Colombo Today Local News

රටේ දැවෙන ප්‍රශ්න විසදීමට ජාතික න්‍යාය පත්‍රයක් අවශ්‍යයි. – කථානායක කරු ජයසූරිය

නිදහස ලබා වසර 70 ක් ගෙවී ගිය ද දේශපාලන බල හුවමාරු සමග වෙනස් නොවන ජාතික න්‍යාය පත්‍රයක් තවමත් ස්ථාපිතව නොමැති බව ද රට තුල ඇති දැවෙන ප්‍රශ්න විසදීමට ස්ථිරසාර ජාතික න්‍යාය පත්‍රයක් සකස් කර ගැනීම මේ මොහොතේ පැහැරහල නොහැකි යුතුකමක් බව ද කථානායක කරු ජයසූරිය මහතා පැවසීය.

අප රටේ සමස්ත ජනගහනයට වැඩි ජනගහනයක් සිටින ප්‍රදේශ අසල්වැසි රටවල නගරාධිපතිවරුන් යටතේ පාලනය වන බවත් භෞතික සහ මානව සම්පත් රැසකින් පොහොසත් මෙම කුඩා දිවයින සමෘද්ධිමත් ශක්තිමත් දේශයක් ලෙස ගොඩනැගීම එතරම් අපහසු කාර්යයක් නොවන බවත් හෙතෙම සදහන් කළේය. 

ඒ සදහා ජාති ආගම් පක්ෂ භේදයෙන් තොර ජාතික න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කිරීමට ලැබෙන අවසන් ‍අවස්ථාව එළඹ ඇති බව ද නූපන් සහ අනාගත පරපුර වෙනුවෙන් එම වගකීම ඉටු කිරීම වත්මන් නායකකාරකාදීන්ගේ උරමත පැවරී ඇති බවද   කරු ජයසූරිය මහතා කීය. 

කථානායකවරයා මෙම  අදහස් පලකලේ අද (14 ) පෙරවරුවේ පැෆරල් සංවිධාන‍යට වසර 30 ක් සපිරීම නිමිත්තෙන්  බණ්ඩාරනායක ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති සැමරුම්  සම්මාන උළළෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.

ඇමති මනෝ ගනේෂන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල, ඩලස් අලහප්පෙරුම යන  මහත්වරුන් සහ මැතිවරණ කොමිසන් සභාවේ  සභාපති මහින්ද  දේශප්‍රිය මහතා ඇතුළු පිරිසක් ද  මේ සඳහා එක්ව  සිටියහ.

මෙහිදී පැෆරල් සංවිධානයේ 30 වසරක ගමන් මග ඇගයීමට ලක්කල කථානායකවරයා පැවසූවේ 1998, මැතිවරණ ඉතිහාසයේ  කළු පැල්ලමක් වූ ප්‍රකට වයඹ පලාත් මැතිවරණයෙන් පසු සාධාරණ මැතිවරණයක් සඳහා සමාජය තුල ජනිත  වූ පිපාසය සන්සිඳුවීමට පැෆරල් සංවිධානය විශාල දායකත්වයක්  ලබා දුන් බවයි.

එදා සාධාරණ නිදහස් මැතිවරණයක් වෙනුවෙන් ස්වේච්ඡාවෙන්  පෙරට පැමිණි ආගමික නායකයන්  ඇතුළු සමාජ බලවේග 17 වන සංශෝධනයට අවශ්‍ය මූලබිජ ජනිත කල බවද හෙතෙම සඳහන් කලේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කරු ජයසුරිය  මහතා පැෆරල් සංවිධානයේ මෙහෙවර මෙලෙස  අගය  කලේය.

1987 දී ස්ථාපිත කළ පැෆරල් සංවිධානය ගෙවී ගිය දශක 03 තුළ මෙරට ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් සමාජයක් වෙනුවෙන් ඉටුකළ මෙහෙවර ඉතිහාසයේ ස්වර්ණමය සටහනක් වනවා.

ඡන්ද දායකයාගේ අයිතිවාසිකම් පමණක්ම නොවෙයි මානව අයිතිවාසිකම් , යහපාලනය සහිත ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ක්‍රමයක් වෙනුවෙන් සටන් කළා.

එම අනන්‍යතාවය පැෆරල් සංවිධානය හිමි කර ගැනීමට ප්‍රධාන හේතුව කිසිම විටෙක පක්ෂග්‍රාහී නොවී ඍජු න්‍යාය පත්‍රයක අඛණ්ඩව පිහිටා සිටීමයි. මැතිවරණ දූෂණ අක්‍රමිකතා වලින් බලය ලබා ගැනීමට අපේක්ෂා කළ බලවේගයන්ට විරුද්ධව නිර්භයව සටන් කිරීමට පැෆරල් සංවිධානයට හැකි වුණේ එදා මෙදාතුර එම සංවිධානයට නායකත්වය ලබා දුන් පුද්ගලයන් තුළ තිබූ අවංකබවත් ලාභ ප්‍රයෝජන හමුවේ නොනැමෙන ශක්තිමත් කශේරුකාවකුත් තිබූ නිසයි.

පැෆරල් සංවිධානය උපත ලබන්නේ සමාජයට එවන් ස්වාධීන බලවේගයක් අත්‍යාවශ්‍යව තිබූ මොහොතකයි.  අද එය ජාත්‍යන්තරව විශාල කීර්තියක් අත්පත් කරගෙන තිබෙනවා.

නමුත් ගෙවීගිය දශක තුන දෙස ආපසු හැරී බලද්දී ඔවුන් අප රට තුළ මිහිරි අත්දැකීම්වලට මුහුණ දුන්නේ නැහැ.

පැෆරල් සංවිධානය සටන් කළේ පුද්ගලික අරමුණු උදෙසා නෙවෙයි. ශිෂ්ඨ සම්පන්න සමාජයක පුරවැසියන්ට හිමි අයිතිවාසිකම් මෙරට ජනතාවට දිනා දීමටයි. යුක්තිය සාධාරණය උදෙසා හෘදය සාක්ෂියට එකඟව සටන් වදින මිනිසුන් තාවකාලිකව යටපත් කළ හැකි නමුත් ඔවුන්ගේ ජයග්‍රහණය ස්ථිරයි. එවැන්නන් අවසානයේ ලබන ආත්ම තෘප්තිය තරම් වටිනා දෙයක් තවත් නොමැති බවයි මා විශ්වාස කරන්නේ.

Related posts

ප්‍රශ්නගත සේරුවිල මංගල රජමහා විහාරයේ විහාරාධිපති ධූරයට චෛත්‍යවර්ධන සමිතිය හිමි නමක් පත්කරලා.

colombotoday

ශ්‍රී ලංකාව ‘ඔරුමිත්ත-නාඩු‘ වෙයි.. පොලිස් බලතල පලාත් සභාවලට… පාර්ලිමේන්තුවට ආ අලුත් ව්‍යවස්ථා යෝජනාවලිය මෙන්න..

colombotoday

ජනපති සිරිසේන ශ්‍රීලනිප සභාපතිකම ගත්තේ එජාප ආණ්ඩුව රකින්නයි ! – ප්‍රසන්න රණතුංග

colombotoday

මහ බැංකුවේ සුරක්ෂිතාගාරයේ තිබූ රුපියල් ලක්ෂ 50 අතුරුදන් වුනේ කොහොමද?

Admin

හඳුනා ගැනීමේ පෙරට්ටුවේදී මිරිහානේ සැකකරුවන් හඳුනා ගැනීමට තවම බැරි වෙයි

colombotoday

විපක්ෂ නායක ධුරය දැරීමට මහින්දට නීතිමය හැකියාවක් නෑ…

colombotoday