Colombo Today Local News

මුස්ලිම් ජනතාවට වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් අවශ්‍ය බව හකීම් පාස්කු කොමිසමේ දී කියයි

මෙරට ජීවත්වන මුස්ලිම් ජනතාවට වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් අවශ්‍ය බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබූ බවත්, තම පක්ෂය එම මතයේ අදටත් රැඳී සිටින බවත් එහි නායක රවුෆ් හකීම් මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (07)දින පස්වරුවේ සාක්ෂි ලබාදෙමිනි.

එසේම පාස්කු ප්‍රහාරය රට තුළ අස්ථාවරත්වයක් නිර්මාණය කිරීම සඳහා සහරාන් ඇතුළු පිරිස ඉත්තන් කරගනිමින් වෙනත් අදිසි බලවේගයක් විසින් මෙහෙයවන ලද්දක් බවත්, මාධ්‍ය නොමැති අවස්ථාවක තමාට ඒ පිළිබඳව ජනාධිපති කොමිසම දැනුවත් කළ හැකි බවත් හකීම් මහතා ප්‍රකාශ කළේය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු සයින්දමර්දු හි නිවසක සිදුවු පිපිරීම් මාලාවෙන් මියගිය, සහරාන්ගේ සොහොයුරු රිල්වාන් හෂීම් සමග හිටපු අමාත්‍ය රවුෆ් හකිම් සිටින ඡායාරූප සහ විඩියෝ දර්ශන පෙළක් ඊයේ ජනාධිපති කොමිසමේ විමර්ශනයට ලක් වූ අතර කොමිසම ඒ පිළිබඳව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාගෙන් විමසීය.

එහිදී ඔහු පැවසුවේ 2015 අගෝස්තු 21 වන දා තම පාක්ෂික ගැබිණි කාන්තාවකගේ සුවදුක් බැලීමට මඩකළපුව මහ රෝහලට ගිය විට, එහි තුවාල ලබා සිටි රිල්වාන් හෂීම්ගේ සුවදුක්ද විමසූ අතර එම අවස්ථාවේ ගත් ඡායාරූප සහ විඩියෝ දර්ශන මාධ්‍ය ඔස්සේ විකාශය වී ඇති බවය.

තමන් එලෙස හමුවී ඇත්තේ සහරාන් හෂීම්ගේ සොහොයුරා බව පාස්කු ප්‍රහාරයට පසු දැනගත්තද ප්‍රහාරයට පෙර කිසිම විටක ඔහුව හඳුනාගෙන නොසිටි බව හකීම් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙහිදි ජනාධිපති කොමිසම රූපවාහිනි නාලිකාවක ප්‍රවෘත්ති ප්‍රකාශය ඔස්සේ විකාශය කරන ලද සහරාන් හෂීම් සමග සිබ්ලි ෆාරුක් සහ සාක්ෂිකාර රවුෆ් හකීම් මහතා සාකච්ඡාවක නිරත වන විඩියෝ දර්ශනයක් ප්‍රදර්ශනය කළ අතර ඊට ප්‍රතිචාර දක්වමින් හකීම් මහතා පවසා සිටියේ, පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවු අවස්ථාවේ කාන්තන්කුඩියේ පිහිටි “ජාතික තවුහිද් ජමාත්” සංවිධානයේ පල්ලියට ද හානි සිදුවී තිබු බැවින් තමන් එය නිරික්ෂණය කළ බවය.

එහෙත් අදාළ පල්ලිය අයත් සහරාන් හෂීම් ත්‍රස්තවාදියකු බව එම අවස්ථාවේ තමන් දැන නොසිටි අතර එදින තමන් සමග සාකච්ඡාවක නිරත වු පුද්ගලයා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ බව තමන් දැනගත්තේ ප්‍රහාරයෙන් පසුව බව හකීම් මහතා පැවසීය.

මෙහිදී සභාපති විනිසුරුවරයා විමසා සිටියේ හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ සිටින “අයි.එස්” සංවිධානයට සම්බන්ධ පවුල් ගැන පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයකට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ එවක අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා මුස්ලිම් අමාත්‍යවරුන් දැනුවත් කර තිබූ බව පිළිගන්නේ ද, යන්නය.

ඔහු කිසිදු අවස්ථාවක තමාට එවැනි දැනුවත් කිරීමක් සිදුකර නැතැයි රාවුෆ් හකීම් මහතා අවධාරණය කළේය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෝ එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ප්‍රහාරයට පෙර “අයි.එස්” සංවිධානයෙන් මෙරටට පැවති බලපෑම් පිළිබඳව අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර තිබුණේදැයි කොමිසම ප්‍රශ්න කර සිටියේය.

බුද්ධි අංශ සිදුකළ දැනුවත්කිරීම් පිළිබඳව ජාතික ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකයන් ලෙස හිටපු ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා දැන සිටින්නට ඇතත් ඒ පිළිබඳ නිශ්චිත තොරතුරු අමාත්‍ය මණ්ඩලයට දැනුවත් නොකළ බව හකීම් මහතා පැවසීය.

2018 වසරේ පැවති දින 52 ආණ්ඩුවෙන් පසු හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ආරක්ෂක කවුන්සිලයට සහභාගි නොවූ බවත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වුවමනාවෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාව ජාතික ආරක්ෂක කවුන්සලයට කැඳවීමෙන් වැළකී සිටින බව වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලයට ව්‍යංගයෙන් පවසා තිබු බවත් මෙහිදී ඒ මහතා අනාවරණ කළේය.

එසේම පූජිත් ජයසුන්දර මහතා පොලිස්පතිධුරයට පත් වූ දා සිටම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඔහු සම්බන්ධයෙන් විවේචන තිබූ අතර අවස්ථා ගණනාවකදීම පොලිස්පතිවරයා ඉවත් කරන ලෙස හිටපු ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ දී අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලූ බව ඔහු හෙළිදරව් කළේය.

මෙහිදි බුද්ධි අංශ තොරතුරු ලබා දී තිබියදීත්, පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් වගකිවයුත්තේ කව්රුන්දැයි කොමිසම වමිසූ විට හකීම් මහතා පැවසුවේ තමන් එම වගකීම ජාතික මට්ටමේ නායකයන්ට නොපවරන අතර බුද්ධි ප්‍රධානීන් තමන් ලද නිශ්චිත තොරතුරු පිළිබඳ විධිමත් දැනුම්දිමක් සිදුකළ යුතුව තිබූ බවය.

කෙසේ වෙතත් පාස්කු ප්‍රහාරය එල්ල කළ සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායමට “අයි.එස්” ත්‍රරස්තවාදින් සමග සෘජු සම්බන්ධතාවයක් තිබු බව තමන් පිළිනොගන්නේ යැයි හකිම් මහතා පැවසීය.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙම ප්‍රහාරය රට තුළ අස්ථාවරත්වයක් නිර්මාණය කිරීම සඳහා සහරාන් ඇතුළු පිරිස ඉත්තන් කරගනිමින් වෙනත් අදිසි බලවේගයක් විසින් මෙහෙයවන ලද්දක් බවය.

එම අදිසි බලවේගයේ අරමුණු ඉෂ්ඨ වු බැවින් රට තුළ සිදුවු පළමු සහ එකම මුස්ලිම් අන්තවාදි ප්‍රහාරය මෙය බවත් යළි එවැන්නක් සිදුවේ යැයි තමන් විශ්වාස නොකරන බවත්, ඒ මහතා ප්‍රකාශකළේය.

මෙහිදී ජනාධිපති කොමිසම ප්‍රශ්න කළේ මන්ත්‍රීවරයා සඳහන් කළ අදිසි බලවේගය කුමක්ද යන්නය.

ඒ පිළිබද වැඩිදුර තොරතුරු තමන් මාධ්‍ය ඉදිරියේ සදහන් කිරීමට අකමැති බවත්, මාධ්‍ය නොමැති අවස්ථාවක ඒ පිළිබද ජනාධිපති කොමිසම දැනුවත් කළ හැකි බවත් හකීම් මහතා දන්වා සිටියේය.

මෙහිදි විශේෂ ප්‍රශ්නයක් යොමු කරමින් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා ප්‍රශ්න කළේ මුස්ලිම් ජනතාවට වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් අවශ්‍ය යැයි ඉල්ලීමක් 2015 ජනාධිපතිවරණයට පසු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට යොමු කළේ ද යන්නය.

එයට පිළිතුරු දෙමින් හකීම් මහතා සඳහන් කළේ 2015 ජනාධිපතිවරණයෙන් පසුවද අම්පාර දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශයේ ද්‍රවිඩ භාෂාව කථාකරන ජනතාව වෙනුවෙන් වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් අවශ්‍ය යැයි ශ්‍රී ලංකා මුස්ලීම් කොංග්‍රසය එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාව දැනුවත්කළ බවය.

2015 වර්ෂයේ ඔබ කළ එම ඉල්ලීම, නැතහොත් මුස්ලිම් ජනතාවට වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් අවශ්‍ය යැයි යන මතයේ වර්තමානයෙත් රැඳී සිටින්නේදැයි ජනාධිපති කොමිසමේ සභාපතිවරයා විමසා සිටියේය.

තමන් කථාකරන භාෂාවෙන් තම පරිපාලනමය කටයුතු සිදුකර ගැනීමට වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් තිබුණානම් හොඳයි යන මතයේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය වර්තමානයේදීත් සිටින බව රවුෆ් හකීම් මහතා කොමිසම හමුවේ විවෘතව ප්‍රකාශ කළේය.

Related posts

සංචාරකයන් කණ්ඩායම් වශයෙන් ලංකාවට ගෙන්වා ගැනීමට සැලසුම්.. එක්සත් ජාතීන්ගෙන් පූර්ණ සහාය.

colombotoday

විදේශ අයෝජන ආකර්ෂණයට පැකේජයක්

Admin

“ඥානසාර හාමුදුරුවෝ අපි නිසයි හිරබත් කන්නේ” – සිරගත කර ඇති රණවිරුවෝ කණගාටුවෙන්

colombotoday

ගුදයේ රත්තරන් ගෙනා මුස්ලිම් ආගමික ඇමති සහයකයාට පාස්පෝර්ට් 5ක්

colombotoday

දිනේෂ් ෂාෆ්ටර්ගේ මෘත ශරීරය භූමදානයට අවසර

Admin

ආපන ශාලා හිමියන්ගේ සංගමයේ අසේල සම්පත්ගේ පැටිකිරිය එලියට

colombotoday