ArticlesColombo Today Local News

මහකනදරා වැව් ජලය හොර පාරෙන් උතුරට…

රන්දිය දහර හෙවත් කණක ධාරාව මහසෙන් රජ්ජුරුවො නිර්මාණය කරන්නෙ ප්‍රදේශයේ භූගත ජල මට්ටම ඉහලින් තබා ගැනීමටත් රටට බත සපයන ගොවියන්ගෙ කෙත් සරුකිරීමත් අරමුණු කරගෙනය.

ඒ ක්‍රිස්තු වර්ශ 276 – 306 ත් අතර කාලයේය. මහසෙන් රජ්ජුරුවන්ගේ භූගත ජල මට්ටම ඉහල තබා ගැනිමේ අරමුණනම් පානීය ජලය ලෙස කුඩා ලිං මගින් ජනයාට ජලය ලබා ගැනීම පහසු කරවීමය. එහෙයින් කණක ධාරාවේ ජලය කෙත් බිම් සාරවත් වීම පිණිසත් දිය නෑම ආදි කටයුතු පිණිසත් යොදාගනුවස් පමණක් භාවිතා කර තිබුනි.මහසෙන් රජුගෙ එදා කණක ධාරාව අද මහ කණදරා ජලාශයය. විවිධ පරසතුරු උපක්‍රම කුමත්‍රණ ආදීයෙන් පීඩාවට පත්වුවද නොනැසි පැවති මහකණදරා ජලාශය 1959 දි ප්‍රතිසංකරණයට ලක්ව මහාවාරි ගොවි ජනපදයක් ලෙස අධියර දෙකකින් ගොවි පවුල් පදිංචි කර ඇති අතර අද වනවිට ගොවි පවුල් 12000ක් ජීවත්වන ගොවි රජ දහනකි.

ආරම්බයේදිම අක්කර 6100ක් කුඹුරුවගා බිම් ලෙස මහකණදරා ජලාශයෙන් පෝෂණය වී ජාතියට බත සැපයීම සිදුවිය. අතීතයේ මේ ජලාශයට උපකාර පිණිස ඒරූ වැවේ වාන් වතුර සීරාව ගලා එන්ට මගක්ද මහසෙන් රජ්ජුරුවන්ගෙ නුවනින් නිර්මාණය වි තිබුනද රණසිංහ ප්‍රේමදාස ජනපති යුගයෙ ගම් උදා වැඩසටහනෙ උදාගම්මානයක් එමග වසා ඉදිකිරීමෙන් මහකණදරාව හුදකලා ජලාශයක් බවට පත්කර තිබේ.

රමණීය මේ මහා වැව දරා උසුලා සිටින ජලකඳ අක්කර අඩි 36250කි.දකුණු ඉවුර සහ වම් ඉවුර ලෙස බෙදුම් ඇල මාර්ග 53කින්ද ඇලමාර්ග 244කින්ද ගොවියන්ගෙ කුඹුරු බිම්වෙත අවශ්‍ය ජලය ලබා ගැනෙ. පරසන්ගස්වැව රත්මලෙ දක්වා එක් පසෙකිනුත් අනෙක් පසින් රබෑව වහමල්ගොල්ලෑව දක්වාත් මහකනදරා ජලාශයෙ ජලය කෙත් සඳහා ජීවය දෙමින් ඇල මාර්ග ඔස්සෙ ගලා බසි.මිහින්තලය නගරය,රබෑව නගරය මැදච්චිය නගරය ඇතුලු නගරාශ්‍රිත සියළු ව්‍යාපාරයන්හිත් ග්‍රාමාශ්‍රිත ව්‍යාපාරයන්ගෙ පගතියද මහ කණදරා ජලාශය මත රැඳිපවතින්නෙ මේසියළු ගොවි ජනතාව යැපෙන්නෙ කණදරා ජලයට පිං සිදුවන්නට වන බැවිනි.එබැවින් එහි සියළු වැසියො මහකනදරා ජලාශයට පණමෙන් සෙනෙහස ඇත්තෝය. අහස් දියෙන් පමණක් පිරෙන ජලාශයක් හේතුවෙන් වැව් ජලය අරපරිස්සම් කරගන්නට සියල්ලො කටයුතු කරයි.

මාතලේ පැත්තට අහසින් වැටෙන වතුර කළුඟග ඔස්සෙ මුහුදට නොයවා මොරගහකන්ද ජලාශය නිර්මාණය කර මොරගහකන්ද ව්‍යාපෘතියෙන් කණදරා වැවවටත් යල මහ කණ්න දෙකේම වගේම අවශ්‍යනම් මැද කණ්නයකටත් වතුර දෙනවායැයි වේදිකාවල හැම ඡන්දයකදිම ඇසෙන අත්පොළ සන් නැගෙන ජනප්‍රිය ප්‍රකාෂණ වහ වහා ඉටු වේයැයි මේ ගොවියන්ගේද සිහිණයක්‍ ය.

මහකණදරාවට මොරගහ කන්ද ජලාශයේ වතුර ගෙනෙන්ට බලාපොරොත්තු ව 2026 දීය. ව්‍යාපෘති අවසානය 2034 යැයි කියැවෙන බැවින් ඒ වෙද්දීවත් ඒ ජලය ලැබේයැයි ගොවින්ට විශ්වාස කරන්නට නොහැක්කෙ ජලය ගෙන එන්නෙයැයි කියන ඇල මාර්ග ඉදිකිරීම් තවමත් ආරම්බක අධියරෙ බැවිනි.ඊටත් ඇල මාර්ගය කිලෝමීටර් 97 ක් මොරගහ කන්දේ සිට මහකනදරාවට එන්ට ඕනෑය.හදනවායැයි කියැවෙන කිලෝමීටර් 27 වන උමන් ජල මාර්ගයෙ තවමත් තිබෙන්නෙ මුල් ගල් පමණි.

පසුගිය වසර කීපයක සිටම මහකණදරා ගොවියො කුඹුරු ගොවිතැන් ජලය නොමැතිකමින් අතැහැර අහස දෙස බලා සිටියෝය.පිට පිට කණ්න 5ක්ම වගාවකින් තොරව අන්ත අසරණ වූ ඔව්හු. 6 වන කණ්නයෙ බෙත්ම ක්‍රමයට අක්කර භාගයක් වගා කරගත්තෝය. 7 වන කණ්නය ලෙස මේ හෙට අනිද්දා කරල් පැසි කැපෙන මාස් කණ්නය සතුටින් ඔව්හු වගා කලෝය. එහෙත් දැන් ඔවුන්ගෙ සතුට අවිනිශ්චිත අනාගත අදුරකින් වැසෙමින් පවති. ඒ පානීය ජලය දෙනවාය යන අරමුණින් කඩිනමින් හැදෙන අනුරාධපුර උතුරු පාණීය ජල ව්‍යාපෘතිය හේතුවෙනි.එම දැවැන්ත ජල ව්‍යාපෘති යට ජලය ලබාගන්නට සැලැසුම් කරතිබෙන්නෙ මහකණදරාව ජලාශයෙනි.

ජයිකා හෙවත් ජපන් ණය ආධාර යටතේ මේ පානීය ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මකය. ඒසඳහා ජයිකා ණය මුදල රුපියල් බිලියන 12කි.වැව් මධ්‍යයේ බැම්මෙන් මෙහා පරිශ්‍රයක විශාල පිරිපහදු සංකීර්ණය කඩිණමින් මේ දිනවල ඉදිවෙමින් පවතින්නෙ 2020 වැඩ නිමා කරවන සැලැසුම් සහිතවය. රබෑව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයෙ සියළු ගම් බිම්හිද මැදවච්චිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයෙ සියළු ගම් බිම්ද මිහින්තලේ ප්‍රාදේශිය ලේකම් කොට්ට්ඨාශයෙ ඇතැම් ගම් බිම්ද ආවරණය කරමින් භූගත ජල නල එලිම් දිවා රාත්‍රී සිදුවෙමින් පවති.

මේ ව්‍යාපෘතිය වෙනුවෙන් ඇඳි සැලසුම් සිතියම්හි මන්නාරම දක්වාත් තව පසෙකින් වව්නියාව දක්වාත් සිතියම් ගත කර තිබීමද ඉතා කඩිනමින් ඉදිකිරීම් කටයුතු සිදුවෙමින් තිබීමද ,ජලය ලබා ගන්නෙ මහකණදරාව ජලාශයෙන් බව දන්නා බැවින්ද, 2020 ජල ව්‍යාපෘට්ජිය විවෘත කිරීමට නියමිත වුවවද මොරගකන්දෙ ජලය මහකණදරාවට ලැබෙනවානම් ලැබෙන්නෙ 2026නුත් පසුව බව දන්නා ගොවි සංවිධාන ඒ ගැන නිතර බලදාරීන්ගෙන් විස්තර විමසන්ට වීමේ ප්‍රතිඵලය ලෙස විමසීම් ආරම්බ කර මාස හයකට පමණ පසු අනුරාධපුර දිසාපති වරයා ගොවි සංවිධාන නියෝජිතයන්, රාජ්‍ය නිළදාරින්,වාරිමාර්ග හා ජල සම්පාන නිලදාරින් ද අදාල ව්‍යාපෘති නිළදාරින් හා රැස්වීමක් පසුගිය ජනවාරියේ 18 වනදා ලබා දී තිබුනි.

එහිදි අනාවරණය වූයෙ අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘති ය ජාතික ජල සම්පාදන හා ජලා ප්‍රවාහන මන්ඩලයත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවත් 2012 අත්සන් කරන ලද ගිවිසුමකට යටත්ව ක්‍රියාත්මක කෙරෙන බවය. එහෙත් එවන් ගිවිසුම ක් ගැන මෙම රැස්වීම වන තෙක්ම මහකණදරා ගොවි ව්‍යාපාරයෙ කිසිදු ගොවි සංවිධානයක් හෝ ගොවියෙක් තබා අඩුම තරමේ ප්‍රාදෙශිය ලේකම් වරුන්වත් නොදන්නා බවය. එවන් ගිවිසුමක් අත්සන් කල බවක් දන්නා නමුදු තමන්ද ඒ ගැන නොදන්නා බව අනුරාධපුර මහ දිසාපතිවරයාද ප්‍රකාශ කලෙන් මෙම ගිවිසුම කාගෙ අනුදැනුම මත සිදුවන්නක්දැයි ගොවිහු නගන ප්‍රශ්ණය යුක්ති සහගතය. මෙම අනුරාධපුර උතුරු ජලසම්පාදන ක්‍රියාවලිය ආරම්බ කරන්නෙ ප්‍රදේශයේ වකුගඩු රෝගයට පිළියමක් ලෙසයැයි ජල සම්පාන මණ්ඩලය කියා සිටි. එනයින් බැලූ කල මේ මහා සත්කාර ව්‍යාපෘති යකි. එය එසේනම් 2012 වර්ශයෙ වාරිමාර්ග දේපාර්තමේන්තුව හා ජලසම්පත් මණ්ඩලය එක්ව මහකණදරා ජලයගෙන ක්‍රියාත්මක කරන්නට නියමිතව අත්සන් කල ගිවිසුම මහකනදරා වියාපාර යෙ ගොවීන්ගෙන් සඟවා අත්සන් කලේ ඇයිදැයි ගොවිහු ප්‍රශ්ණකර සිටි.

එසේ ගොවි සංවිධාන දැනුවත් නොකර ගොවින්ගෙ වැවට සම්බන්ධ ගිවිසුමක් අත්සන් කිරීම වරදක් බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම් වන්නිනායක මහතාද පිළිගෙන තිබේ.එම රැස්වීම් දිනයෙ ප්‍රාදේශිය ලේකම් වරුන්ට ගිවිසුමෙ ඉංග්‍රීසි පිටපත් ලබාදී ඇති අතර ගොවි සංවිධාන වෙත එය තවමත් ලබා දී නැත.

ගොවින් පානීය ජල ව්‍යාපෘති යට විරුද්ද නැත. මිහින්තලයට රබෑව ට මැවච්චියට පිහිඹිය ගොල්ලෑව පැත්තට පරසන් ගස් වැව මිනිස්සුන්ට පානීය ජලය ලබා දෙනවාට මහකණදරා ව්‍යාපාරයෙ ගොවීන්ගෙ විරෝධයක් නැත. එය පවතින වකුගඩු රෝගය පාලනය කිරිමට ඉවහල්වේයැයි ඔව්හු ද පිළිගනි. ඔවුන්ගෙ විරෝධය කුමක් සඳහා දැයි බලදාරින් වටහා ගත යුතුව ඇත.දිවා රෑ නල එළමින් පිරිපහදුව සකසමින් 2020 නිම කෙරෙන පාණිය ජල යෝජනාක්‍රමයට වතුර ගන්නෙ පෝෂක වැවක් ඇලක් දිය සීරාවක් නැති අහස් වැස්සෙන්ම පමණක් පිරෙන හුදකලා මහ කණදරාවෙන්‍ ය. 2026ත් පසුවී ලැබෙනවායැයි කියන මොරගහ කන්ද ජලය පෙන්වා අමාරුවෙන් වසරකට කන්නයක් ගොතැන් කර ජීවිකාව සලසා ගන්නා ගොවීන්ට එම කණ්නය සඳහාත් මදිවන මහකණදරා ජලය අනුරාධපුර උතුරු පානීය ජල ව්‍යාපෘති යට පවරා පාළු කෙත් බිම් දෙස කුස ගින්නෙ බලා සිටින්නට වේදෝයි ඔව්හු බියවි සිටිති.

“මේවා ජපන් ණය ආධාර මේ මුදල්වලින් අප ව්‍යාපෘති ය කරනවා.2020 අගොස්තු පමණ වනවිට එහි කටයුතු නිමා කරනවා ,,යැයි ගොවීන් හමුවේ වියාපෘති ඉංජිනේරුවරයෙකු කියූ රැස්වීම් මොහොතේ “ මොරගහකන්ද ජලාශයේ ජලය ලැබීමෙන් පසුවද මේ ජල ව්‍යාපෘති ය ක්‍රියාත්මක වන්නේ ? යැයි ගොවීහු ප්‍රශ්ණ කර සිටියහ. එයට ඉන්ජිනේරුවරයා කියූවේ ඒගැන තමන් නොදන්නා බවය.

දින දින උස්ව නැගෙන ගොවි විරෝධය සමනය කරණු වස් ජල ව්‍යාපෘති නිළදාරිහු ගොවි සංවිධාන කැඳවා මහ කණදරාව යාය 2 ගැමිණු විද්‍යාලයෙ රැස්වීමක් තැබීය. එහිදි ප්‍රචාරක වීඩීයෝවක් පෙන්වු අතර එම වීඩියොව විනාඩි 10ක් පමණ වනතුරු වකුගඩු රෝගය ගැන විස්තර කරන්නක් විය. ගොවිහු තමන් පැමිණියෙ වකුගඩු සායනකට නොව අපේ වෑවේ ප්‍රශ්ණයටය.එබැවින් ඒ ගැන කියන්නැයි කීයෙන් වීඩියෝ පෙන්වීමද නැවතින.මොරගහකන්දෙ ජලය එන්නෙ 2026න් පසුවනම් 2020 පානීය ජල ව්‍යාපෘති යට තමන් එක හෙලා විරුද්ද බව පවසමින් එම රැස්වීම අතර මැද ගොවීහු විරෝධය පා නැගිට ගියේ ව්‍යාපෘති යේ වියදමින් රැස්වීමට පැමිණි අයට ලබා දුන් කිරි පැකැට්ටුවද විසිකරමින්‍ ය.

ගොවි සංවිධාන නියෝජිතයන් මේ පානීය ජල ව්‍යාපෘති යට කැමතිවන්නෙ මොරගහකන්ද ජලාශවතුර ලැබිමෙන් පසුව ක්‍රියාත්මකරන්නේනම් පමණක් බව කියූ අවස්තා රූගතකර මේ ව්‍යාපෘතියට කැමතියි යන කොටස් පමණක් එක්කර ප්‍රචාරක වීඩීයෝවක්ද හදා ඇතිබව ඔව්හු චෝදනා කර සිටී.

තමන්ට කාගේවත් වගා හානි ආධාර මත දීන ජීවිත ගත කිරීමට අවශ්‍ය නොවන බවත් තමන්ගෙ කුඹුරු වෙහෙසි වගාකරන්නට අවශ්‍ය ජලය සහිත වැව රැක ගැනීම පමණක් අවශ්‍ය බව ගොවිහු එක හඬින් කියා සිටී..මහ කණදරා ව්‍යාපාරයෙ ගොවිහු පත්ව ඇති අවසානාව්තම කරුණ නම් ගොවීන් විමසන කරුණු සඳහා නිවැරදිව වගකීම් සහිතව පිලිතුරු දෙන්නට වග කිව යුත්තෙක් නැති වීමය. ඔව්හු කුෂිකර්ම ඇමතිවරයා සහ ජනාධිපති වරයා මේ සම්බන්ධ යෙන් සෘජු ව මැදිහත්වේයැයි අපේක්ෂාවෙන් පසුවන්නෙ එබැවිනි.

අනුරාධපුර උතුරු ජල යෝජනාක්‍රමයෙන් වාරිමාර්ග දේපාර්තමේන්තු වට රුපියල් කෝටි 30ක් ලබාදි ඇලවෙලි සැකසීම සිදුකරන්නට ගිවිසුමේ ඇති බව ගොවින් අස් වසන්නට ව්‍යාපෘති නිළදාරීන් කීවද මින් ප්‍රතම ලෝක බැංකු ආධාර යටතේ ලැබී ඇති කෝටි 60ට අදාල ඇස්තමේන්තු හෝ තවම නිමකර නැති වාරිමාර්ග දෙපාර්තමේන්තුව මේ කෝටී තිහ 2020 වනවිට ඵලදායිලෙස යොදවනු තබා අඩුම තරමෙ ඇස්තමේන්තුවත් සකසනු ඇතැයි ගොවිහු විස්වාස නොකරති.

මහකණදරාව මිහිදු බෙදුම් ඇල ගොවිසංවිධානයේ සභාපති තිලකරත්න බණ්ඩාර මහතා ප්‍රකාෂ කර සිටියේ අනුරාධපුර උතුර ජලයෝජනා ක්‍රමය සඳහා ජල මූලාශ්‍ර සෙවිමේදි පදවිය වැව,වාහල්කඩ වැව,හුරුළු වැව නාච්චාදූව යන ස්තානයහි ගොවි සංවිධානයන්ගෙ විරෝදය නිසා එයින් ඉවත්ව ජාතික ජලසම්පාන හා ජලාප්‍රවාහන මන්ඩලය මහ කණදරාවේ ගොවියෝ උපක්‍රමශීලීව ඒ සඳහා විරෝධයක් ඒම වලක්වාලනු ලැබුයේ මොරගහකන්දෙන් වතුර ගෙනත් යලමහ දෙකම ගොවීන්ට වතුර ලබාදි අමතර වතුර පානීය ජලය ලෙස සකසා බෙදාහැරෙන බව කියමින් බවය. දිනකට ජලය ගණ මීටර් 6700ක් පලමු අදියරේත් දෙවන අධියරේදි ගණ මීටර් 14000ක් දිනකට වැවෙන් දෙන්නත් හොර රහසේ ගිවිසුම් අත්සන් කර ගොවින් රවටා වැවට මොරගහකන්ද ජලය ලබා ගන්ට ප්‍රතම ජලය ලබා දෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙන බැවින් ඒ ගැන ගොවි පුතෙකු වන ජනාධිපති වරයා ඉතා කඩිනමින් මේ ගැන අවධානය යොමු කිරීම කරණු ඇතැයි තමන් විශ්වාස කරණ බවත් හේ අප හා කීය.
මහකණදරා ව එකාබන්ද ගොවි සංවිධානයෙ සභාපති ආර්.එම් ආර් රාජපකෂ මහතා ඇතුළු සමස්ත ගොවි සංවිධාන නියෝජිතයො තමන් කරුණු සහිතව මේ සිදුවන ක්‍රියාවලිය සැක කරන බව කියා සිටී.

“ මොරගහකන්ද සිට මහ කණදරාව දක්වා ඇල මාර්ගය අධියර හයකින් සිද්ද වෙනවා කියනනෙ. පලමු අධියර කිලෝමීටර් 6ක් හදන වැඩේවත් තවම අරබම්යෙ පමණයි. කිලෝමීටර් 27ක් වන උමන් ජල මාර්ගයත් මුල් ගල් විතරයි 2026 වනවිටවත් මොරගහ කන්ද ජලය ලැබේයැයි හිතන්න අමාරුයි. ඒ එනවා කියන වතුරක් විශ්වාස කරලා තියෙන වතුරටික වෙනත් ව්‍යාපෘතියකට දෙන්නෙ කෝමද..? රාජපක්ෂ මහතා ප්‍රශ්ණ කර සිටී.

“මහකණදරාවේ ගොවි පවුලකට කුඹුරුඅක්කර තුනක් ආරම්බයෙ තිබුනද ඒ මුල් පදිංචිකරුවන්ට විතරයි.පස්සෙ ඒවා දරුවන්ට දරුවන්ගෙ දරුවන්ට බෙදුනා.ඇතැම් පවුලකට ඉඩම් අක්කර කාල භාගෙ තියෙන්නෙ.ඒකෙන් තමයි කෑමට වී ටිකක් ගන්නෙ..මෙ විදියට අපේ වැවේ වතුර ටික අපට අහිමි වෙනවානම් ඒ ගැන මහසෙන් රජ්ජුරුවෝවත් බලන්ට ඕනෑ,, මහකණදරාව වම් ඉවුර ගොවිසංවිධානයේ සභාපති පී.කුලසිරි මහතා අපහා අදහස් ප්‍රකාෂ කලෙ එසේය.

මේ පානීය ජල යෝජනාක්‍රමයෙ සිතියම අනුව වව්නියාවට මන්නාරමට උනත් වතුර දුන්නට අපට කමක් නෑ.හැබැයි වැහි වතුරෙන් පමණක් පෝෂණය වෙන මහ කණදරාවෙන් නොවේ. යම් දිනෙක මොර ගහ කන්ද ජල ව්‍යාපෘති යෙ ජලය ලබාදීමෙන් අනතුරුව එය සිදුවිය යුතුය. ඒ මහකණදරාව ඒකාබද්ධ ගොවි සංවිධානයෙ ලේකම් එම්.ප්‍රේමරත්න මහතා අදහසය.

මහකණදරා ගොවි ගැටළුව මේ මොහෙතෙ නිවැරදිව කොටස් කරගත හැකිය.
මොරගහ කන්ද ජලාසයෙන් ජලය මහකණරාවට එන්නෙ කවදාදා?
එම ජලය ලබාදීම 2026 තෙක්ම පසු වේනම් හුදකලා මහකනදරා ජලයගෙන මහකණදරා ව්‍යාපාරයෙ ගොවියෝ සාගින්නෙ තබන්නට උවමනාව කාටද..?

මහ කණදරාවට මොරගහ කන්ද ජලය එනතෙක් අනුරාධපුර උතුරු ජල ව්‍යාපෘති ය විවෘත නොකරන්නෙනම් ජපන් ණය ආධාර ගෙන කඩිනමින් ඉදිකර 2020 වැඩ නිමවා 2026 තෙක් ඔහේ වසා දමන රුපියල් බිලියන 12ක ජල ව්‍යාපෘති යක් ඉදිකරන්නෙ කුමකටද..?
සිය වගා බිම් පාලුවීමෙ අසරණවන ගොවියාට වග කියන්නෙ කවුද..?

අපෙ රටේ අවිදිමත් සංවර්ධන ව්‍යාපෘති අතරට මහකනදරාව මුල් කරගත් අනුරාධපුර උතුරු ජල ව්‍යාපෘතිය පත් වෙමින් මුදල් නාස්තියක් වීමට ප්‍රතම බලදාරින් මේ සඳහා ගොවියාගෙ පැත්තෙ සිට විසඳුම් දිය යුතු නොවේද..?
නොඑසේනම් ගම්මාන එකසිය විසි ගණනක ගොවි ජනයාට මහකනදරාව පැන සිය දිවි නසා ගන්ට සිදුවන දිනය ඈතක නොවනු ඇත.
මේ කුමන ව්‍යාපෘති යක්ද..? කන්ට බත නොදි බොන්ට වතුර දෙන්ට හදන ව්‍යාපෘති කුමකටදැයි ගොවියෝ අසන පැනයට පිලිතුරක් දිය හැකි වගකිව හැකි බලදාරියෙකු මහකණදරාවට දිවැස් හෙලන්නෙ කවදාද..

ජයන්ත සුබසිංහ

Related posts

LTTEය ප්‍රවර්ධනයට උත්සහ කල තරුණයෙක් අත්අඩංගුවට

colombotoday

නීතිවිරෝධීව යාත්‍රා කරමින් සිටි විදෙස් ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

Admin

හමුදාවන්ට උපකරණ ගන්න ඉන්දියාවෙන් ඩොලර් මිලියන 50ක්

colombotoday

රට සහ පක්ෂය ගැන සිතා කරු ජයසුරිය ගත් තීරණය එජාප නායකත්වයට දැනුම් දෙයි

colombotoday

මානසික රෝගියෙක් කියා අංගොඩ යැවූ, සිරිකොතේ අලියාට වෙඩිතැබූ රාලහාමිට ඇප !

colombotoday

සිනොවැක් එන්නත් කර්මාන්තශාලාව පල්ලේකැලේ ඇරඹීමට යෝජනා වෙයි

colombotoday