Colombo Today Local News

ලෙඩා ආ ගිය තැනක් හොයාගන්න බැරුව අකුරණ ලොක්ඩවුන් කලේ මෙහෙමයි

අකුරණ වර්ග කිලෝමීටර පහක පමණ භූමි ප‍්‍රමාණයක් අද හුදකලා ප‍්‍රදේශයක් බවට පත් කොට තිබෙන්නේය. තෙලඹුගහවත්ත , වරාගස්හින්න , අස්ලාරියාමහල්ලා, සහ උග්ගලතලගහ කන්ද යන ග‍්‍රාමීය කොට්ඨාශ ඊට අයත්ය. අකුරණ ප‍්‍රධාන නගරය හා සම්බන්ධ වන අතුරුමාර්ග සියල්ල අවහිර කරමින් වසම් දහනවයක පුද්ගලයින් දහතුන්දහසකට වැඩි පිරිසක් නිවෙස්වලම තබා ආරක්ෂිත ක‍්‍රමවේද ක‍්‍රියාත්මක කිරීමට රජයට සිදුව ඇත්තේය.
 
 මේ වන විට තෙලඹුගහවත්ත ප‍්‍රදේශයේ පස් දෙනකු (පළමුව ආසාදිත වු අය සහ ඔහුගේ පවුලේ උදවිය*ට සහ බුළුගෝතැන්න එක් පුද්ගලයකු ද උග්ගල පල්ලිය අසල එක් අයකුද කෝවිඞ් 19 වෛරසය ආසාදිතයින් ලෙස හත්දෙනකු අංගොඩ උණ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටිති.
 
 අකුරණ තෙලඹුගහවත්ත ප‍්‍රදේශයේ එම් නිස්තාර් නැමැත්තාට කෝවිඞ් 19 වෛරසය ආසාදනය වු බවට මාර්තු විසි හත්වැනි දින තහවුරු වූවායින් අනතුරුව මහනුවර දිස්ත‍්‍රික්කයද අවධානම් කලාපයක් බවට නම් කෙරිණි. ඔහුගේ බිරිදටත් , වැඩිමහල් පුතාට සහ ඔහුගේ බිරිදටත් කෝවිඞ් 19 වෛරසය ආසාදනය වී අංගොඩ උණ රෝහලට මාර්තු විසිනව වැනි දින මාරුකර යැවූ පසුව , තත්ත්වය තව දුරටත් නරක අතට හැරුණේය. යළිත් සෞඛ්‍ය සේවා සහ ප‍්‍රාදේශිය ලේකම් කාර්යයාලය ප‍්‍රාදේශිය සභාව එක්ව අපේ‍්‍රල් මස දෙවැනි දින පළාතේ කල සෝදිසි මෙහෙයුමකදි තවත් දෙදෙනකු වෛරස ආසාදිතයින් ලෙස හමුවිණි. ඉන් එක් අයකු වූයේ පළමු ආසාදිතයා වන නිස්තාර් ගේ බාල පුතාය. සෙසු පුද්ගලයා වූයේ , නිස්තාර්ගේ නිවසේ සිට කිලෝමීටර දෙකහමාරක් දුරකින් වූ නිවසක පදිංචිකරුවෙකි. බුළුගෝතැන්න සහිරා විදුහල ඉදිරිපිට පදිංචි ඔහු වයස අවුරුදු තිස්හතරක් වූ සමීර් හුසේයි නැමැත්තෙකි. මොහු ඉන්දුනීසියාවේ වන්දනාවක ගොස් ලංකාවට පැමිණි අයකු වන අතර කටුනායක සිට නිවසටම පැමිණ ඇත්තෙකි. මොහු අසල සෙසු පිරිස් සමග කිට්ටුවෙන් ඇසුරු කොට තිබූ බැවින්ම ඔහුගේ නිවසේ සිටි සිවු දෙනා ද ඇතුළුව අසල නිවෙස්වල පදිංචිකරුවන් එකසිය හතලිස් හතර දෙනාම පුනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කරනු ලැබිණි.
 
 ඉන් සෑහිමකට පත්වන්නට වෛරස මර්දන නිළධාරි කණ්ඩායමට නොහැකි වූයේ ඉන්දුනීසියාවේ ගොස් පැමිණි තවත් පුද්ගලයකු අකුරණ ආසන්නයේ සිටින බවට කොළඹින් ලද දැනුම් දිම නිසාය. ඒ අනුව සියල්ලෝ එක්ව ඉන්දුනීසියා වේ සිට පැමිණි අය සොයා ගියහ. ඔහු සිටියේ උග්ගලතලගහ හන්දිය පෙදෙසේය. ඔහුගේ නිවසේ පස්දෙනකු සිටි බැවින් ඔවුහු ද නිරෝධායනය සදහා යොමු කෙරිණි.
 
 ලංකාව පුරා කෝවිඞ් 19 වෛරසය ව්‍යාප්ත වන බවට මාර්තු දහසය දහහත කාලවලදීම සාධක මතුවෙද්දී , ඉන් ආරක්ෂිතව තිබූ පළාත වූයේ මධ්‍යම පළාතය. බස්නාහිර පළාත අවධානම් කලාපයක් ලෙස නම් කරන්නටත් කලියෙන් මූලික අදියරේදීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා රටවැසියන් හට දන්වා තිබූයේ , කිසිදු හේතුවක් මත මධ්‍යම පළාතට ඇතුල්වීමට ත් ඉන් පිට විමටත් කටයුතු නොකරන ලෙසය. මාර්තු මස විසිවැනි දින ඔහු එලෙස ප‍්‍රකාශ කර තිබු නමුත් , මාර්තු විසිහතර වැනි දින මහනුවර දිස්ත‍්‍රික් ලේකම් කාර්යයාලයේ පැවැති දේශපාලන අධිකාරිය පරිපාලන නිළධාරින් එක්ව ආණ්ඩුකාරවරයා‌ ගේ ප‍්‍රධානත්වයෙන් පැවැති රැුස්වීමේදී හිටපු අමාත්‍ය මහින්දානන්ද අලූ‍ත්ගමගේ මහතා කියා සිටියේ, ඒ වන විටත් එක්දහස් දෙසියකට වැඩි පිරිසක් මධ්‍යම පළාතට ඇතුළු වී ඇති බවය.
 
 මේ සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේ ඒ ඒ පුද්ගලයින් තම තමන් සිටි කොට්ඨාශ හරහා පොලිස් ඇදිරිනීති බලපත‍්‍ර ලබා ගනිමින් පැමින ඇති බවය. ඉන් පසු දින සිට ඇදිරි නීති බලපත‍්‍ර නිකුත් කිරිම දැඩි නීති රෙගුලාසි යටතේ සිදු කල බවද, දැනගන්නට ලැබිණි. නමුත් තත්ත්වය පාලනය වූයේ නැත. විවිධ හේතු දක්වමින් ජනතාව නිවෙස්වලින් බැහැරට යනු දක්නා ලැබිණි.
 
 මේ අතර මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප‍්‍රනානදු මහතා ඇතුළු ව මධ්‍යම පළාතට අයත් පොලිස් කොට්ඨාශ හය ආවරණය වන පරිදි පිහිටුවා ඇති පොලිස් ස්ථාන හැටතුනෙහි සේවයේ නියුතු පොලිස් නිළධාරින් හයදහස් පන්සිය හැත්තෑ දෙදෙනකු එක්ව වෛරසය පතුරවන්නට ඉඩ ඇති බවට සැකකරන පුද්ගලයින් සොයා දිගින් දිගටම මෙහෙයුම් සිදු කලහ. ඒ සදහා මධ්‍යම පළාත් යුධ හමුදා නිළධාරින් ඇතුළු ත‍්‍රිවිධ හමුදාවේත්, විශේෂ හමුදා බුද්ධි අංශවලත් සහායද ලැබී තිබිණි. ඒ අනුව මාර්තු දහවැනි දින සිට මධ්‍යම පළාතට පැමිණ තිබූ විදෙස් සංචාර සදහා  සහභාගිවී යළි පැමිණි, හාරදහස් තුන්සිය තිස් දෙදෙනකු නිරෝධායන ය සදහා දින දහහතරක කාලයකට යොමුකර තිබිණි. පල්ලේකැලේ සංස්කෘතික මධ්‍යස්ථානය, පල්ලේකැලේ සමුපකාර විද්‍යාලය, කෘෂිකර්ම විද්‍යාලය සහ රන්දෙණිගල රන්ටැඹේ ශිෂ්‍යභට පුහුණු කදවුර යන ස්ථාන හතර තුළ නිරෝධායනයට යොමුකල මෙම පිරිසෙන් තුන්දහස් හාරසිය තිස් එක් දෙනකු මේ වන විට සිය නිවෙස් කරා යවා තිබේ.
 
 මේ අතර කටුනායක නිදහස් වෙළද කලාප පරිශ‍්‍රයන් හි සිට මාර්තු මස විසිඅට විසිනවය යන කාලවල මහනුවර මාතලේ සහ නුවරඑළිය වෙත පැමිණි තුන්දහස් හාරසිය හැත්තෑ අට දෙනකු සිය නිවෙස්වලදීම නිරෝධායනයට ලක් කල බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප‍්‍රනාන්දු මහතා කියා සිටියේ, ඒ සම්බන්ධයෙන් සිදුවන තත්ත්වයන් පිළිබදව පුර්ණ අවධානය යොමු කර ඇති බවද තහවුරු කරමිනි.
 
 මේ අතර දින නියමයක් නොමැතිව පවතින ඇදිරි නීති තත්ත්වය හමුවේ රථවාහන පොලිසිය දැඩි නීති පැනවුයේ ඉකුත් අපේ‍්‍රල් නවවැනිදායින් පසුවය. ඒ වනතුරු ඇගිලිකරු අතරින් රිංගා ගිය සාමාන්‍ය ජනතාවට වැටබැදිණි. අත්‍යාවශ්‍යම රාජකාරියකට මිස , සෙසු කිසිදු කාර්යයකට පිටතට යා නොදි රදවා තබා ගන්නට ඒ ඒ පොලිස් ස්ථානයන්හි නිළධාරින් කටයුතු කොට තිබිණි. අපේ‍්‍රල් දහවැනි දින වන විට මධ්‍යම පළාත තුල ඇදිරි නීතිය කඩ කල පුද්ගලයින් එක්දහස් දෙසිය හැත්තෑ එක් දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට තිබිණි. වාහන එකසිය පනස් හතරක් සහ යතුරුපැදි එකසිය දහඅටක් ද අත්අඩංගුවට ගෙන තිබූ අතර , එසේ වුවද ජනතාවගේ සංචරණය නවතා දැමීම පහසු නැති බව පොලිසිය තරයේ කියා සිටියහ.
 
 මේ සියළු කටයුතු අතර නිදිවර්ජිත සේවයක නියුතු වූවෝ, අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය සංජීව කුරුදුගහමඩ මහතා, ප‍්‍රාදේශිය සභාවේ සභාපති එල් එම් ඉස්තාර් මහතා ප‍්‍රාදේශිය ලේකම් ඉන්දිකා කුමාරි අඹේසිංහ මහත්මිය ඇතුළු පො‍ලිසිය සහ ත‍්‍රිවිධ හමුදාව දිගින් දිගටම නිරන්තර අධීක්ෂණයෙන් යුතුව ප‍්‍රදේශයේ වෛරස් ආසාදිතයින් හෝ සැකසහිත උදවිය පිළිබදව හෝදිසියෙන් කටයුතු කරන බව සිහිකල යුතුය.
 
 දහතුන්දහසකට අධික පිරිසක් සදහා අකුරණ තොග කඩ දහනවයක් ගෑස් කඩ දෙකක් සහ ඖෂධ හල් හතක් නිරතුරු සේවයේ යොදවා තිබේ. ජනතාවගේ අවශ්‍යතා පිළිබදව පල්ලිවලට දැනුම් දීම සදහා දුරකතන මාර්ග විවෘතව ඇත. සෑම නිවාස දහයකටම පාහේ එක් පල්ලියක් ක‍්‍රියාත්මක වන බැවින් එම කාර්යය නිසි ලෙස සිදුවන අතරම පල්ලි හරහා භාණ්ඩ එක්රැුස් කරන අතර පල්ලි හරහා පරිත්‍යාගශිල්න්ගේ භාණ්ඩ එක්රැුස් කරනු ලබයි. ඒ අතර සෑම නිවසක්ම ආවරණය වන පරිදි ලොරි රථ හතරකින් සහ වෑන් රථයකින් පමණක් භාණ්ඩ බෙදා හැරිමක්ද සිදු කරනු ලබයි. මෙම ප‍්‍රදේශයේ වෙසෙන ජනතාවගේන සියයට හැටකට වැඩි පිරිසකට ඖෂධවල අත්‍යාවශ්‍ය බවක් ඇති බැවින් අකුරණ ආශ‍්‍රිතව පවතින ඖෂධසැල් හතට අනුගතව එක් ඖෂධ හලකට බයිසිකල් දෙක බැගින් යොදවා අවශ්‍ය ඖෂධ නිවෙස් වෙත බෙදා හැරිමද අඛණ්ඩව සිදු කෙරේ.
 
 මේ සදහා පෙර කී ප‍්‍රාදේශිය ලේකම්වරිය සහ සභාපතිවරයා දිවා ? නොතකා සේවය කිරීම පිළිබදව යළි යළිත් සිහි කරමින් ඔවුනට සමස්ථ ජනතාවගේ ‌ගෞරවය පුද කිරිම යුතුකමක් වන්නේය.
 
 මේ අතර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය සංජීව කුරුදුගහමඩ මහතා නිරන්තර කැපව සිටින්නේ ජනතාව දැනුවත් කිරිමේ ක‍්‍රියාවලිය සහ රෝගි පරික්ෂාව සදහාය. මෙ මොහොතේදීත් ඔහු ජංගම වෛද්‍ය පරික්ෂණ සිදුකරමින් තම බල ප‍්‍රදේශය සුරක්ෂිත දැයි අධීක්ෂණයෙන් සිටින්නේය.
 
 මේ කාර්යයන් සදහා රාජ්‍ය නිළධාරින් වෙත අස්නා පල්ලිය භාර ප‍්‍රධාන පූජක සහ මවුලවිවරුන් දෙදෙනා පූර්ණ සහායක් ලබා දෙන්නේය. ඔවුහු අකුරණ ගෙයක් ගෙයක් පාසා ගොස් දැනුවත් කිරිම් මෙන්ම රජයේ වැඩපිළිවෙලට සහාය දක්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින්නේය.
 
 නිරෝධායනය යනු පෙරකල දෙවියන්ගේ ලෙඩ සේ සැලකූ සරම්ප පැපොල කම්මුල්ගාය වැනි රෝග තත්ත්වයන්හිදි කාමරයක් තුළට වී සිට ආරක්ෂා වූ අන්දමට කාබි සෙසු පුද්ගලයින් සමග නොගැටී සිටීමක් පමණි. ඊට බිය වී තමන්ගේත් තම ලේ ඥාතින්ගේත් අසල්වැසියන්ගේත් ජීවිත අනතුරේ හෙලන්නට යමෙක් උත්සාහ කරන්නේ නම් ඒය මෙලොවටත් පරලොවටත් කර ගන්නා පාපයකි. කුමන ආගම ඇදහුවද කුමන ජාතියකට අයත් වුවද මේ මොහොතේ උඩමතුව ආ යුත්තේ මනුස්සකම පමණි.
 
 සැගවීමෙන් සහ පලායාමෙන් සිදුවන්නේ මනුස්සකම පාගා දමා සමස්ථ ජනයාම අනතුරේ හෙලීම පමණි. අකුරණ ට වී නිහඩව සිටිමින් විදෙස්ගතව පැමිණ සිටි තිදෙනාම මධ්‍යම පළාතම අනතුරේ හෙලා ඇත්තේ ඒ ලෙසය. ඔවුන් අකුරණට නොගොස් නිරෝධායනය වී නිරෝගි ලෙස තම නිවෙස්වෙත ගියේ නම් අද මහනුවර වැසියන් ද සුවසේ බියෙන් තොරව වෙසෙනු ඇත. 

Related posts

“මත්ද්‍රව්‍ය ජාවාරම ගමට හිසරදයක්” මුහුණු පොතේ පළ කල එක් දරු පියා කපා කොටා ඝාතනය කෙරේ…

Admin

අපි කෝටිපතියන්ට 20,000 දෙන්නේ නෑ

colombotoday

වසන්ත මුදලිගේ ඇතුළු 67ක් කඩුවෙල අධිකරණයට

Admin

නිවසට විදුලිය ලබා නොදීමට එරෙහිව පාරිභෝගික අයිතීන් සුරකීමේ ව්‍යාපාරයේ සභාපතිගෙන් පැමිණිල්ලක්

colombotoday

මිලියන 63 කට අධික කේරළ ගංජා සමග අයෙක් අත්අඩංගුවට

colombotoday

ශ්‍රී ලාංකිකයන්ට ක්ෂේත්‍ර 14ක ජපානයේ අසීමිත රැකියා…

colombotoday