BusinessColombo Today Local News

මිළ පහලටම වැටේ. තේ කර්මාන්තයට අසාධ්‍යයි


ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන් පිරිසකගේ ප්‍රධාන ජීවනෝපාය වූ තේ කර්මාන්තය සීග්‍ර කඩාවැටීමකට ලක්ව ඇති බව තේ ව්‍යාපාරිකයෝ පවසති.

මාස ගණනාවක් තිස්සේ තේ ක්ෂේත්‍රයට මෙම තත්ත්වය උද්ගතව ඇති බව පවසන තේ කර්මාන්තකරුවන් සහ කුඩා තේවතු හිමියන් පවසන්නේ දැන් ශ්‍රී ලංකාවේ තේ අර්බුදයේ උච්චතම තැනට පැමිණෙමින් තිබෙන බවයි.

‘‘දැනට මාස විසි දෙකක සිට මේ තත්ත්වය පවතිනවා. 2013 දෙසැම්බර් මාසයේ සිට ගෙවුණු මාසය අතර කාලය තුළ කොළඹ තේ වෙන්දේසියේ තේ කිලෝවකට ගෙවන මිල රුපියල් එකසිය හතළිහකින් පහළ බැහැලා”

පෞද්ගලික තේ කම්හල් හිමියන්ගේ සංගමයේ හිටපු සභාපති දයා සමරසේකර එසේ පවසද්දී කුඩා තේවතු හිමියෙක් වූ ගොඩකවෙල ගලහිටියේ වයි. කුලරත්න පැවසුවේ තේ අර්බුදය හමුවේ කුඩා තේවතු හිමියා විශාල ගැටලුවකට පත්ව ඇති බවයි.


ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ වත්මන් නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන්නේ කුඩා තේවතු හිමියායි.

පහතරට කලාපයේ වැඩිපුර ව්‍යාප්තව ඇති කුඩා තේ ඉඩම් හිමියන් ශ්‍රී ලංකාවේ සමස්ත තේ නිෂ්පානයෙන් සියයට හැත්තෑ එකක් නිපදවීමට දායක වෙති.

තේ නිෂ්පාදනයේ සිදු වන දුර්වලතාවන් ද තේ මිල පහළ වැටීමට හේතුවක් බව තේ කම්හල් හිමියෙක් වූ බි.වී. ජයවර්ධන පවසයි.

‘‘දලු දෙකයි තිරයයි අපිට දෙනවා නම් ගුණාත්මක තේ නිපදවන්න පුලුවන්. නමුත් තේ ඉඩම් හිමියන් කොළ තුන හතර අරිම්බු එක්ක දුන්නා. කර්මාන්ත ශාලා හිමියෝ විදියට අපිත් ඒවා මුලදි ගත්තා. දැන් කොළ දෙකයි තිරේ කඩන්න තේ වතු හිමියන් සුදානම් නෑ”


කර්මාන්ත ශාලාවලින් අමු තේ දලු වර්ගීකරණයට යොමු වීම කුඩා තේවතු හිමියන්ගේ ආදායම පහළ යාමට හේතුවක් බව කුඩා තේ වතු හිමියන් පවසයි.

නමුත් තේ අර්බුදයෙන් මිදෙන්නට නම් ගුණාත්මක තේ නිපදවිය යුතු බව තේ කම්හල් හිමියෙක් වූ බී.වි. ජයවර්ධන අවධාරණය කරයි.

ශ්‍රී ලංකාවේ නිපදවන තේ මිල දී ගන්නා රටවල අභ්‍යන්තර අර්බුද තේ මිල පහළ යාමට හේතුව බව ද පවසන පෞද්ගලික තේ කම්හල් හිමියන්ගේ සංගමයේ හිටපු සභාපති දයා සමරසේකර, මැද පෙරදිග ඇතිවී තිබෙන යුද වාතාවරණයත්, රුසියාව සහ යුක්රේනය අතර යුද ගැටුම හමුවේ රූබලයේ පහත වැටීම නිසා තේ මිලදි ගැනීමට රුසියාවට මුදල් නැතිකම හේතුවක් බවද කීවේ ය.

අර්බුදයෙන් මිදීමට නම් කඩිනමින් අලුත් වෙළද පොලක් වහා සොයා ගත යුතුව ඇතැයි ද ඔහු පෙන්වා දෙයි. ඒ සදහා හොදම රට චීනය බවත් දැනටමත් චීනය තේ යම් ප්‍රමාණයක් ලංකාවෙන් මිලදි ගන්නා බවද පවසයි.


මේ තේ අර්බුදයට විසදුමක් නොදුන හොත් තේ කර්මාන්තය ආශ්‍රිත ආදායම් ලබන බොහෝ දෙනෙකුගේ ආදායම් පහළ වැටෙනු ඇති බව කම්හල් හිමියෙක් වූ බී.වි.ජයවර්ධන අනතුරු අඟවයි.

‘ඇත්තටම අපි මේ අර්බුදය හමුවේ සේවකයන්ට කාර්ය මණ්ඩලවලට විවිධ නිතී රීති පනවනවා. අතිකාල ගෙවීම් වෙනත් දීමනාවෙන් නවත්වනවා. අතුරු භාණ්ඩවලට ගෙවන මිල අඩු කරනවා. ඒ වගේ දේවල් අපට කරන්න වෙනවා.’ ඔහු පැවසීය.

මේ වන විට පුද්ගලික තේ කම්හල් බොහෝමයක නිෂ්පාදනයන් අඩු කර තිබෙන බව මේ ගැන සොයා බැලීමට කළ සංචාරයේදි පෙනි ගියා.

ඇතැම් තේ කම්හල්වල දෛනික නිෂ්පාදනයන් සියයට පනහකින් අඩු කර තිබුණි. වෙන්දේසියට යැවිමට සූදානම් කළ තේ කම්හල්තුල තැනින් තැන ගොඩ ගැසි තිබුණි. සේවකයන්ද වැඩට පැමිණ සිටියේ අඩුවෙන්. මේ තත්ත්වය සෑම තේ කම්හලකින්ම දකින්න ලැබෙන තත්ත්වයක්.

තේ කිලෝවක් සඳහා රජය සහතික මිලක් දෙන බව පැවසුවත් ඒ ගැන තේ ගොවින්ගේ විශ්වාසයක් පෙනෙන්ට තිබුනේ නැත. මේ අර්බුදය විසඳෙන තුරු තේ දලු නොකඩා සිටීමට කුඩා තේවතු හිමියන් බොහෝ දෙනෙක් තීරණය කළ බව කුඩා තේවතු හිමියෙකු වු වයි.කුලරත්න පැවසුවේ ය.

‘අපිට නම් රුපියල් දහයක් එක මාසෙක ගෙව්වා. එච්චරයි. ඒක මේ අර්බුදයට විසඳුමක් නෙවෙයි. අපි කුඩා තේ වතු හිමියෝ විදියට කතා කර ගෙන ඉන්නේ මිල අඩු වුනොත් දලු කැඩිම නවත්වලා ගස් වැවෙන්න හරින්න. මිලක් ආපු දවසකට කප්පාදු කරලා දලු කඩන්න පටන් ගන්නවා.’ ඔහු පවසයි.

මේ තේ අර්බුදයට කඩිනම් විසදුම් නොලැබුනොත් තේ කම්හල් බොහෝ ප්‍රමාණයක් හෙට දවසේ වැසී යනු ඇත. මේ ගැන විමසු විට තේ මණ්ඩලය පැවසුවේ ඉතා ඉක්මනින් මේ අර්බුදයට විසඳුම් ගෙනෙන බවයි.

Related posts

“අවංක, දූෂණයෙන් තොර, වංචා නොකරන පිරිස් ශක්තිමත් බලවේගයක් ගොඩනැගිය යුතුයි”

colombotoday

අදත් එන්නත් ලබාදීම ස්ථාන රැසකදී

colombotoday

ජනපති කාර්යමණ්ඩල ප්‍රධානියා අල්ලස් ගත් කන්තලේ සීනි කම්හල් ගනුදෙනුවේ සම්පූර්ණ කතාව මෙන්න

colombotoday

සිරිල් ගාමිණි පුජකතුමා අදත් CIDයට

colombotoday

“මේ හැම ප්‍රශ්නයකටම මුල ජාතියට නායකයෙක් නොමැතිවීමයි” – ඥාණසාර හිමි

colombotoday

බේරුවල මව සහ බිළිඳා කොළඹ යවා, වෛද්‍ය කණ්ඩායම නිරෝධනයට

colombotoday