Colombo Today Local News

මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ ආත්මයන් දෙවියන් භාර ගනිත්වා – ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයෝ සතුට සමරති…

ශී‍්‍ර ලංකාවේ පුරවැසියන් මෙන්ම විදේශිකයන්ද ඇතුළත්ව 290 ක් පමණ දෙනා මරුට බිළි දෙමින් බෝම්බ වැලක් පුපුරා යාම සම්බන්ධයෙන් අයිසිස් ආධාරකරුවන් උදම් වන බව එංගලන්තයේ ඬේලි මේල් පුවත් පත වාර්තා කරයි. ‘අයිසිස්’ හෙවත් අයි.එස්.අයි.එස්. යනුවෙන් හැඳින්වෙන්නේ ඉරාක – සිරියා ඉස්ලාමීය රාජ්‍යය යන සංවිධානයයි.

අයිසිස් සංවිධානය ලෝකය පුරා ත‍්‍රස්තවාදී ප‍්‍රහාර මාලාවක් දියත් කළ අන්තර්ජාතික ත‍්‍රස්තවාදී සංවිධානයකි. පාස්කු ඉරිදා දිනය වූ 21 වැනිදා සිදුවූ බෝම්බ පිපිරීම් වැල හේතුවෙන් 290 ක් පමණ දෙනා මියගිය අතර 500 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.

අන්තවාදී කණ්ඩායම් සම්බන්ධයෙන් අන්තර්ජාලය හරහා සමීක්‍ෂණයක නිරත වන බුද්ධි අංශයක් විසින් හෙළිදරව් කරගනු ලැබ ඇත්තේ ශී‍්‍ර ලංකාවේ සිදුවූ ප‍්‍රහාරය සම්බන්ධයෙන් අයිසිස් ආධාරකරුවන් උද්දාමයට පත්ව සිටින බවයි. මාසයකට පමණ ඉහතදී ක‍්‍රයිස්ට්චර්ච් නුවර මුස්ලිම් පල්ලියකදී සිදුවූ වෙඩි තැබීමට පළි ගැනීමක් ලෙස ඔවුන් එය හඳුන්වන බවද වාර්තා වේ.

ශී‍්‍ර ලංකාවේදී සිදුවූ බෝම්බ ප‍්‍රහාර මාලාව සම්බන්ධයෙන් මේ දක්වා කිසිවකු වගකීම බාරගෙන නැත. එහෙත් පොලිස් ආරංචි මාර්ග වලින් කියැවෙන්නේ මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් විසින් කරනු ලබන ප‍්‍රහාරයක් සම්බන්ධයෙන් දින 10 කට පමණ පෙරදී අනතුරු අඟවා තිබුණ බවයි.

මුස්ලිම් සංවිධානයක් වන ජාතික තව්හීත් ජමාත් සංවිධානය වෙත පූර්ව සාක්ෂි එල්ල වන අතරම බුද්ධි අංශ ප‍්‍රධානීන් අවවාද කරන්නේ තව තවත් ප‍්‍රහාර එල්ල වීමේ අවදානමක් පවතින බවයි. ත‍්‍රස්තවාදී කි‍්‍රයා සම්බන්ධයෙන් අන්තර්ජාලය ඔස්සේ විමසිල්ලෙන් සිටින බුද්ධි අංශ කණ්ඩායමක අධ්‍යක්‍ෂවරිය වන රීටා කැට්ස් මහත්මිය පවසන්නේ අයිසිස් ආධාරකරුවන් ශී‍්‍ර ලංකාවේ බෝම්බ පිපිරීමෙන් වන හානිය වැඩිවන තරමට අන්තර්ජාලය ඔස්සේ අත්පොළසන් දුන් බවයි.

ශී‍්‍ර ලංකාවේ බෝම්බ පිපිරීම් ඉහළ යාමත් සමගම අයිසිස් මාධ්‍ය ජාලය ඉතා වේගයෙන් සිය උද්දාමය ප‍්‍රකාශ කළ අතරම ”අල්ලා දෙවියන් ඔවුන්ව පිළිගනිත්වා” යි මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට ආශිර්වාද කළ බවද ප‍්‍රකාශ කර තිබේ. රීටා කැට්ස් මහත්මියගේ අදහස වන්නේ ශී‍්‍ර ලංකාවේ ප‍්‍රහාර සම්බන්ධයෙන් වගකීම බාරගැනීමට අයිසිස් සංවිධානය සූදානම් වන බවකි.

”එවන් වගකීම බාරගැනීමක් නවසීලන්තයේදී සිදුවූ වෙඩි ප‍්‍රහාරයට පිළිතුරු දීමක් ලෙසින් හුවාදැක්විය හැකි නමුත් ශී‍්‍ර ලංකාවේ ප‍්‍රහාර මාලාව කලකට ඉහත සිටම සැලසුම් කරන ලද්දක් බව සිකුරුයි” යයිද රීටා කැට්ස් මහත්මිය කියයි.

නවසීලන්තයේ ක‍්‍රයිස්ට්චර්ච් නුවර මුස්ලිම් පල්ලියකදී කළ වෙඩි තැබීමක් හේතුවෙන් ඕස්ටේ‍්‍රලියානු ජාතිකයකු වන බ්‍රෙන්ටන් ටැරන්ට් මිනී මැරීමේ චෝදනා 50 කටද මිනී මැරීමට තැත් කිරීමේ චෝදනා 39 කට මුහුණ දී සිටී. මෙම වෙඩි ප‍්‍රහාරය සිදුවූයේ මාර්තු මස 15 වැනිදාය.

රොයිටර් පුවත් සේවයට අනුව ශී‍්‍ර ලංකාවේ වෙසෙන ඉහළම මුස්ලිම් පවුල් වල බොහෝ දෙනෙක් ඉතා ඉහළ අධ්‍යාපනයක් ලද අය වන අතරම අයිසිස් සංවිධානයේ සාමාජිකයෝ ද වෙති. ශී‍්‍ර ලංකාවේ මෙම ප‍්‍රහාරය දියත් වන්නේ අයිසිස් සංවිධානය ගෝලීය හමුදාමය කි‍්‍රයාමාර්ගයක් දියත් කිරීමෙන් සති කිහිපයකට පසුවය.

‘පළිගැනීමේ කඩාවැදීම’ යනුවෙන් හැඳින්වෙන මෙම හමුදාමය කි‍්‍රයාමාර්ගය අයිසිස් සංවිධානය විසින් ආරම්භ කරනු ලබන්නේ සිරියාවේ ඔවුන්ට තිබූ භූමිය අහිමි වීමට ප‍්‍රතිචාර දැක්වීමක් ලෙසිනි.

ශී‍්‍ර ලංකාවේ පොලිසිය මේ දක්වා 24 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය විසින් ඔවුන් හඳුන්වා දෙනු ලබන්නේ ‘ආගමික අන්තවාදීන්’ ලෙසිනි.

ඉස්ලාමීය අන්තවාදීන්ගේ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් සිදුවිය හැකි බවට වාර්තා වූ බුද්ධි තොරතුරු සහිත අනතුරු ඇ`ගවීමක් පොලිසියේ ඉහළ නිලධාරියකුගෙන් දින 10 කට පමණ ඉහතදී පොලිසියේ ඉහළම නිලධාරීන් වෙත නිකුත් කරන ලද බව මේ වන විට මහත් ප‍්‍රසිද්ධියට පත් කාරණාවක් වී තිබේ. එහි ඉතාම පැහැදිළිව සටහන් වී තිබුණේ ප‍්‍රධාන පෙළේ කතෝලික දේවස්ථාන ඉලක්කයක් විය හැකි බවයි. ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයද ඉලක්කයක් වන බව එහි සටහන් වී තිබිණ.

‘ජාතික තව්හීත් ජමාත්’ සංවිධානය ඉතා ශී‍්‍ර ලංකාවේ කුඩා සංවිධානයකි. විශාල ප‍්‍රමාණයේ ප‍්‍රහාර සම්බන්ධයෙන් ඔවුන්ගේ ඉතිහාසයේ කිසිවක් සටහන් වී නැත. එහෙත් පසුගිය වසරේදී බුදු පිළිම කිහිපයකට පහර දීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී තිබිණ.

කතෝලිකයන්ගේ ආගමික දින දර්ශනයේ වඩාත්ම ශුද්ධ වූ දිනය වන පාස්කු ඉරිදා සිදුවූ මෙම ප‍්‍රහාර හේතුවෙන් මියගිය පිරිස අතර බි‍්‍රතාන්‍ය ජාතිකයෝ 8 දෙනෙක්ද වූහ. ඩෙන්මාර්ක් ජාතික ධන කුවේරයකු වන ඇන්ඩර්ස් හොල්ච් පොව්ල්සන් මහතාගේ දරුවන් තිදෙනෙකුද ෂැංග‍්‍රිලා හෝටලයේ සිදුවූ ප‍්‍රහාරයෙන් මියගිය අතර අනෙක් දියනිය අතුරුදන්ව ඇතැයි ඬේලි මේල් පුවත් පත අද (22) වාර්තා කළේය.

මෙම ප‍්‍රහාරය හේතුවෙන් මේ වන විට ෂැංගි‍්‍රලා හෝටලය වසා දමා තිබේ.

වසර 10 කට පෙරදී වර්ගවාදී යුද්ධය අවසන් වීමෙන් පසුව ශී‍්‍ර ලංකාවේදී සිදුවූ දරුණුතම ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය මෙයයි.

– lankadeepa

Related posts

“ජනවාරි 8 මහින්ද දිනුවානම් රට අරාජිකයි.. අපි යහපාලනය ගෙනත් රට බේරාගත්තා” – ඇමති චම්පික

colombotoday

ගල්කිස්ස වෙරළ සෝදාපාළුවීම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැලසුම් කර ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතියකි- පාඨලි චම්පික

colombotoday

පාස්කු ප්‍රහාරය – පස්දෙනෙකු ගැන විමර්ශන අරඹන්නැයි පොලිස්පතිට උපදෙස්

colombotoday

කෝටි සීයක් (බිලියනයක්) දීලා මහින්ද මාව ගන්න හැදුවා – විජයකලා

colombotoday

මියන්මාර් හමුදාව රොහින්ග්‍යා අන්තවාදීන්ට එරෙහි ප්‍රහාර දැඩි කරයි.. 40000ක් බංග්ලාදේශයට පළායයි !

colombotoday

කැළණි විහාරයේ දායක සභාවෙන් දොට්ට දැමූ රනිල් වික්‍රමසිංහ විහාරාධිපති හිමියන්ට විරුද්ධව පරීක්ෂණයක් ඉල්ලයි

colombotoday