Colombo Today Local News

සමහරවිට ඒ ආණ්ඩු මේ තරම් මෝඩ නැතිව ඇති – යහපාලන ආණ්ඩුව ගැන මංගල කියයි

යහපාලන ආණ්ඩුව විසින් පිහිටුවනු ලැබූ දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලය පවත්වාගෙන යාමට 2015 පෙබරවාරි සිට 2017 ජුනි මාසය දක්වා කාලය තුළ රුපියල් කෝටි තුනකට අධික මුදලක් වැය වී ඇති බව දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (11)දින අනාවරණ විය.

මේ අතර, හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා මෙම කොමිසම හමුවේ (10) දිනයේ සාක්ෂි දෙමින් පැවසුවේ එම දූෂණ විරෝධී කමිටුවෙන් අපේක්ෂා කළ ප්‍රතිඵල ඉටු නොවූ බවය.

ආර්ථික කටයුතු අමාත්‍යාංශ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමට කර තිබූ පැමිණිල්ලකට අදාළව හිටපු අමාත්‍යවරුන් වන මංගල සමරවීර සහ මලික් සමරවික්‍රම යන මහත්වරුන් සාක්ෂි ලබාදීමට 10 වන දින කොමිසමට පැමිණියේය.

කොමිසම හමුවේ සාක්ෂි දෙමින් මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේ යහපාලන රජයේ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද ජාතික විධායක සභාව පිළිබඳව මේ මොහොත වනතෙක් ම තමා කිසිවක් දැන නොසිටි බවය.

තමන් ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකු වශයෙන් 2015 ජනවාරි 21 වැනිදා කැබිනට් මණ්ඩල රැස්වීමට අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද දූෂණ විරෝධී කමිටුව පත් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව පිළිබඳව නොදැන සිටියේ කෙසේ දැයි කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා ප්‍රශ්න කළේය.

අදාළ කැබිනට් රැස්වීමට සහභාගි වූයේ ද නැද්ද යන්න පිළිබඳව තමන්ට හරියාකාර මතකයක් නොමැති බව ප්‍රකාශ කළ හිටපු අමාත්‍යවරයා තමන් කැබිනට් රැස්වීමට සහභාගි වූවත් නැතත් එවැනි තීන්දුවක් අනිවාර්යෙන්ම තමා අතට පත්විය යුතු බව පිළිගත්තේය.

තවද ජාතික විධායක සභාව යටතේ පැවැති අනු කමිටුවක සභාපතිවරයා වශයෙන් මංගල සමරවිර මහතා පත්කර ඇති බව අදාළ ලේඛන වල සඳහන් වුවද එය ද තමන් දැන නොසිටි බව ඔහු කොමිසම හමුවේ අවධාරණය කළේය.

2015 ජනවාරි 8 හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බලයට පත්වීම සඳහා ජනවරමක් හිමිවූයේ මහ පරිමාණ දූෂණ වංචා සෙවීම සඳහා බව සාක්ෂි ලබාදෙමින් ඔහු සඳහන් කළේය.

එහෙත් කැබිනට් මණ්ඩලයට ඉහළින් ජාතික විධායක සභාවක් ඇතිවීම පිළිගත හැකි දැයි මෙහිදී කොමිසම ප්‍රශ්න කළ අතර ඊට පිළිතුරු දෙමින් සෑම රජයක්ම බලයට පත්වන විට දූෂණ පිළිබඳව ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රකාශ කළ මංගල සමරවිර මහතා සෑම රජයක්ම පත් වන්නේ දූෂණය පිටුදැකීම මූලික කරගෙන බව සඳහන් කළේය.

කෙසේ වෙතත් කලකිරීමෙන් ඔහු ප්‍රකාශ කළේ අවසානයේ තම රජයෙන්ද සිදු වුයේ පැවති ක්‍රමවේදයම පවත්වාගෙන යාම බවය.

මෙම කොමිසම සභාව පිහිටුවීමට සිදුවූයේත් පැවැති කොමිසන් සභා වල දුර්වලතා හේතුවෙන් බවද සමරවිර මහතා සඳහන් කළේය.

එවැනි කැබිනට් පත්‍රිකාවක් දකින්නේ ප්‍රථම වරට යයි අවධාරණය කළ සභාපති විනිසුරුවරයා කිසිම රජයක මීට පෙර ඔබ මෙවැනි කැබිනට් තීරණයක් දැක තිබේ දැයි විමසා සිටියේය.

මංගල සමරවීර මහතා ඊට පිළිතුරු දෙමින්, “සමහරවිට ඒ තිබුණු ආණ්ඩු මේ තරම් මෝඩ නැතිව ඇති” යනුවෙන් ප්‍රකාශ කළේය.

මේ අතර යහපාලන ආණ්ඩුවෙන් පිහිටුවූ දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලයේ සමාජිකයින්ට නඩත්තු දීමනා සහ වේතන ඇතුළු ගෙවීම් පිළිබඳ වන ලේඛනයක් අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් අද කොමිසමට ඉදිරිපත් කර තිබේ.

එය නිරීක්ෂණය කළ කොමිසමේ සභාපති විනිසුරුවරයා සඳහන් කළේ ” දූෂණ හොයන්න ගිය තැනම තමයි ලොකුම දූෂණය වෙලා තියෙන්නේ, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහයි ,මංගල සමරවීරයි මේ ගැන ඇහුවාම මෙහෙම කමිටුවක් ගැන දන්නෙවත් නෑ කියලා කිව්වා. ඒ නිසා මේ මහා බොරුව හෙළිදරව් කිරීම වැදගත් නිසා මේක මාධ්‍යයට ලබා දෙන්න” යැයි කොමිසම නියෝග කළේය.

එම ලේඛනයට අනුව 2015 පෙබරවාරි සිට 2017 ජුනි දක්වා දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය සඳහා වැයවී ඇති මුදල රුපියල් තුන් කෝටි තිස් හත් ලක්ෂ දාහතරදහස් අටසිය හතකි.

මේ අතර වැඩ තහනමකට ලක්ව සිටින කඩුවෙල මහ‍ෙස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අද පළමු වරට මෙම කොමිසම හමුවේ පෙනී සිටියේය.

ඒ ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා කර තිබූ පැමිණිල්ලකට අදාළවය.

දිවිනැගුම, දෙපාර්තමේන්තුවක් බවට පත්කිරීමේදී ස්වෙච්ඡාවෙන් ඉවත් වූ සේවකයින්ට වන්දි සහ පාරිතෝෂික දීමනා ලබාදීම මෙන්ම ඉසුරුමත් නිවාස ව්‍යාපෘතියෙන් සහන ලබාදීමේ සිදුවීම්වලට අදාළව යහපාලන ආණ්ඩුව තමා රක්ෂිත බන්ධනාගාරගත කිරීම දේශපාලන පළිගැනීමක් බවටයි ජයතිලක මහතා පැමිණිලි කර තිබුණේය.

ඔහු පවසා තිබුණේ 2015.04.22 වැනිදා තමා අත්අඩංගුවට ගෙන රාත්‍රි 10 ට පමණ කඩුවෙල මහ‍ෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන විටත් අධිකරණ භූමියේ බන්ධනාගාර බස් රථයක් පැවැති බවය.

එමෙන්ම එවකට එහි මහ‍ෙස්ත්‍රාත් ලෙස කටයුතු කළ ධම්මික හේමපාල මහතාද එහි රැඳී සිටි බවද ඔහු පවසා තිබුණි.

ඒ පිළිබඳ විමසීම සඳහා හේමපාල මහතා අද කොමිසමට කැඳවූ අතර, ඔහු සඳහන් කළේ අධිකරණ සේවා කොමිෂන් සභාවේ අවසරයක් නොමැතිව සාක්ෂි ලබා දිය නොහැකි බවය.

” අනවශ්‍ය දේවල් පටලවා ගන්න එපා. ඒක හොඳට මතක තියාගන්න. ඉහළම අධිකරණ වල හිටපු විනිශ්චකාරවරුන් දෙදෙනෙක් මෙතන ඉන්නවා. කොහෙවත් තියෙන අධිකරණ සේවා කොමිෂන් සභාව මෙතනට ගාවගන්න එපා. අපි සීමාවේ ඉඳගෙන ප්‍රශ්න අහන හැටි හොඳට දන්නවා “යනුවෙන් එහිදී කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා ධම්මික හේමපාල මහතාට දැඩි ලෙස අවවාද කළේය.

සභාපති විනිසුරුවරයා තවදුරටත් තරයේ අවවාද කරමින් ධම්මික හේමපාල මහතාට ප්‍රකාශ කළේ “රන්ජන් රාමනායක සමග පුද්ගලික ස්ථානයක නඩු ගැන කතා කරන වීඩියෝ පටයක් මාධ්‍යයට ලැබිලා තියෙනවා. ඒ තුළින් අධිකරණ ක්‍රියාවලිය හෑල්ලුවට ලක් වෙලා ජනතා විශ්වාසය කඩ වෙලා තියෙනවා තරාතිරම අපිට අදාළ නැහැ. කොමිසමේ බලතල අනුව ලංකාව තුළ ජීවත්වන ඕනෑම පුද්ගලයෙක් මේ හමුවට කැඳවිය හැකි,” බවය.

Related posts

මරික්කාර්ගේ ඇගිලි ගැසීමට තනූජාත් එරෙහි වෙයි.. සිරසේ සියලු තනතුරු දමා ගෙදර යයි !

colombotoday

උඩුවැල්ලේ බස් රථ අනතුරකින් පිරිසක් රෝහල්ගත කරයි

Admin

රටවල් දෙකකන් ඖෂධ පරිත්‍යාගක්

colombotoday

සීමා නීර්ණ ගැසට් පත්‍රය නිකුත් වෙයි.. කොට්ඨාසවලට අයත් සභික සංඛ්‍යාව, සියළු විස්තර මෙතනින්

colombotoday

ඇමති චම්පික ජනාධිපති වෙන්න බලාගෙන, කේ.පී.ගේ මස්සිනාට කොන්ත‍්‍රාත් දීලා – පාර්ලිමේන්තුවේදී ප‍්‍රබල හෙලිදරවුවක්..

colombotoday

උපවාස කළ කොටි සැකකරුවන් පිරිසකට අසාධ්‍යයි, නිදහස් නොකළොත් දිවි නහගන්නා බව තවත් පිරිසක් කියයි.

colombotoday