Colombo Today Local News

රටටම හොරෙන් අගමැති රනිල් ඇමරිකාවත් එක්ක ගහපු ගිවිසුම මෙන්න…

රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා බලයට පැමිණි සෑම අවස්ථාවකදීම රටේ ජාතික ආරක්‍ෂාව, රටේ අභිමානය, භෞමික අඛණ්ඩතාවය, ස්වෛරීත්වය, පාවා දුන් අන්දම අප දුටුවෙමු. එම පාවා දීම ඔහු සිදු කළේ ඔහු විසින් නිර්ලජ්ජීව ගනු ලැබු තනි තීරණ වලිනි. 2002 රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා රටේ ජාතික ආරක්‍ෂාව, රණවිරුවන් නින්දිත ලෙස පාවා දුන්, කොටි ත‍්‍රස්තවාදීන් සමග එම ඊනියා සාම ගිවිසුම අත්සන් කළේ, ජනාධිපතිටවත්, කැබිනට් මණ්ඩලයටවත් නොකියා හොර රහසේය. එම ගිවිසුම සම්පාදනය කරනු ලැබුවේ ද ත‍්‍රස්ත හිතවාදී නීතිඥයින් වන අතර, එහි අඩංගු සියලූම කොන්දේසි ත‍්‍රස්තවාදීන්ට පමණක් හිතකර වූ ඒවා විය. උදාහරණයක් ලෙස ත‍්‍රස්තවාදීන්ට රිසිසේ හමුදා කඳවුරු තුළ සැරිසැරීමට සහ බොරු පැමිණිලි දමා කඳවුරු පරීක්‍ෂා කිරීමට අවසර අනුමැතිය ලැබුණු අතර හමුදාවට කොටි කඳවුරු තුළට නොව එම පැත්ත පළාතේ්වත් යෑමට වත් නොහැකි විය. කොටි ත‍්‍රස්තයින්ට මුහුදෙන් ඕනෑ තරම් අවි ආයුධ සහ පුද්ගලයින් ප‍්‍රවාහනය කිරීම සඳහා ද අනුමැතිය දී තිබිණි. මේවාට විරුද්ධ වුණු නිලධාරීන් සාම විරෝධීන් ලෙස හංවඩු ගසා කොන් කිරීම ද සිදුවිය. චන්ද්‍රිකා ජනාධිපතිනිය රනිල්ගේ රජය විසුරුවා හැරියේ ජාතික ආරක්‍ෂාව ඒ ආකාරයෙන් අනතුරේ හෙළන්නේ යැයි පවසමිනි.

 මෙවර රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා ත‍්‍රස්තවාදීන් තුරන් කළ රණවිරුවන් යුද අපරාධකරුවන් යැයි පිළිගෙන මංගල සමරවීර ලවා ඊනියා ජිනීවා 30/1 යෝජනාවට ඇමරිකාව සමග සම අනුග‍්‍රහය දැක්වූයේ ද ජනාධිපතිතුමාගේවත් කැබිනට් මණ්ඩලයේවත් අනුමැතියකින් තොරව තනි කැමැත්තටය. ජිනීවා යෝජනා නිර්දේශයන් ක‍්‍රියාත්මක කිරීමට කිසිදු රටක් බැඳී නැති නමුත් 30/1 යෝජනාවේ රණවිරුවා සහ ජාතික ආරක්‍ෂාව පාවා දෙන සියලූ නිර්දේශයන් ක‍්‍රියාත්මක කිරීමට සිදු වූයේ අප ඊට සම අනුග‍්‍රාහකත්වය දැක්වූ හේතුවෙනි. දැන් මේ කඩිමුඩියේ දඟලන්නේ මාර්තු මාසය අවසන් වීමට පෙර එම 30/1 තිබෙන අවසාන නිර්දේශය වන ව්‍යවස්ථා සංශෝධනය කෙසේ හෝ ඉෂ්ට කර ගැනීමටය.

 රනිල් වික‍්‍රමසිංහ විසින් කරනු ලැබු අනෙක් පාවා දීම නම් ඇමරිකා නෞකා, සෙබළු සහ ඇමරිකානු කොන්ත‍්‍රාත්කරුවන් සම්බන්ධයෙන් ඇමරිකන් තානාපති කාර්යාලය සමග අත්සන් කරනු ලැබූ ගිවිසුමයි. මෙයට ජනාධිපතිගේවත් කැබිනට් මණ්ඩලයේවත් අනුමැතිය ලැබී ඇති බවක් වාර්තා වී නැත. එය ද ඔහු කර ඇත්තේ ඔහුගේ තනි කැමැත්තටය. ලෝකයේ බලවත්ම රටක් සමග අප වාගේ පුංචි රටක් එවන් වූ ගිවිසුමකට එලඹෙන්නේ නම් එය රටේ ජනතාව දැනගත යුතු නැද්ද? රජයක් පිහිටුවා ගැනීමට ආසන 113 ක් වත් නැති රනිල් වික‍්‍රමසිංහට තනි කැමැත්තෙන් මෙසේ රටක අනාගතය පිළිබඳව තීරණය කිරීමට බලය දුන්නේ කව්ද?

 රනිල් වික‍්‍රමසිංහ යනු ඇමරිකාව ඇතුළු බටහිරේත්, දෙමළ ඩයස්පෝරාවේත් සුවච කීකරු සේවකයෙක් බව අප කවුරුත් දනිමු. එවන් කෙනෙක් පුද්ගලිකව ඕනෑම දෙයක් ලබා ගැනීමේ හෝ ලබා දීමේ කිසිදු ගැටලූවක් අපි නොදකිමු. නමුත් ඔහු රටේ සම්පත් සහ රටේ ජනතාවගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් ගනුදෙනු කිරීමට නම් රටේ ජනතාව තෝරාගත් ජනාධිපතිතුමාගේ සහ කැබිනට් මණ්ඩලයේ අවසර ගත යුතුය. එසේ නොමැතිව ගන්නා සියලූම තීරණ බලරහිත විය යුතු අතර එවන් තීරණ ගෙන රටට ද්‍රෝහීවීම සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව නීතිප‍්‍රකාර ක‍්‍රියාමාර්ගයන් ගත යුතුය.

 ඇමෙරිකාව දැනට පිටරටවල්වල සිය කඳවුරු 1000 කට වඩා ස්ථාපිත කොට ඇත. දෙවන ලෝක මහා යුද්ධයෙන් පසු ස්ටේටස් ඔෆ් ෆෝසස් යන ගිවිසුමට අනුව ඔවුන් එදා සිට ජපානයේ ඔකිනෝවා නගරයේත්, ජර්මනියේත් සිය කඳවුරු පිහිටුවා තිබේ. ඔකිනාවාහි කුඩා ජපන් දැරියන් පවා ඇමරිකානු සොල්දාදුවන් අතින් දූෂණය වී ඇති අතර, මිනීමැරුම් පවා සිදුවී ඇත. නමුත් ඔවුන් ජපානයේ නීතියට යටත් නොවේ. ඔවුන් යටත් වන්නේ ඇමරිකන් රජයේ නීතියටය. ඔවුන්ට නීති ප‍්‍රකාර කි‍්‍රයාමාර්ග ගන්නේ නම් ගනු ලබන්නේ ඔවුන්ම මිස ජපන් රට නොවේ. මේ සම්බන්ධයෙන් ජපන් ජනතාව කුමන ආකාරයේ විරෝධය පෑවත් අද වනතුරු කිසිම පලක් වී නොමැත.

 ආසියාවේ ඇති දියාගෝ ගාෂියා දූපතේ පිහිටි ඇමරිකානු කඳවුර සම්බන්ධ දීර්ඝ කාලීන බදු ගිවිසුම දැන් අවසන් වී ඇත. ඔවුන් දැන් බලන්නේ තමන්ට පය තැබීමට විකල්ප ස්ථානයන්ය. අපේ රට වසර දහස් ගණනක් තිස්සේ ලෝකයාට වැදගත් වී ඇත්තේ අපේ රටේ පිහිටීම නිසාය. කලාපයේ, භූ දේශපාලනික වශයෙන් අතිශය වැදගත් ස්ථානයක පිහිටා ඇති නිසාය. උපායමාර්ගික වශයෙන් රට ඉතා වැදගත් නිසාය. එවන් රටක හම්බන්තොට වරාය චීනයටත්, මත්තල ඉන්දියාවටත්, ත‍්‍රිකුණාමලය ඇමරිකාවටත් දුන්නොත් රටේ කිිසිදු වටිනාකමක් ඉතිරිවේද? එවිට අපි අපේ සම්පත් පිළිබඳව තීරණය ගත නොහැකි වක‍්‍රාකාරයෙන් යටත් විජිතයක් බවට පත් නොවන්නේද? එසේ අපව විදේශිකයින්ගේ කෙළි බඩුවක් බවට පත් කිරීමට 27 ත් වරක් පරාජය වූ දැනටත් සාමාන්‍ය බහුතර රජයක් හෝ පිහිටුවා ගැනීමටවත් ශක්තියක් නැති රනිල් වික‍්‍රමසිංහට ඇති අයිතිය කුමක්ද? එසේ කිසිදු අයිතියක් නොමැති කෙනෙකු මෙසේ හැසිරෙන විට ජනතාව නිහඬව බලා සිටිය යුතුද?

 රනිල් වික‍්‍රමසිංහ සහ ඇමරිකන් තානාපති කාර්යාලය විසින් අත්සන් කරනු ලැබූ ගිවිසුමේ සඳහන් කරුණු සැකෙවින් මෙසේය.

 (අ.) මෙය ඇමරිකානු සන්නද්ධ හමුදා පුද්ගලයින්, ඇමරිකන් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත සිවිල් පුද්ගලයින්, ඇමරිකන් කොන්ත‍්‍රාත්කරුවන්, ශ‍්‍රී ලාංකිකයින් නොවන, මානූෂීය ක‍්‍රියා සහ අනෙකුත් ක‍්‍රියා සම්බන්ධව වැඩ කිරීමට ඇමරිකන් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවෙන් අවසරගත් පුද්ගලයින්, සම්බන්ධවයි.

 (ආ.) මේ සියලූ පුද්ගලයින්ට 1961 අපේ‍්‍රල් 18 වන දින සම්මත වූ වියානා සම්මුතියේ අඩංගු තානාපතිවරුන්ට දෙනු ලබන සියලූ වරප‍්‍රසාද සහ මුක්තිය දිය යුතුය.

 (ඇ.) ඇමරිකන් සෙබළුන්ට අවශ්‍ය පරිදි නිල ඇඳුම් ඇඳ, අවිගෙන රට තුළ කටයුතු කිරීමට අවසර දිය යුතුය.

 (ඈ.) එම පුද්ගලයින්ට ඇමරිකන් අවසර පත‍්‍ර මඟින් ලංකාවට යෑමට, ඒමට හැකි විය යුතුය. ඔවුන්ගේ ඇමරිකානු රියදුරු බලපත‍්‍ර, ලංකාවේ රියැදුරු පරීක්‍ෂණයකින් තොරව, නීත්‍යානුකූල ලෙස පිළිගත යුතුය.

 (ඉ.) මේ සියලූ පුද්ගලයින් ඇමරිකන් අපරාධ නීතියට පමණක් යටත්වේ.

 (ඊ.) මේ පුද්ගලයින් ලංකාව තුළට රැගෙන එන සියලූම පුද්ගලික දේපල, උපකරණ, සැපයුම් භාණ්ඩ, තාක්‍ෂණික මෙවලම්, පුහුණු භාණ්ඩ සහ අනෙකුත් දේපල කිසිදු රේගු පරීක්‍ෂණයකින් තොරව, බදු ගෙවීමකින් තොරව, වෙනත් කිසිදු බාධාවකින් තොරව, ගෙන ඒමට අවසර දිය යුතුය.

 (උ.) ලංකාව තුළට එන ඇමරිකන් නෞකා, ගුවන් යානා යනාදිය වරායට, ගුවන් තොටුපළට ඇතුල්වීමේදී අය කරනු ලබන කිසිදු ගාස්තුවක් අය නොකරන අතර නෞකාවක් වරාය තුළට ගෙන ඒමේදී සාමාන්‍යයෙන් අය කරන පයිලට් ගාස්තුවෙන් පවා ඔවුන්ව නිදහස් කළ යුතුය.

 (ඌ.) ඇමරිකානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, උපකරණ, භාණ්ඩ යනාදිය සැපයීම සඳහා කොන්ත‍්‍රාත්කරුවන් තෝරා ගන්නා අතර ඒ අයට ද කිසිදු බාධාවකින් තොරව කටයුතු කිරීමට ඉඩදිය යුතුය. ලංකාව තුළදි ගන්නා උපකරණ සහ සේවා සඳහා කිසිදු බදු මුදලක් අය නොකළ යුතුය. ඔවුන්ට ද ඇමරිකන් පුරවැසියන්ට ලබා දෙන පහසුකම් දිය යුතු අතර ඔවුන්ගේ රියදුරු බලපත‍්‍ර ද පිළිගත යුතුය.

 (එ.) ඇමරිකන් හමුදා පුද්ගලයින්ට තමන්ට අවශ්‍ය ගුවන් විදුලි තරංග පද්ධතියක් පාවිච්චි කිරීමට අවසර දිය යුතුය. එය ඇමරිකානු රජයට නොමිලේ දෙන සේවාවක් විය යුතුය.

 (ඒ.) මෙම ගිවිසුම ක‍්‍රියාත්මක වන විට එය 1995 මැයි 16 වන දින ලංකා රජය පුහුණුවීම්/ නිල රාජකාරි ලංකාවට පැමිණෙන ඇමරිකානු සෙබළු සම්බන්ධයෙන් ඇති කළ ගිවිසුම අභිබවා යා යුතුය.

 පසුගිය සතියේ ඇමරිකානු භාණ්ඩ රැසක්, කිසිදු රේගු පරීක්‍ෂණයකින් තොරව, රේගු බදු ගෙවීමකින් තොරව රට තුළට ගෙන ආ බැව් පුවත්පත් රැසක් පළකර තිබිණි. එයින් සනාථ වන්නේ රනිල් වික‍්‍රමසිංහ දැනටමත් මෙම ගිවිසුම බලාත්මක කර ඇති බවයි.

 මෙම ගිවිසුම පරිදි ඇමරිකානු කඳවුරු සැපයුම් මධ්‍යස්ථාන මෙහි ස්ථාපිත වී ඇමරිකානු සෙබළු අපේ රටේ නීතියට යටත් නොවී නිදහසේ සැරිසරන තත්ත්වයකට පත්වුවහොත් ඇති වන තත්ත්වය කුමක්ද? ඔකිනාවා නගරය පත්ව ඇති තත්ත්වයට අප පත් නොවන්නේද? බලගතු රටක් එසේ රට තුළ ස්ථාපිත වූ පසු ඔවුන්ව පහසුවෙන් ඉවත් කළ හැකිද?

 රණවිරුවා, හමුදා බුද්ධි අංශය පාවා දුන්, රටේ ජාතික ආරක්‍ෂාව ඇඩි අනතුරකට හෙළු, රටේ වටිනාම සම්පත් විදේශිය රටවල්වලට කුණු කොල්ලයට අලෙවි කළ, රනිල් වික‍්‍රමසිංහ දැන් ඇමරිකාවට අපේ රටේ අභිමානය, සංස්කෘතිය සහ ස්වෛරීත්වය මේ අයුරින් පාවා දී තිබේ. එක්සත් ජාතික පාක්‍ෂිකයිනි, ඔබ තවමත් රනිල් වික‍්‍රමසිංහ ඔබේ නායකයා ලෙස පිළිගන්නේද?


 රියර් අද්මිරාල්, ආචාර්ය සරත් වීරසේකර

Related posts

ඉදිරි පැය 24 තුළ තවදුරටත් තද වැසි

colombotoday

බස්නාහිර පළාත් සභාවේ අයවැය අතරතුර මන්ත්‍රීවරු අසභ්‍ය දර්ශන නැරඹූ හැටි මෙන්න [Video]

colombotoday

අන්තවාදී අදහස් ප්‍රචාරය කිරීමට සැකපිට ජමියතුල් උලමා සංවිධානයේ වියතෙක් අත්අඩංගුවට

colombotoday

හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට පැමිණෙයි

colombotoday

කොරෝනා අසාදිතයින් සිව්දෙනෙකු හඳුනා ගැනේ

colombotoday

අගමැතිට එරෙහි විශ්වාසභංගයට නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ සහාය දෙනවා – එස්. බී. දිසානායක

colombotoday