World

බ්‍රිතාන්‍යයේ මහ මැතිවරණය අද

බ්‍රිතාන්‍යයේ මහ මැතිවරණය අද (12 වැනිදා) පැවැත්වේ. ලියාපදිංචි ඡන්දදායකයන් ලක්ෂ 460ක් අතුරින් ලක්ෂ 330ක් පමණ අද ඡන්දය පාවිච්චි කරනු ඇතැයි ඩේලි ටෙලිග්‍රාෆ් පත්‍රය කියයි.

මහා මැතිවරණය බ්‍රිතාන්‍යයට ඉතාමත්ම තීරණාත්මක එකක් වන්නේ බ්‍රිතාන්‍යය යුරෝපා හවුලෙන් ඉවත් වනවාද නැද්ද යන්න තීරණය වන්නේ මෙම මැතිවරණයේ ප්‍රතිඵල අනුව නිසාය. 2016 ජුනි මාසයේදී පැවැති ජනමත විචාරණයේදී ඡන්දදායකයෝ 51%ක් බ්‍රිතාන්‍ය යුරෝපා හවුලෙන් ඉවත් විය යුතු යැයි තීරණය කළහ. ඒ නිසා අගමැති ඩේවිඩ් කැමරන් ඉල්ලා අස්විය. ඉන්පසු අගමැති වූ තෙරේසා මේ 2017 දී නැවත මැතිවරණයක් කැඳවූයේ යුරෝපා හවුලෙන් ඉවත් වීමට තමන්ගේ දෑත ශක්තිමත් කරමින් පර්ලිමේන්තු වැඩි ආසන සංඛ්‍යාවක් ලබා දෙන ලෙසය. නමුත් එම මැතිවරණයෙන් පසුව ඇයට පිහිටුවීමට හැකිවූයේ සුළුතර ආණ්ඩුවකි. බ්‍රිතාන්‍යය යුරෝපා හවුලෙන් ඉවත් කර ගැනීමට ඇය ඉදිරිපත් කළ යෝජනා එකින් එක විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේදී පරාජය කළේය. ඇය පසුගිය ජූලි මාසයේ හඬමින් අගමැති ධුරයෙන් ඉල්ලා අස්විය.

ඉන්පසු බ්‍රිතන්‍යයේ අගමැති පදවියට පත් බොරිස් ​ජොන්සන් පසුගිය නොවැම්බර් මාසයේ පාර්ලිමේන්තුව විසුරුවා නැවත මහමැතිවරණයක් කැඳවූයේ බ්‍රිතාන්‍යය යුරෝපා හවුලෙන් වාහම ඉවත් කර ගැනීමට විශාල ජන වරමක් ඉල්ලාය. උග්‍ර වාමාංශිකයකු වන විපක්ෂ නායක හා ලේබර් පක්ෂ නායක ජෙරමි කෝබන් කියා සිටින්නේ අද ඡන්දයෙන් තමන් අගමැති වුවහොත් බ්‍රිතාන්‍යය යුරෝපා හවුලෙන් ඉවත් විය යුතු දැයි විමසීමට තමන් ජනමත විචාරණයක් පවත්වන බවයි. මෙය 2016 දී යුරෝපා හවුලෙන් ඉවත් වීමට වැඩි ඡන්දයෙන් තීරණය කළ බ්‍රිතාන්‍ය ඡන්ද දායකයන්ට කරන බලවත් අපහාසයක් යැයි කියන බොරිස් ජොන්සන් තමන්ට යළිත් අගමැති පදවිය ලැබුණහොත් ජනවාරි 31 දාට පෙර යුරෝපා හවුලෙන් ඉවත්වන බවට ප්‍රතිඥා දෙයි.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ආසන ගණන 650කි. ප්‍රධාන පක්ෂ දෙක වන කොන්සර්වේටිව් හා ලේබර් ආසන 631කට මුහුණට මුහුණ ලා සටන් වදී. ජෝ ස්ටිවන්සන්ගේ නායකත්වය යටතේ බ්‍රිතාන්‍යයේ තුන්වැනි ප්‍රබල පක්ෂයක් වූ ලිබරල් පක්ෂය තරග කරන නමුත් ඔවුනට කලින් මැතිවරණයේදී මෙන්ම ආසන අතළො ස්සකට වඩා දිනාගත නොහැකි වනු ඇත. පසුගිය මැතිවරණයේදී ආසන 318ක් දිනා සුළුතර රජයක් පිහිටුවූ කොන්සර්වේටිව් පක්ෂය මෙවර ආසන 326කට වඩා දිනා තනි රජයක් පිහිටුවීමට උත්සාහ කරයි.

පසුගිය දෙසැ. 9 සඳුදා නිකුත් කෙරුණු ඡන්ද සමීක්ෂණ වාර්තා අනුව බොරිස් ජොන්සන්ගේ කන්සර්වේටිව් පිල ලේබර් පක්ෂයට වඩා ඉදිරියෙන් සිටින්නේ 4%කිනි. ඒ නිසා බ්‍රිතාන්‍යයේ සිටින සුළු ජාතිකයන් ලක්ෂ 40ක ඡන්දය අද මැතිවරණයේදී තීරණාත්මක වනු ඇත.

බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂයේ ඉහළ පෙළේ මන්ත්‍රීවරු හා ඇමැතිවරුන් අතීතයේ කරන ලද යුදෙව් විරෝධී ප්‍රකාශය නිසා යුදෙව් ජාතිකයන් ලක්ෂ ගණනින් ලේබර් පක්ෂයට විරුද්ධව ඡන්දය දීමට තීරණය කොට ඇත.

බ්‍රිතාන්‍යයේ දෙමළ ඩයස්පෝරාවේ සාමාජිකයෝ ලක්ෂ එක හමාරක් පමණ සිටිති. ඔවුන්ගේ ඡන්දය ලබා ගැනීමට ඇති කෑදරකම නිසා ලේබර් පක්ෂයේ උපනායක ජෝන් මැක්ඩොනල්‘‘ ශ්‍රී ලංකාවේ දරුණු දෙමළ සමූල ඝාතනයක් සිදු වුණා. ඒ නිසා අපි බලයට පැමිණියහොත් ඊළාම් රාජ්‍යයක් ගොඩ නැගීම සඳහා අපි දෙමළ ජනතාව සමග නැගී සිටිනවා ’’යැයි ප්‍රකාශ කළේය. ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් වන්නේ ශ්‍රී ලංකාව දෙකඩ කොට දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සුරකින බවයි.

කොන්සර්වේටිව් පක්ෂයේ මැතිවරණ ප්‍රකාශනයෙත් එවැනිම සඳහනක් දක්නට ඇති නමුත් එය වැරදි තැනට කොමාව යෙදීම නිසා සිදුවුණු ප්‍රමාද දෝෂයක් බවත් එක්සත් ශ්‍රී ලංකාවක් සඳහා කොන්සර්වේටිව් පක්ෂය හැමවිටම පෙනී සිටින බවත් එහි සභාපතිවරයා ප්‍රසිද්ධ පැහැදිලි කිරීමක් සඳුදා නිකුත් කළේය.

1983 සිටම කොටි සංවිධානය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පෙනී සිටි ලේබර් පක්ෂයේ නායක ජෙරම් කේබන් බ්‍රිතාන්‍යයේ 75 වැනි අගමැතිවරයා වීම වැළැක්වීම සඳහා 67000ක සිංහල හා මුස්ලිම් ශ්‍රී ලාංකිකයන් අද කොන්සර්වේටිව් පක්ෂයට ඡන්දය දීම සඳහා උදෑසනම ඡන්ද පොළට යනු ඇතැයි බ්‍රිතාන්‍යයේ සිංහල සංවිධානයේ සභාපති ඩග්ලස් වික්‍රමරත්න පවසයි.

ලේබර් පක්ෂයේ මන්ත්‍රීවරු හා සාමිවරු 150 පමණ දෙමළ ඩයස්පෝරාව වෙනුවෙන් පාර්ලිමේන්තුවේ කතා කරද්දී පසුගිය වසර 35 තුළ ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය වෙනුවෙන් කතා කළ එකම පුද්ගලයා නෙස්බි සාමිවරයාය.

පෙරේදා විශේෂ පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ ජෙරමි කෝබන් අගමැති වුවහොත් ශ්‍රී ලංකාවට ඉතා නරක කාලයක් උදාවෙන බවය. ඒ නිසා අද මැතිවරණයේදී කන්සර්වේටිව් පක්ෂයේ අපේක්ෂකයන්ට නොවරදවාම ඡන්දය දෙන ලෙස සියලුම බ්‍රිතාන්‍ය ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටී.

උදේ වැඩට යන ලක්ෂ 400කට අධික කම්කරුවන් කාර්යාල සේවකයන්, ව්‍යාපාරිකයන්, වෘත්තිකයන්ගේ පහසුව සඳහා බ්‍රිතාන්‍ය ඡන්දපොළවල් රාත්‍රි 10 වන තුරු විවෘතය.

හෙට සිකුරාදා අලුයම 3 පමණ වන විට ආසන 75%ක පමණ ප්‍රතිඵල නිකුත් වී තිබෙනු ඇත. ජයග්‍රහණය කරන්නේ අගමැති බොරිස් ජොන්සන්ද විපක්ෂ නායක ජෙරමි කෝබන්දැයි එවිට පැහැදිලි වනු ඇත. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව පරාජිත නායකයා රූපවාහිනිය ඉදිරියේ තම පරාජය පිළිගෙන ජයග්‍රාහකයාට සුබ පතයි. බොහෝ විට ජන මතයට ගරු කරමින් ඔහු තමන්ගේ පක්ෂ නායකත්වයෙන්ද ඉල්ලා අස් වෙයි.ඉන් අනතුරුව ජයග්‍රහණය පිළිගනිමින් තමන්ට ඡන්දය දුන් සැමටම ස්තුති කරන ජයගත් නායකයා තම පක්ෂ කාර්යාලයට ගොස් තම ආධාරකරුවන් සමග ජයග්‍රහණය සමරා ප්‍රීති වෙති.

ඔහු මහ රැජන ඉදිරියේ මහා බ්‍රිතාන්‍යයේ 75 වැනි අගමැතිවරයා වශයෙන් දිව්රුම් දී ජන ඝෝෂා මැද්දේ ඩවිනිං වීදියේ තම නිල නිවසට පැමිණ නව කැබිනට්ටුව පත් කරගෙන වැඩ ආරම්භ කරයි.

ගාල්ලේ දෙව්සිරි පී. හේවාවිදාන ලන්ඩන් නුවර සිට…

Related posts

පාකිස්ථානයේ දේශපාලන රැළියක බෝම්බ පිපිරීමකින් 39ක් මරුට..

Admin

කාලගුණය තමන්ට කැමති විදියට වෙනස් කරන චීනයට අසල්වැසි රටවලින් චෝදනා

colombotoday

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාරවලට විරෝධය දක්වමින් පකිස්ථානයේ සුළුතර හසාරා වැසියන් මරාදැමුනු තම ඥාතීන් භූමදාන කිරීම ප්‍රතික්ෂේප කරති

colombotoday

තවත් සංක්‍රමනිකයන් 22 ක් ග්‍රීක මුහුදට බිළි වෙයි

colombotoday

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 5%කින් ඉහළට

colombotoday

ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල පහළට

colombotoday