Colombo Today Local Newsfeatured

ලංකා ඉතිහාසයේ ලොකුම සොරකම නොහොත් ඥානසාර හිමිගේ මන්ත්‍රීධුරය කොල්ල කෑමේ ගේම් එක

ඇත්තටම අපේ ජන බල පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරයෙහි පවතින ගැටලූව කුමක්ද? එම පක්ෂයේ ලේකම් ස්වාමීන් වහන්සේ යැයි කියන වේදිනිගම විමලතිස්ස හිමි යනු කවුරුන්ද? පූජ්‍ය අතුරලියේ රතන හිමි සහ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි මෙම මන්ත‍්‍රී ධුරය සඳහා ගහ මරා ගන්නවද? රට්ටුන්ට ප‍්‍රශ්නයකි.

පක්ෂයේ ලේකම් ස්වාමීන් වහන්සේ වන වේදිනිගම විමලතිස්ස ස්වාමීන් වහන්සේ පක්ෂයේ එකඟතාවයකින් තොරව උන් වහන්සේ විසින්ම ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරය සඳහා තමන් වහන්සේව ම නම් කර යැවීම ගැටලූවේ ආරම්භයයි.

අපේ ජන බල පක්ෂයේ සභාපති සමන් පෙරේරා මහතා විසින් සඳහන් කරන්නේ පක්ෂයේ කිසිදු එකඟතාවයකින් තොරව වැඩබලන ලේකම් ලෙස කටයුතු කළ පූජ්‍ය වේදිනිගම විමලතිස්ස ස්වාමීන් වහන්සේ විසින් උන්වහන්සේව ම ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරය සඳහා නම් කර ඇති බවත් එම නම් කිරීම පක්ෂයේ තීරණයට මුළුමනින්ම පටහැනි බවත්ය.

ඒ අනුව පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස් වී පක්ෂයේ මතයට එරෙහිව හිතුමතේ ක‍්‍රියා කළ පූජ්‍ය වේදිනිගම විමලතිස්ස ස්වාමීන් වහන්සේ එම තනතුරින් පසුගියදා ( 07 වැනිදා) ඉවත් කර හිටපු ලේකම්වරයා එම තනතුරට නැවත පත් කළ බවත් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ඒකමතික තීරණය ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරය සඳහා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත් කර යැවීම බවත්ය. ඒ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා නිල වශයෙන් දැනුවත් කර ඇති බව ද හෙතෙම සඳහන් කරයි.

මෙම ඝට්ටනය සමග එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරය හිමිවන්නේ කාටද යන්න නිසි ලෙස තහවුරු කරගැනීම සඳහා නීති අංශවල සහායවල පැතීමට ජාතික මැතිවරණ කොමිසමට සිදුව තිබේ.

ඒ කෙසේ වෙතත් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් ඥානසාර හිමි සමග හෝ රතන හිමි සමග සාකච්ඡාවකින් තොරව මන්ත‍්‍රී ධුරය සඳහා ගැටලූවක් පවතින්නේය යන පූර්ව උපකල්පනය තුළ සිට තමන් වහන්සේව ම ඒ සඳහා නම් කර ගැනීම ගැටලූ සහගතය.

උන්වහන්සේ පාර්ශ්ව ගණනාවක් නොමඟ යවමින් මෙහිදී කටයුතු කරන බවත් උන්වහන්සේට පවතින ගැටලූ කිහිපයක් නිරාකරණය කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය භාවිතා කිරීමට විමලතිස්ස හිමියන් කටයුතු කරන බව අපේ ජන බල පක්ෂයේ අදහස වී ඇත.

ඔවුන් එසේ සඳහන් කරන්නේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරය හිමි වූ බවට වාර්තාවීමෙන් අනතුරුව උන්වහන්සේ සෑම පාර්ශ්වයකට ම සාවද්‍ය ප‍්‍රකාශ කරමින් වෙනත් න්‍යාය පත‍්‍රයක සිට කටයුතු කරන බවට හේතු සාධක සහිතව පෙන්වමිනි.

වේදිනිගම විමලතිස්ස හිමි අපේ ජන බල පක්ෂයේ හිටපු ලේකම්වරයා සමග ජංගම දුරකථනය මගින් සාකච්ඡාවක් කර ඇත. එහිදි උන්වහන්සේ සඳහන් කර ඇත්තේ තමන් වහන්සේ මැතිවරණ කොමිසම වෙත ලිපියක් මගින් භාර දුන්නේ මන්ත‍්‍රී ධුරය සඳහා ගැටලූවක් පවතින බැවින් ඒ සඳහා සුදුස්සකු නම් කිරීමට දින කිහිපයක් ලබාදෙන මෙන් සඳහන් ලිපියක් පමණක් බවයි. පූජ්‍ය විමලතිස්ස හිමියන් විසින් ඒ පිළිබඳව සිදු කරන පැහැදිලි කිරීම හඬ පට සහිතව එම පක්ෂය ඉදිරිපත් කරනු ලබයි.

එකී හඬ පටයේ කියැවෙන්නේ තමන් වහන්සේට නිදහසේ කාලය ගත කරන්නට ඉඩදෙන ලෙසත් ඥානසාර හිමියන්ට මන්ත‍්‍රී ධුරය ලබා දීමට තමන් වහන්සේ අනිවාර්යෙන්ම කටයුතු කරන බවත්ය.

උන්වහන්සේ එසේ කීවද මැතිවරණ කොමිසම වෙත ලබා දී ඇති ලිපියෙහි සඳහන්ව ඇත්තේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරය සඳහා පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමි වන තමන්ම නම් කැර ඇති බවයි.

මෙම ලිපිය මැතිවරණ කොමිසම වෙත භාරදෙන විට රතන හිමියන්ගේ පාර්ශ්වයේ ගිහියකු ඊට සහභාගි වූ බව ද උන්වහන්සේ එකී හඬ පටය අනුව සඳහන් කරති.

කෙසේ හෝ වේවා උන්වහන්සේ ඒ ඒ පාර්ශ්වයේ මතයට ගැලපෙන ලෙස උත්තර බැඳ සියලූ දෙනාගෙන් වහන්වී වෙන යම් න්‍යාය පත‍්‍රයක් ක‍්‍රියාත්මක කරන බව සැක සිතීමට හේතු සාධක එමට ඇත.

සැඟව සිටිනවා යැයි කියන පූජ්‍ය විමලතිස්ස හිමියන් පසුගියදා අන්තර්ජාල සමාජ මාධ්‍ය ඔස්සේ සම්මුඛ සාකච්ඡාවක නිරත වෙමින් සඳහන් කරන්නේ ජාතික ව්‍යාපාරය බේරාගැනීම සඳහා තමන් වහන්සේ මෙසේ කටයුතු කරන බවත් මැතිවරණ මෙහෙයුමේ තිරය පිටුපස සිටින්නේ තමන් වහන්සේ බවත්ය.

තමන් වහන්සේට ගම්මාන දස දහසකට වඩා වැඩි ප‍්‍රමාණයක දායක කාරකාදීන් සිටින බවත් වසරකට ගම්මාන දහසකට වැඩි ප‍්‍රමාණයකට වැඩම කරන බවත් සඳහන් කරන උන්වහන්සේ වැඩිදුරටත් පවසන්නේ ලක්ෂ 25 කට වැඩි ජනතාවකට තමන් වහන්සේ ආශිර්වාද කරමින්, වතාවත් කරමින්, ධර්මය දේශනා කර ඇති බවයි.

උන්වහන්සේ සඳහන් කරන එම කරුණු සත්‍යයක් නම් උන් වහන්සේව රටේ ජනතාව නොදන්නේ මන්දැයි අපේ ජන බල පක්ෂය විමසා සිටියි. එසේම ඒ තරම් දායකයන් සංඛ්‍යාවක් උන්වහන්සේට සිටී නම් පක්ෂයට ඡන්ද හැට හත් දහසකට මදක් වැඩි ප‍්‍රමාණයක් පමණක් ලැබුණේ ඇයිද යන්න එකවරක් පමණක් නොව දහස් වරක් ම සිතන්නට ඇති ප‍්‍රශ්නයක් බවත් ඔවුහු පවසති.

නායක ස්වාමීන් වහන්සේලා සහ පක්ෂයේ සභාපති ඇතුළු මධ්‍යම කාරක සභාව සමඟ සාකච්ඡා කරනවා වෙනුවට මන්ත‍්‍රී ධුරය ආරක්ෂා කිරීම සහ ජාතික ව්‍යාපාරය බේරාගැනීම යන මාතෘකා පෙරට තබා කටයුතු කිරීම සැඟවුණු න්‍යාය පත‍්‍රයක කොටසක් විනා අන් කිසි යමක් නොවන බව එම පක්ෂයේ අදහස වී ඇත.

මෙම ගැටලූව සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වමින් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පසුගියදා ප‍්‍රකාශ කර සිටියේ ගැටුමක් මැදින් පාර්ලිමේන්තුව වැඩම කිරීම එක නොවැදගත් බවත් තමන් වහන්සේට වැදගත් වන්නේ ජාතික ව්‍යාපාරය ඉදිරියට ගෙන යෑම බවත්ය.

මන්ත‍්‍රී ධුරය ඇතත් නැතත් ජාතික ව්‍යාපාරයට නායකත්වය ලබාදෙමින් මග පෙන්වන බව සඳහන් කළ උන්වහන්සේ මතුව ඇති ගැටලූව සම්මුතියෙන් විසඳා ගැනීම සඳහා ඇති සියලූ ඉඩකඩ අහිමි කළේ පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් බව චෝදනා කරති .

එහෙයින් මෙම ගැටලූව සම්බන්ධයෙන් අධිකරණ ක‍්‍රියාමාර්ග ගන්නා බවත් පූජ්‍ය අතුරලියේ රතන හිමි සඳහන් කරති.

උන්වහන්සේගේ අදහස එසේ වුවද අපේ ජන බල පක්ෂය උන්වහන්සේට ද චෝදනා ගොන්නක් ම එල්ල කරමින් තිබේ.

උන්වහන්සේ එකී මාධ්‍ය සාකච්ඡාවේදී ප‍්‍රදර්ශනය කළ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරය පත් කිරීම සඳහා යැයි කියන ගිවිසුම කුමක්ද යන්න පක්ෂය නොදන්නා බවත් ඒ සම්බන්ධයෙන් අනෙකුත් පාර්ශ්වයන් දැනුවත් කිරීමට රතන හිමියන් කටයුතු කර නැති බවත් එම පක්ෂය චෝදනා කරයි.

රතන හිමියන් සහ පූජ්‍ය විමලතිස්ස හිමියන් විසින් මැතිවරණයට ප‍්‍රථම කාටත් හොරා ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරය පත් කිරීමේ පූර්ණ බලය රතන හිමියන් වෙත පවරා ගැනීමට කූට ගිවිසුමක් අත්සන් කර ඇති බවත් ඒ පිළිබඳව හෙළිවුයේ ගැටලූව මතු වූ පසුව බවත් එම පක්ෂය පවසයි.

එකී ගිවිසුමේ සාක්ෂි ලෙස අත්සන් කර ඇත්තේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ අයවළුන් කිහිප කිහිපදෙනකු බවත් අපේ ජන බල පක්ෂය කියයි.

ඒ අනුව පූජ්‍ය රතන හිමියන් සහ විමලතිස්ස හිමියන් අන් අයට හොරා මුල සිටම යම් උප්පරවැට්ටියක නිරත වී සිට ඇති බවත් අවසානයේ විමලතිස්ස හිමියන් වෙනම න්‍යාය පත‍්‍රයක සිට කටයුතු කිරීම හේතුවෙන් රතන හිමියන් දැන් මාධ්‍යයට එලෙස ප‍්‍රකාශ කරන බවත් ඔවුහු තවදුරටත් චෝදනා කරති.

මෙම සිදුවීම් සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ද මාධ්‍ය සාකච්ඡාවක් පසුගියදා පැවැත් වූහ.

එහිදී උන්වහන්සේ සඳහන් කළේ පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් සූසයිඞ් ගේම් එකක් ගසා ඇති බවත් ඒ සඳහා ඔහු උන්වහන්සේව හඳුන්වාදුන් රතන හිමියන් ඇතුළු සියලූ දෙනා හසු වී ඇති බවත්ය.

මේ පිටුපස විදෙස් කුමන්ත‍්‍රණයක් ද ඇති බවත් එය ප‍්‍රංශයේ සිට මෙහෙයවන බවත් උන්වහන්සේ එහිදී අනාවරණයක් ද කළේය.

අපේ ජන බල පක්ෂය සමඟ එක්වී මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙන ලෙස ඇරයුම් ලැබුණේ රතන හිමියන්ගෙන් බවත් එහිදී උන්වහන්සේ පක්ෂයේ කටයුතු සියල්ල හරි බැවින් කරන්නට ඇත්තේ මැතිවරණ ව්‍යාපාරය යෙදීම පමණක් බව තමන් වහන්සේලාට සඳහන් කළ බවත් ඥානසාර හිමියෝ කියති.

අපේ ජන බල පක්ෂයේ සභාපති, විමලතිස්ස හිමි ඇතුළු පිරිස හඳුනාගැනීමට ලැබුණේ රතන හිමියන්ගේ මැදිහත්වීමෙන් බවත් රතන හිමියන් කෙරෙහි තිබූ විශ්වාසය මත පක්ෂයේ සභාපතිවරයාගේ මහලේකම්වරයාගේ පැටිකිරිය හෙවීමට තමන් වහන්සේ කටයුතු නොකළ බවත් ඥානසාර හිමි පවසති.

උන්වහන්සේ මේ මොහොතේ එහි යම් කෙනෙකුට චෝදනාවක් කරන්නේ නම් එය කළ යුතුව තිබුණේ පක්ෂයට තමන් වහන්සේලා එක් කර ගැනීමේදී බවත් එසේ වූවා නම් තමන් වහන්සේලා පිළිබඳව සොයා බලන බවත් ඥානසාර හිමි සඳහන් කරති. ඒ කෙසේ වෙතත් සිදු වෙමින් පවතින ක‍්‍රියාවලිය ලජ්ජාවට කරුණක් බවත් උන්වහන්සේ පවසති.

මෙම කුමන්ත‍්‍රණය පිටුපස ප‍්‍රංශයේ ජීවත්වන ශී‍්‍ර ලාංකිකයෙක් සිටින බවට ඥානසාර හිමි කළ හෙළිදරව් ඔස්සේ හඹාගිය ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ එකී තැනැත්තා හඳුනාගෙන ඔහුව දුරකථන මගින් ආමන්ත‍්‍රණය කිරීමට අමතක නොකළේය.

ඔහුගෙන් මේ පිළිබඳව කළ විමසීමේදී මෙම ගේම් එක පිටුපස සිටින්නේ තමන් බවත් තමන් එසේ කරන්නේ ජාතික ව්‍යාපාරය රැක ගැනීමට බවත් සඳහන් කළේය.

ඥානසාර හිමියන්ගේ කුරුණෑගල අපේක්ෂක ලැයිස්තුව අවලංගු වීම කුමන්ත‍්‍රණයක් බවත් එය රජය, ඥානසාර හිමි සමඟ එකතුව කළ එකක් බව ඔහුගේ අදහසය.

ජාතික ව්‍යාපාරය තුළ අතීතයේ මෙන් ස්වාමීන් වහන්සේලාට හිතු හිතූ ලෙස නටන්න ඉඩ නොදෙන බවත් යම් ස්වාමීන් වහන්සේ නමක් මෙම මන්ත‍්‍රී ධුරයෙන් පාර්ලිමේන්තුවට යන්නේ නම් ඒ සඳහා තමන් ඇතුළු කණ්ඩායම සමග ගිවිසුමකට එළඹිය යුතු බවත් හෙතෙම පැවසීය.

කිලෝ මීටර 12000 ක එපිට සිට මෙම ගේම් එක සම්පූර්ණයෙන් දුරකථන මගින් මෙහෙයවීමේ හැකියාව තමන් සතු බවත් ඔහු පැවසීය.

අරඹේපොල රතනසාර නම් ස්වාමීන් වහන්සේ තමන්ගේ වම් අත බවත් විමලතිස්ස හිමියන්ට වඩා උන්වහන්සේගේ දේශපාලනික ඥානය ඉහළ බවත් ඔහු කීවේය. විමලතිස්ස හිමියන්ට වඩා අරඹේපොල රතනසාර හිමි පාර්ලිමේන්තු නියෝජනයට සුදුසු යැයි ද ඔහුගේ අදහස විය.

මෙම ප‍්‍රශ්නයට මැදිව සිටින අරඹේපොල රතනසාර හිමියන්ව සම්බන්ධ කර ගැනීමට ද අප අමතක නොකළෙමු.

ප‍්‍රංශ ගේම් එක කුමක් ද යන්න අප පූජ්‍ය අරඹේපොළ රතනසාර හිමිගෙන් කළ විමසීමේ දී පළමුව එවැනි පුද්ගලයෙක් නොහඳුනන බව කීව ද උන්වහන්සේ සමඟ කළ දිගු කතාබහේ දී ඔහුව හඳුනන බවත් ආරක්ෂිත ගමනාගමන කටයුතු සඳහා වෑන් රථයක අවශ්‍යතාවය ඔහුගෙන් ඉටුකර ගත් බවත් පැවසූහ. උන්නාන්සේට වාසය කිරීමට පන්සලක් මේ වන විට නැති බවත් ණයකරුවන් කීප දෙනෙකුටම පියවිය යුතු ණය ප‍්‍රමාණයක් තමන්වහන්සේට ඇති බවත් උන්වහන්සේ කී කාරණයක්ය. මෙම මන්ත‍්‍රී ධුර සටනේ අවසානය කොතැනද යන්න අදහසක් උන්වහන්සේට තිබුණේ නැත.

මෙම ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරය අරභයා මතුව ඇති ගැටලූවට සම්බන්ධ සියලූ පාර්ශ්වයන් සම්බන්ධ කරගනිමින් සිදුකළ කතාබස්වල දී බොහෝ කරුණු කාරණා එකින් එකිනෙකට පරස්පර බව අවබෝධ කර ගැනීමට එතරම් අපහසු වූයේ නැත.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ කුරුණෑගල අපේක්ෂක ලැයිස්තුව ප‍්‍රතික්ෂේප වූ පසු “ඥානසාර හිමි ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට” යන තේමාව ද මේ වන විට බොහෝ අය අමතක කර ඇති බවක් ද දක්නට තිබේ.

මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන තේමා පාඨය වුවේ “ඥානසාර හිමි ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යැවීමට කොඩිය ලකුණට ඡන්දය දෙන්න” යන්නයි.

පූජ්‍ය වේදිනිගම විමලසාර හිමියන්ට ජාතික ව්‍යාපාරය රැක ගැනීම සඳහා ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරයක් ලැබෙන තෙක් සිට එය භාවිතා කිරීම පූර්වයෙන් සාකච්ඡාවට බඳුන් නොකළේ මන්ද යන්නත් ප‍්‍රශ්නයකි.

එක මේසයක දී සාකච්ඡාවට ගෙන විසඳා ගත හැකි ව තිබූ ගැටලූවක් නූල් පන්දුවක් පැටලූණා වැනි තැනකට දැන් පත්ව හමාරය. හීන් නූලෙන් මන්ත‍්‍රීකම ලබාගැනීමට ප‍්‍රයත්න දැරූ උන්නාන්සේලාත් මෙම පඹගාලේ පැටලී හමාරය. සුපුරුදු පරිදි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ද රැවටී ඇති සැටියකි.

කවුද මේ වේදිනිගම හිමියෝ

වේදිනිගම විමලතිස්ස හිමියන්ගේ ගුරු හාමුදුරුවෝ වන්නේ අස්ගිරි මැද මහා විහාරවාසී ව වැඩ හිටි නුගේගොඩ වජිරතිස්ස හාමුදුරුවන්ය. උන්වහන්සේ අපවත් වීමට පෙර විමලතිස්ස හිමියන්ව ගෝල කමෙන් අයින් කර ඇති බව කියති. ඉන්පසු සියලූ අයිතීන් හිමි වන්නේ රාහුල නමැති භික්ෂුන් වහසේ නමට බව සඳහන්ය. එය එසේ වුවත් නායක හිමියන්ගේ අපවත්වීමෙන් පසුව අස්ගිරි මැද මහා විහාරස්ථානයට පැමිණි වේදිනිගම විමලතිස්ස හිමියන්ට එම විහාරස්ථානය පසුගිය මාසයේ අහිමි වන්නේ නඩු කටයුත්තක ප‍්‍රතිඵලයක් ලෙසය.

අස්ගිරිය මැද මහා විහාරස්ථානය තුළ පුරාවිද්‍යා ස්ථානවලට සංහාරය කිරීම සම්බන්ධයෙන් උන්වහන්සේට එරෙහිව මහනුවර අධිකරණයේ ඊ8618/20 යටතේ නඩුවක් විභාග වේ. තවත් මූල්‍ය වංචා පිළිබඳව නඩු රැසක් ද විභාග වෙමින් පවතින මහනුවර පොලිසිය සඳහන් කරයි.

Divaina

Related posts

සජිත්ට පොලු මුගුරුවලින් ගසා පන්නයි

colombotoday

ජවිපෙන් මාරාන්තික ප්‍රහාරයක්.. රාජිත පිය පුතු දෙපළ හාන්සියි !

colombotoday

සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමේ ඉදිරි කටයුතු තාවකාලිකව අත්හිටුවයි

colombotoday

“ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදුවුවහොත් ඉන්ධන බෙදීමෙන් ඉවත් වෙනවා”

colombotoday

පාසැල් සහ විශ්වවිද්‍යාලය නැවත දැනුම්දෙන තුරු වසා දමයි. – අධ්‍යාපන අමාත්‍ය

colombotoday

විදුලි කප්පාදුවේ වෙනසක්

colombotoday