Colombo Today Local News

සහරාන් හෂීම් ගැන 2014 සිට තොරතුරු ලැබුණු හැටි හිටපු TID ප්‍රධානියා කොමිසම හමුවේ කියයි

පාස්කු ප්‍රහාරය එල්ල කළ ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සම්බන්ධයෙන් 2015 සිට තමන් විමර්ශනය කළ බවත්, ඔහුට අදාළව ලිපිගොනු 14ක් පවත්වාගෙන ගිය බවත් හිටපු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා පවසයි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඔහු සඳහන් කළේ, සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට තමන් 2018 වසරේ දී විවෘත වරෙන්තුවක් ලබා ගත්තද, ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකි වු බවය.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරව කටයුතු කළ වැඩතහනමකට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සාක්ෂි විමසීම සදහා ඊයේ (08)දින පස්වරුවේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට කැඳවා තිබුණි.

2014 වසරේ දී පමණ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රතිත්‍රස්ත ඒකකය තමන්ට භාරදීමෙන් පසු මුල්වරට ඉස්ලාම් අන්තවාදය පිළිබඳ තොරතුරු දැනගත් බවත්, එහිදී තොරතුරු ලැබුණේ මාළිගාවත්ත ප්‍රදේශයේ වෙසෙන සාම්ප්‍රදායික මුස්ලිම්වරුන්ට එරෙහිව වෙනස් මගක ගමන් කළ අබ්දුල් රාසික් නැමැත්තෙකු සම්බන්ධයෙන් බවත් සාක්ෂිකරු එහිදී කියා සිටියේය.

කෙසේවෙතත් අබ්දුල් රාසික් නැමැත්තා විසින් ආරම්භ කළ ශ්‍රී ලංකා තවුහිද් ජමාත් සංවිධානයට සම්බන්ධ වී සිටි, කාත්තන්කුඩි ප්‍රදේශයේ ස්ථානගත වී සිටි අයෙකු ලෙස රාජ්‍ය බුද්ධි සේවය 2014 වසරේ දී සහරාන් හෂීම් හඳුනාගත් බවද නාලක ද සිල්වා මහතා පැහැදිලි කළේය.

2017 වසරේ දී කාත්තන්කුඩි ප්‍රදේශයේ සිට පැමිණි වලිඋල්ලා නැමැති සංවිධානයක් ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ ප්‍රචණ්ඩ හැසිරීම පිළිබඳ එවකට සිටි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා දැනුවත් කර තිබු අතර හිටපු පොලිස්පතිවරයා අදාළ කණ්ඩායම තමන් වෙත යොමු කිරීමෙන් පසු ඒ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කළ බව නාලක ද සිල්වා මහතා ජනාධිපති කොමිසම හමුවේ සඳහන් කළේය.

සහරාන් හෂීම් සම්බන්ධයෙන් තමන් ගොනු 14ක් පවත්වාගෙන ගිය බවත් 2017 වසරේ මාර්තු මස සහරාන් හෂීම් කාන්තන්කුඩි ප්‍රදේශයේ තවත් සංවිධානයක් සමග ගැටීමක් ඇතිකර ගැනීමෙන් පසු ඔහු අතුරුදහන් වී සිටි බැවින් ඔහුව සෙවීමට කල්මුණේ ඒකකයේ සිටි මුස්ලිම් නිලධාරියෙකු පත්කළ බවද සාක්ෂිකරු කොමිසම හමුවේ සඳහන් කළේය.

කාත්තන්කුඩි අල්ලියාර් මංසන්ධියේ ඇතිවු අදාළ ගැටුමෙන් පසු සහරාන් හෂීම් ප්‍රචණ්ඩ අන්තවාදය දක්වා පැමිණ ඇති බව තමන් නිරීක්ෂණය කළ අතර ඔහු ජාතික ආරක්ෂාවට පැහැදිලි තර්ජනයක් වන බව තේරුම්ගත් බවද නාලක ද සිල්වා මහතා පැවසීය.

ඒ අනුව 2018 ජුලි මස 09 දින අධිකරණයට කරුණු වාර්තා කර, සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තුවක් ලබාගැනීමට තමන් කටයුතු කළ බව ද සාක්ෂිකරු ජනාධිපති කොමිසම හමුවේ අවධාරණය කළේය.

කෙසේවෙතත් එතැන් පටන් තමන්ව අනිවාර්යය නිවාඩු යැවු සැප්තැම්බර් 20 වැනි දින දක්වා වු මාස 03කට ආසන්න කාලය තුළ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බුද්ධි අංශ යොදවා සහරාන් හෂිම්ගේ බිරිඳගේ නිවස, කුරුණෑගල, කාත්තන්කුඩිය ආදි ප්‍රදේශවල ආවේශණ රාජකාරී සිදුකළ ද සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට තමන්ට නොහැකි වු බව නාලක ද සිල්වා මහතා සාක්ෂි ලබාදෙමින් කියා සිටියේය.

කෙසේවෙතත් ඊයේ දින ජනාධිපති කොමිසම හමුවේ සිදුකළ මෙම සාක්ෂි ලබාදීමෙදි වැඩතහනමකට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා කියාසිටියේ තමන් පොලිස් සේවයෙන් වසරකට ආසන්න කාලයක් ඉවත්ව සිටීම හා රක්ෂිත බන්ධනාගාරගතව සිටීම හේතුවෙන් තමන්ට සාක්ෂි ලබාදීමට අදාළ ඇතැම් කරුණු අමතක වී ඇති බවය.

මෙහිදී සාක්ෂිකරු විසින් සිය සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සිදුකළ පැහැදිලි කිරීමක්ද කරුණු කොටගෙන ජනාධිපති කොමිසම විසින් නැවත වෙනත් දිනයක නාලක ද සිල්වා මහතා සාක්ෂි විමසීම සඳහා කැදවීමට තීරණය කළේය.

Related posts

සිවාජිලිංගම් සහ හිස්බුල්ලා ඇප තබති. – මුදල් තැන්පත් කිරීමේ කාලය අවසන්. 41ක් ඇප බඳිති

colombotoday

දේශබන්දුට එරෙහිව තිබූ විදෙස් ගමන් තහනම ඉවතට

Admin

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පාර්ලිමේන්තුවේදී

colombotoday

අතුරුදන් කාර්යාලය අතීතයටත් බලාත්මකයි.. රටත්, රණවිරුවනුත් පාවා දුන්නා – රටට වසන්කළ රහසක් හිටපු ඇමති විජේදාස හෙලිකරයි

colombotoday

7 වැනිදාට පෙර තවත් දේශපාලන පෙරළියක්…

colombotoday

රාජිතගේ පුතු ඇස් දෙකෙන් දැක්කා කියූ ඩොලර් සැගවූ ගිණුම්වල මහින්දගේ නම නැතිලු

colombotoday