Colombo Today Local News

මැකෝ මහ නාහිමිවරුන්ගෙන් කළ ඉල්ලීම

ඡන්ද විමසීම් කාලසීමාවේදී ආගමික ස්ථානවල දේශපාලන රැස්වීම් පැවැත්වීම හා අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීම මැතිවරණ නීතියෙන් තහනම් වුවත් එවැනි සිදුවීම් පසුගිය කාලයේ වාර්තාවූ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම හමුවේ අද (03) පැවසුවේය.

මැතිවරණ පනත උල්ලංඝනය කරමින් ආගමික ස්ථානයක මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යම් අපේක්ෂකයෙකු නිරතවූ බවට කවුරුන් හෝ විරෝධතාවක් ගොනුකළ හොත් ඔහුගේ හෝ ඇයගේ මන්ත්‍රීධූරය අහෝසි කිරීමේ බලතලද පනත සතු යැයි ඒ මහතා කීය.

මැතිවරණ පනතේ 79 වන වගන්තිය මගින් මේබව පැහැදිලිව දක්වා තිබෙන බව කී සභාපතිවරයා එහි පිටපතක්ද මහනායක හිමිවරුන්ට පිළිගැන්වුවේය.

මල්වතු මහ විහාරයට ගිය මහින්ද දේශප්‍රිය මහතා එම පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් බැහැදැකීමෙන් අනතුරුව අස්ගිරි මහ විහාරයට ගොස් එම පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

බෝධි පූජා, දානමය පුණ්‍යකර්ම, දේව මෙහෙයන් ඇතුළු නොයෙක් ආගමික වැඩසටහන් පූජනීය ස්ථාන වල සංවිධානය කරමින් අපේක්ෂකයින් හා පක්ෂ ප්‍රවර්ධනය කිරීම පසුගිය මැතිවරණ කිහිපයේදීම සිදුවූ බවත් මෙය බෞද්ධ සිද්ධස්ථාන වල පමණක් නොව සෙසු ආගමික ස්ථාන වලද සිදුවන බවත් ඒ මහතා කීය.

මෙරට අති බහුතරයක් දෙනා සිංහල බෞද්ධ බැවින් මුලින්ම මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා මේ සම්බන්ධයෙන් දැනුවත් කර විහාරාධිපතිවරුන්ට හා භාරකාර හිමිවරුන්ට අදාළ පණිවිඩය ලබා දීමට අදහස් කළ බවත් කාදිනල්තුමන් ඇතුළු හින්දු හා ඉස්ලාම් ආගමික නායකයින්ද මේ සම්බන්ධව දැනුවත් කිරීමට අපේක්ෂා කරන බවත් හෙතෙම පැවසුවේය.

භික්ෂූන් වහන්සේලාට හෝ පූජක උතුමන්ලාට දේශපාලනය අයිතිය පනතින් අහෝසි කර නොමැති බවත් මැතිවරණයට තරඟ කිරීම,දේශපාලන රැස්වීම් වල කතා කිරීම වැනි දේ උන්වහන්සේලාට කළ හැකි බවත් කී මහින්ද දේශප්‍රිය මහතා මැතිවරණ කාලසීමාවේදී ආගමික සිද්ධස්ථාන තුළ මෙය සිදුකිරීම වරදක් බවද අවධාරණය කළේය.

මෙහිදී අදහස් දැක්වූ මල්වතු මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් මේ සම්බන්ධව කල්තියා දැනුවත් කිරීමට පියවර ගැනීම හොඳ බවත් පනතින් ලැබී ඇති බලතල එලෙසින්ම ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට හේතුවනු ඇති බවත් ප්‍රකාශ කළහ.

පසුගිය මැතිවරණය ඉතාමත් සාධාරණ ලෙස පැවැත්වීමට මැතිවරණ කොමිසමේ සභාපති ප්‍රමුඛ පිරිස කටයුතු කළ බව රටම දන්නා බවත් මල්වතු අස්ගිරි උභය මහ විහාරයන්ට අයත් බෞද්ධ විහාරස්ථාන වල පක්ෂ හෝ අපේක්ෂකයින් ප්‍රවර්ධන කටයුතු සිදු නොකරන ලෙස ඉල්ලීමක් කිරීමට කටයුතු කරන බවත් මෙහිදී අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පැවසූහ.

Related posts

ට්‍රාන්ස්ෆෝමරය පුපුරා යනතුරුම බකංනිලාගෙන ඉඳලා

colombotoday

නාවික කදවුරු භූමියේ ඉඩම් ඉල්ලා මුලතිව් හී විරෝධතා !

colombotoday

නාගදීපයට උතුරෙන් තහංචියක් ! නයිනතිව් ලෙස නම් කරන්නැයි උතුරු පළාත් සභාව ජනපතිට කියයි

colombotoday

පෙම පිටු පෑ සිසුවියකට දහම් පාසලේ දී පිහියෙන් අනී

Admin

“සුව සැරිය” ගිලන් රථ සේවය පුළුල් කෙරේ.. ගිලන්රථ 209 අලුතින් එක්වේ

colombotoday

මොකක්ද මේ වහාබ්වාදයට වඩා දරුණු සලාෆි වාදය ?

colombotoday