන්ද එම මෙහෙයුමට සම්බන්ධ කර ගැනීමට යුද හමුදාව කටයුතු කළේය. තවේන්ද්‍රන් පමණක්‌ නොව ඒ අයුරින් කොටි බුද්ධි අංශයේ සිටි කිහිප දෙනකුම හමුදා ඔත්තුකරුවන් කර ගැනීමට එදා යුද හමුදාව සමත්විය.

මේ අනුව පොට්‌ටු අම්මාන්ගේ අණින් තවේන්ද්‍රන් මෙහෙයවූ කොටින්ට ඔත්තු සැපයූ සිංහල ඔත්තුකරුවන්ගේ ජාලයද යුද හමුදාව හඳුනා ගත්තේය. එහිදී පී. රංජිත් නමැත්තකුද තවේන්ද්‍රන්ගේ තොරතුරු ජාලයේ සිටින බවද යුද හමුදා බුද්ධි නිලධාරින්ට අනාවරණය විය. මේ අතීත කතාවය.

වර්තමාන කතාවට අනුව 2015 දී එක්‌නැලිගොඩ සිදුකෙරෙද්දී තවේන්ද්‍රන් සීඅයිඩීයේ අත්අඩංගුවට පත් විය. එහිදී ඔහු ප්‍රකාශයක්‌ කරමින් තමන් සමඟ සබඳතා පැවැත්වූ පී. රංජිත් යනු එක්‌නැලිගොඩ බව පවසා තිබිණ. එහෙත් කිසි දිනෙක පී රංජිත් යනු එක්‌නැලිගොඩ බව ඔහු හමුදාවට පවසා තිබුණේ නැත. මෙකී පී රංජිත් යනු 2002 වසරේ සිට තවේන්ද්‍රන්ගේ ඔත්තුකරුවකුව සිට ඇත්තේ කොටින්ගෙන් ලද රුපියල් 15000 ක වැටුපකටය.

තවේන්ද්‍රන් එසේ පවසද්දී මෙම විමර්ශනයට අනව රහස්‌ පොලිස්‌ අත්අඩගුවට පත් යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ එවකට සාජන් මේජර්වරයකු වූ රංබණ්‌ඩා නමැති අය රජයේ සාක්‌ෂිකරුවකු වී සඳහනක්‌ කරමින් 2011 වසරේ තමන් ගිරිතලේ කඳවුරේ තුළදී එක්‌නැලිගොඩගෙන් ප්‍රශ්න කළ බව පවසා ඇත.

එක්‌නැලිගොඩ විමර්ශනය අනුව රණවිරුවන් පිරිස අත්අඩංගුවට ගැනීමට රහස්‌ පොලිසියේ මූලික පදනම වී ඇත්තේ එයය. එසේ නම් සීඅයිඩීය මේ කියන්නේ මාසිකව රුපියල් පහළොස්‌ දහසක්‌ ගෙන තවේන්ද්‍රන් හරහා කොටින්ට ඔත්තු සැපයූ පී. රංජිත් යනු එක්‌නැලිගොඩ බවද? පී. රංජිත් එක්‌නැලිගොඩ නම් ඌ මොනතරම් කාලකණ්‌ණියෙක්‌ද?

එය කෙසේ වෙතත් රහස්‌ පොලිසියට ප්‍රකාශ දුන් රජයේ සාක්‌ෂිකරු සාජන් මේජර් රංබණ්‌ඩා ඇතුළු කිසිවකුත් එක්‌නැලිගොඩ නමැත්තකු ඝාතනය කෙරුණු බවක්‌ පවසා නැත. ගිරිතලේ පිහිටි යුද හමුදා තුන්වන සන්නද්ධ බුද්ධි බළකා කඳවුරේ එවකට ප්‍රබල කොටි සාමාජිකයන් රැසක්‌ම සිටියේය. එහෙත් ඒ කිසිවකුත් ඝාතනය නොවීය. එසේ නම් දැන් රහස්‌ පොලිසිය කියන පරිදි මරා දමා ඇත්තේ එක්‌නැලිගොඩ පමණක්‌මද යන ප්‍රශ්නය මෙහිදී මතු වන්නේය.

සීඅයිඩීය අද මනෝ විකාරයක සිරවී මෙසේ එක්‌නැලිගොඩ ඝාතනය කළ බව කියද්දී ඒ දිනවල සිදු වූ තවත් සුවිශේෂී දෙයක්‌ද තිබිණ. ඒ තවේන්ද්‍රන්, රාම් වැනි කොටින්ගේ බුද්ධි අංශ ප්‍රබලයන් කිහිප දෙනකුම හමුදාවට එක්‌වී කටයුතු කරන බව දැනගත් එල්ටීටීඊයේ සන්නද්ධ බුද්ධි කෙරුමන්ව සිටි විනයාගම්, තෛයියවන් සහ තිරු ඇතුළු කිහිප දෙනෙක්‌ ඉන්දියාවට පලාගොස්‌ පසුව ප්‍රංශය සහ නෝර්වේ යන රටවලින් මතු වීමය.

එසේ කටයුතු සිදුවූවා නම් ප්‍රගීත් එක්‌නැලිගොඩද ඒ අයුරින් විදේශයකට පැන ගියා විය නොහැකිද? අප එසේ කියන්නේ දැනුදු පාර්ලිමේන්තු මන්ත්‍රි අරුන්දික ප්‍රනාන්දු මහතා තමන් එක්‌නැලිගොඩ විදේශයකදී දුටු බව පවසන නිසාය. ඔහු මෑතකදීද එය සඳහන් කරනු ලැබීය. මේ අනුව බලන කල ප්‍රගීත් එක්‌නැලිගොඩ කොතැනකින් හෝ යළි මතුවීමේ සම්භාවිතාවක්‌ද ඇත. එවැන්නක්‌ සිදු වුවහොත් එදාට ආණ්‌ඩුවේ මෙන්ම සීඅයිඩීයේ රෙද්ද ද ගැලවී නොයන්නේද?

අද සීඅයිඩීයේ එක්‌නැලිගොඩ විමර්ශන කතාව එසේ වෙද්දී මෙහිදී මතු කළ යුතු තවත් තවත් කතාවක්‌ද ඇත. ඒ එක්‌නැලිගොඩ බිරිඳ සන්ධ්‍යා එක්‌නැලිගොඩගේ අද දවසේ හැසිරීමය. සීඅයිඩී මනෝ විකාරයකට රණවිරුවන් පිරිසක්‌ සිරගත කර සිටියදී ඇය ඉකුත්දා ඔවුන්ට ඇප නොදෙන්නැයි කියමින් මාධ්‍ය හමු පැවැත්වූවාය.

එසේම මීට ටික කලකට ඉහතදී මාධ්‍ය ඉදිරියට පැමිණි ඇය ඉකුත් මානුෂීය මෙහෙයුමේදී හමුදාව රසායනික අවි භාවිත කළ බව කියමින් බරපතළ චෝදනාවක්‌ද කළාය. තමන් පැමිණිලිකාරිය වී සිටින නඩුවක සැකකරුවන්ට ඇප ලබා නොදෙන ලෙස බල කරමින් ඇය මෙසේ මාධ්‍ය හමුවේ මොරදීම පැහැදිලිවම අධීකරණයට කරන බලපෑමක්‌ නොවන්නේද? අප එසේ අසන්නේ එක්‌නැලිගොඩ කතාව හමුවේ ඥානසාර හිමියන් මුල්වී ඇතිවූ සිද්ධියේදී අධිකරණයට බලපෑම් කළ බව කියමින් මහා සංඝයාවහන්සේ හැටහුටාමාරක්‌ හිරේ ගිය හැටි දෑසින් දුටු නිසාය.

එසේම රටේ සමස්‌ත හමුදාවට බරපතළ චෝදනාවක්‌ එල්ල කිරීම හමුවේවත් ඇයට ක්‍රියාත්මක වූ නීතියක්‌ නැත. එසේ නම් මේ කියෑවෙන්නේ සන්ධ්‍යා එක්‌නැලිගොඩට නැති නීතියක්‌ දැන් අපට තිබෙන බවද? මතක තබා ගන්න… මේ යහපාලනය ය.

සමන් ගමගේ

Related posts

උතුරෙන් උමතු යෝජනා 15ක්.. ලක් ඉතිහාසයත් අලුතෙන් ලියන්න ඉල්ලයි !

colombotoday

අද ඩොලරයේ මිල

colombotoday

විස්ස පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ මතය අද පාර්ලිමේන්තුවට

colombotoday

පළාත් පාලන මැතිවරණය ගැන අදත් මැතිවරණ කොමිසමේදී සාකච්ජාවක්

Admin

සියළුම රාජ්‍ය සේවකයන්ට රු 2500ක දීමනාවක්…

colombotoday

බැඳුම්කර නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය හමුවට මාරු කෙරේ

colombotoday