Colombo Today Local News

“හොරු අල්ලනවෝ“ නාට්‍යය දැන් මාස 14ක් පුරා ජනතාව බැලුවා. අල්ලපු හොරෙකුත් නෑ. කරපු වැඩකුත් නෑ

udaya gammanpila

හයිඩ් පාර්ක් පිටියේ පැවැති ‘ජන සටන’ විරෝධතා රැලියේ දී දැක්වු පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

‘පෙරේදා මේ රැස්වීම් භූමියේම රැස්වීමක් පවත්වන්න තිබුණා. බස් නම් පෙරහැරෙන් ආවා තමයි. හැබැයි බස් වල සෙනග හිටියේ නෑ. ඒ රැස්වීමට හිටියේ උපරිමේ 4,000යි. හයිඩ් පිටියේ එදා රැස්වීම තිබුණා නම් මේ ජන ගඟ සමග සැසඳිලා ආණ්ඩුව කරන එජාපයේ හෙළුව පේනවා. ඒ නිසා නගර සභා පිටියෙන් හයිඩ් පිටිය දක්වා පෙලපාලියෙන් ආපු තරුණ සීයලා ආච්චිලා හයිඩ් පිටිය පෙනි පෙනී ආපසු හැරෙන් ගමනේ යා කියා නැවත ගියා ලිප්ටන් වටරවුමට.

පාරවල් පහකින් එන වාහන හිර කරගෙන එජාප රැස්වීම තිබ්බේ ලිප්ටන් වටරවුමේ. ලිප්ටන් වටරවුම හරහා තමයි ජාතික රෝහලට යන්නේ. මිත්‍රවරුනි මේ පාරවල් පහෙන්ම හදිසි ලෙඩ්ඩු අරන් ගිලන් රථ එනවා. ඒ සියල්ල එදා හිර වුණා. පාරවල් හිර කලේ රටේ අගමැති ඇතුළු මැති ඇමතිවරු.හැබැයි නීතිය ක්‍රියාත්මක කරන පොලීසියේ මහත්තුරු සැලියුට් ගහමින් බලා හිටියා. අන්න අපේ විමල් වීරවංශ මැතිතුමා පාර දිගේ පෙලපාලියක් ගියා කියලා නඩුත් පවරලා. පෙරේදා පාර අවහිර කරගෙන හිටියා කියලා අන්තරේ කොළු පැටවුන්ට හොඳටෝම තඩි බෑවා.

ස්වාධීන යැයි කියන පොලිස් කොමිසමේ මහත්වරුනි, ලංකාවේ වැදගත්ම වටරවුම අවහිර කරගෙන හිටපු අගමැතිට එරෙහිව පොලීසිය ක්‍රියාත්මක නොවුණේ ඇයිදැයි සොයන්න පුළුවන් නම් පරීක්ෂණයක් තියන්න.

තරුණ අපිට රස්සා දියව් කියලා එජාපයෙන් බෝඩ් ඇඳලා තිබුණා. හැබැයි ඒවා ගෙනි යන්න තරුණයෝ හිටියේ නෑ. ආච්චිලා සීයලා අතට තමයි ඒ බෝඩ් දීලා තිබුණේ. එක අතකින් හැරමිටිය තියා ගෙන අනිත් අතෙන් රස්සා දියව් බෝඩ් වනනවා අපි දැක්කා. එජාප රැස්වීම් වලට තරුණයෝ එන්න මෙතරම් බය ඇයි කියලා දන්නේ අගමැතිතුමා විතරයි.

ලෝක ඉතිහාසයේ කවදාවත් විපක්ෂය වැඩ කරන්න දෙන්නේ නෑ කියලා ආණ්ඩුවක්පෙලපාලි ගිහින් නෑ. නටන්න බැරි එකාට පොලොව ඇදයි වගේ වැඩ බැරි සිරිසේනට හැමදේටම රාජපක්ෂ.

විදුලිය කැපුවේ රාජපක්ෂලා නිසා. ණය වැඩි වුණේ රාජපක්ෂලා නිසා. ඩොලර් නැත්තේ රාජපක්ෂලා නිසා. පඩි වැඩි කරන්න බැරි රාජපක්ෂලා නිසා. බදු ගහන්නේ රාජපක්ෂලා නිසා. මේ ආණ්ඩුවට තිබෙන්නේ රාජපක්ෂ භීතිකාවක්. මහත්මා ගාන්ධි මරා දාන කොට මහින්ද රාජපක්ෂ මැතිතුමාට යන්තම් මාස 14යි. නැතිනම් කියාවි ගාන්ධිට වෙඩි තිබ්බෙත් මහින්ද රාජපක්ෂ කියලා.

“හොරු අල්ලනවෝ“ නාට්‍යය දැන් මාස 14ක් පුරා ජනතාව බැලුවා. අල්ලපු හොරෙකුත් නෑ. කරපු වැඩකුත් නෑ. කෝ අර කිව්වා මෙගා ඩීල්? මෙගා ඩීල් එකක් තබා සිඟිති ඩීල් එකක් වත් නෑ. මෙගාඩීල් ගැන කතා කරපු අය මෙගාපොලිස් වෙලා සිල් බිඳගෙන අද හොරා පොලිස් වෙලා.

මේ රටේ ජනතාව ඉවසුවා. මාස 14ක් හොඳටෝම ඉවසුවා. ඉවසුවා ඉවසුවා මෙච්චර ඉවසුවා තව නම් ඉවසන්න බෑ කියලා අද හයිඩ් පිටියට ඇවිත් තිබෙනවා.

මේ ජන ගඟ කොළඹට ගැලුවේ පොරොන්දු වුණු රස්සා දශ ලක්ෂය ඉල්ලන්න නොවේ. පොරොන්දු වුණු (වැඩි වැටුප්, සහතික මිළ, සහනාධාර) ඉල්ලන්න නොවේ. මේ ආණ්ඩුවට ඒවා දෙන්න බෑ කියලා දැන් ජනතාව දන්නවා. බදු බරින් මිරිකලා සහන කප්පාදුවෙන් හෙම්බත් වෙලා හතේ හත වැදිලා ඉන්න මේ රටේ ජනතාවට දැන් අවශ්‍ය වෙලා තිබෙන්නේ එක දෙයයි. මේ රට කන ආණ්ඩුව වැඩ බැරි ආණ්ඩුව හැකි ඉක්මනින් ගෙදර යවන්න පමණයි. රනිල් – සිරිසේන මහත්වරුනි, කර ගන්න බැරි නම් මේ රත්තරන් රට තවත් විනාශ නොකර වහාම ගෙදර යන්න. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවලා වැටුණු රට ගොඩ නගන්න අපි ලැහැස්තියි.

එදා අපි භාර ගත්තේ ලෝකයේ බලගතුම ත්‍රස්තවාදියා අණසක පතුරපු රටක්. ණය බර ජාතික ආදායමෙන් 103%ක් වුණු රටක්. අධිවේගි මාර්ග සැලසුම් වලට පමණක් සීමා වුණු රටක්. එහෙව් රටක් වසර තුනෙන් අපි ගොඩ දැම්මා නම් එජාපය බියෙන් සැලෙන මේ අර්බූදයෙන් ගොඩ දැමීම අභියෝගයක් නොවේ.

දැන් ආණ්ඩුව කියනවා ලෝක ආර්ථික අර්බූදය නිසා එයාලට මුකුත් කර ගන්න බැරිලු. 2009 දී මීට වඩා දරුණු අර්බූදයකට ලෝකය මුහුණ දුන්නා. ලෝකය පුරා ආර්ථිකයින් ඇද ගෙන වැටුණා. එජාපයේ ආදර්ශය වන සිංගප්පූරුවත් සෘණ වුණා. හැබැයි ලංකාව 29 තැනට ලෝකයේ හොඳම ආර්ථික වර්ධනය පෙන්වන රට වුණා. එදා මහින්ද මැතිතුමා වැඩ හැකි කෙනාට ඇද පොලවෙත් නටන්න පුළුවන් කියලා ඔප්පු කරලා පෙන්නුවා.

ආණ්ඩුව මුහුණ දෙන ආර්ථික අර්බූදයට හේතුව මොකද්ද?

මේ අවුරුද්දේ ඩොලර් ලැබීම් සහ ගෙවීම් අතර වෙනස ඩොලර් බිලියන 5ක්. වෙනදා මේ පරතරේ පියවා ගන්නේ විදේශ ණය වලින් විදේශ අයෝජන වලින්. එජාප ආණ්ඩුවක් එනතුරු ආයෝජකයෝ දත කට මැදගෙන බලා ඉන්නවා කිව්වා. මොකද වුණේ? මේ ආණ්ඩුව ආවාට පස්සේ හිටිය ආයෝජකයෝත් අකුල ගෙන ගියා ප්‍රතිපත්තියක් නැති ආණ්ඩුවක් කියලා. බලාගෙන ඉන්න කොට කොටස් වෙළඳපොල කඩා ගෙන වැටෙනවා. අපේ කාලයේ චීන ආයෝජකයෝ ආවා. චීන ආණ්ඩුව ඉල්ලන පමාවෙන් ණය දුන්නා. එජාපයේ නායකයෝ විපක්ෂයේ ඉන්න කාලයේ මොකද කිව්වේ?

මහින්ද ලංකාව චීන කොලනියක් කරන්න යනවා. චීන හිඟන්නාගෙන් ණය ගන්නවා. අපි ආපු ගමන් පෝර්ට් සිටි නතර කරනවා. කිව්වා වගේම නතර කලා.

ලංකාව නොවේ බලවත් ඇමෙරිකාවවත් චීන ජනාධිපති මුල්ගල තිබ්බ දෙයක් නතර කරන්නේ නෑ. ඇමෙරිකාව එංගලන්තය ඇතුළු මුළු ලෝකයම අද දුවන්නේ චීන සල්ලි වලින්.

මේ ආණ්ඩුවට ගොඩ ඒමක් නෑ. ඒ බව දැන් ජනතාව දන්නවා. අද වැඩියෙන් බනින්නේ අපි නොවේ හංසයාට කතිරේ ගහපු අයයි.

මිත්‍රවරුණේ රාජපක්ෂවරුන්ට ජනපති මැදුරත් හුරුයි සිපිරිගෙයත් හුරුයි. විල්ලුද ඇදත් හුරුයි පං පැදුරත් හුරුයි. ඒ නිසා FCID පෙන්නලා, හිරගෙවල් පෙන්නලා මෙ සටන නතර කරන්න බෑ. ඔබ ඔබට, ඔබේ දරුවට, මාතෘ භුමියට ආදරේ නම් නොපමාව මේ ජන සටනට එකතුවෙන්න කියලා අපි සමස්ථ ජාතියෙන් අයාචනා කරනවා.

මිත්‍රවරුණේ ජනපති මැදුරේ නොපෙනී ලෙලදෙන ඉන්දීය ධජය ගලවා විසිකර නැවත ජාතික ධජය ඔසවන තුරු, අගමැති මැදුරේ නොපෙනී ලෙලදෙන ඇමරිකානු ධජය ගලවා විසිකර නැවත ජාතික ධජය ඔසවන තුරු මේ ජන සටන හයිඩ් පාර්ක් වලින් නතර වෙන්නේ නෑ.

– අරවින්ද අතුකෝරල

Related posts

කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර වලට ලබාදුන් සහනය

colombotoday

“උතුරේ සිදුවීම් පාලනයට රජය අසමත්.. ජාත්‍යන්තර මැදිහත්වීමක් වහා අවශ්‍යයි“ – විග්නේෂ්වරන්

colombotoday

සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට ජනපතිගෙන් ඉල්ලීමක් !

colombotoday

වසර 10කදී රුපියල් කෝටි තිස්දාහක් කළු සල්ලි රටින් පන්නලා !

colombotoday

කොකේන් අදින මන්ත්‍රීවරයෙකුගේ නමක් රන්ජන් හෙළිකරයි…

colombotoday

“ටික් ටෝක්” එකේ සිදුකල කොටි සැමරුම්

colombotoday