Colombo Today Local News

පාච රණවක පොලිස් විමර්ශන ගැන කියන පච 5ක් මෙන්න – නීතිඥ උදය ගම්මන්පිල

ඊයේ දින (2019.12.20) පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේදී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස්.  මෙම මාධ්‍ය හමුව සදහා පක්ෂයේ නියෝජ්‍ය ජාතික සංවිධායක යසපාල කෝරලගේ මහතා සහ හෝමාගම ආසන සංවිධායක ප්‍රියන්ත හේරත් යන මහත්වරුන්ද එක් විය.

පාච රණවක පොලිස් විමර්ශන ගැන කියන පච 5ක් මෙන්න

පචයට උපන් පාච රණවක මැතිතුමා තමන්ට එරෙහිව කරන පොලිස් විමර්ශන සම්බන්ධයෙන් රට ඉදිරියේ පච පහක් වපුරලා තිබෙනවා.  අපි එකින් එක අරගෙන බලමු.

පච අංක – 1 – අත්අඩංගුවට ගැනීමට පෙර කතානායකට දැනුම් දිය යුතුයි 

තමන් අත්අඩංගුවට ගැනීමට පැමිණි පොලිස් නිලධාරින් ඉදිරියේ කලහකාරිව හැසිරෙන පාච රණවක මන්ත්‍රිතුමා කතානායකට දැනුම් දී නොපැමිණි නිසා අත්අඩංගුවට ගැනීම නීති විරෝධියි යනුවෙන් මර හඬ තැලුවා.  ඒ වගේම නීතිය නොදන්නා එජාප මන්ත්‍රිවරු එය මන්ත්‍රි වරප්‍රසාද උල්ලංඝණය කිරීමක් ලෙස ද පැවසුවා. 1953 අංක 21 දරණ පාර්ලිමේන්තු (බලතල සහ වරප්‍රසාද) පනත අනුව මන්ත්‍රිවරයෙකු පාර්ලිමේන්තු යන විට පාර්ලිමේන්තුවේ සිටින හෝ  පාර්ලිමේන්තු ගොස් පැමිණෙන විට අත්අඩංගුවට ගැනීම පමණයි නීති විරෝධි වන්නේ. එහෙම නැතුව ගෙදර ඉන්න විට පාච රණවක මන්ත්‍රිවරයා අත්අඩංගුවට ගැනීම නීති විරෝධි වන්නේ නෑ. මන්ත්‍රි වරප්‍රසාද කඩ වීමක් සිදුවන්නේ නැහැ.

ඒ වගේම එතුමා කියනවා වරෙන්තුවක්වත් නැතුවයි මාව අත්අඩංගුවට ගන්න යන්නේ කියලා. එතුමන් නීතිය ගැන තමන්ගේ දන්නාකම ප්‍රදර්ශණය කරන්නට ගොස් නොදන්නා කමයි ප්‍රදර්ශණය කර තිබෙන්නේ.  මහේස්ත්‍රාත්වරයෙකුගේ වරෙන්තුවකට වඩා බලවත් නීතිපති උපදෙස. මහේස්ත්‍රාත්වරයා කියන්නේ අධිකරණ ක්‍රියාදාමයේ පහළම තනතුර. නීතිපතිවරයා ධූරාවලියේ සිටින්නේ අගවිනිසුරුවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් අතරයි.  අගවිනිසුරු ගාවට නීති ශ්‍රේස්ත්‍රයේ ඉන්න ඉහලම පුද්ගලයා තමයි නීතිපතිතුමන්. ඒ නිසා නීතිපතිතුමන්ගේ උපදෙස් අරගෙන එන පොලිස් නිලධාරීන් මහේස්ත්‍රාත්වරයෙකුගේ වරෙන්තුවකට වඩා බලවත් නීතිමය ආයුධයක් අතේ තබාගෙනයි එන්නේ. ඒ නිසා වරෙන්තුවක් අවශ්‍ය වන්නේ නෑ.

ඒ වගේම අත්අඩංගුවට ගැනීමට පෙර කතානායකවරයාට දැනුම් දෙන්න ඕනි කියලා නීතියක් නෑ. අප කතා කරන්නේ පනත උපුටා දක්වමින්.  මොන පනතේ මොන වගන්තියෙ ද තියෙන්නේ කතානායක වරයාට දැනුම් දිය යුතු බව. ඒක පොලිස්පතිවරයාගෙන් කතානායකවරයා කළ ඉල්ලීමට ගරු කරමින් කරන දැනුම් දීමක්.  මේ අවස්ථාවේ කථානායකතුමන් ලංකාවේ සිටියේ නැහැ. නියෝජ්‍ය කතානායකතුමාම කියන අයුරින් පව 6.57ට පොලිසියෙන් එතුමාව දැනුම්වත් කරනවා පාච රණවක මන්ත්‍රිතුමාව අත්අඩංගුවට ගන්න බවට.  ඊට පස්සේ අත්අඩංගුවට ගන්නේ. ඒ නිසා සම්ප්‍රදායවත් නීතියවත් කිසිම අයුරකින් කඩලා නෑ. ගෙදරට එන්නත් කලින් කතානායකතුමාට දැනුම් දීලා ඒක මන්ත්‍රිවරයා දැන ගත්තා නම් එතුමාගේ රියදුරා තුසිත කුමාර වගේ එතුමාත් හැංඟෙන්න ඉඩ තියෙනවා. මොකද මගේ අතිනුයි ඔය අනතුර සිදු වුණේ කියලා අධිකරණයට ඉදිරිපත් වුණු රියදුරු තුසිත කුමාර දැන් අතුරුදහන්. අධිකරණයට පොලීසියට බොරු කරපු පුද්ගලයෙක් ලෙස ඔහු සැගවී ඉන්නවා. කලින් කතානායකතුමන්ට දැනුම් දීලා වටලන්න ආවනම් තුසිත කුමාර වගේම  පාච රණවක ඇමතිතුමනුත් අතුරුදහන්ව සැගවී ඉන්න ඉඩ තිබ්බා. ඊට පස්සේ කියයි සුුදු වෑන් රථයකින් පැහැරගෙන ගොස් පාච රණවක මන්ත්‍රිතුමන්ව කිඹුලන්ට කන්ඩ දාලා දැන් හොයාගන්න විදිහක් නෑ කියලා. ඒ නිසා පොලිසිය මෙහිදී ඉතාමත්ම නීත්‍යානුකූලව සහ ඉතාම නිවැරදිව සිය රාජකාරිය ඉටු කර තිබෙනවා. 

පසුගිය වසර පහ තුළම අපේ මන්ත්‍රිවරුන් නිවසට ඇවිල්ලා  කාර්යාලයට ඇවිල්ලා අත්අඩංගුවට ගත්තා. එතුමන්ලාගේ ජනාධිපති අපේක්ෂකතුමන්ගේ ප්‍රධාන මාධ්‍ය ප්‍රකාශකයෙකු ලෙස කටයුතු කරපු තිස්ස අත්තනායක මහතා නිවසට ඇවිල්ල අත්අඩංගුවට ගත්තා. අපේ කවුරුවත් කලබල කළේ නැහැ. කරදර කරන්න ගියෙත් නැහැ.  අත්අඩංගුවට ගන්න දෙන්න බැහැ කියලා හඬා වැටුණේ නැහැ. පොලිස් ජීප් එකේ නැගලා ගිහිල්ලා නීතියට මුහුණදීලා තමන් නිදහස් වෙන්නට කටයුතු කළා. මෙතන තමන් කළේ කුමක් දැයි හරියටම දන්නේ එතුමන් නිසා එතුමන් පොලීසිය දැක්කම සැලෙන්නට ගත්තා. බියපත්ව මරහඬ නගන්නට ගත්තා. පොලිසියත් සමග එන්නේ නැතුව බුදු අම්මෝ මට බැරියෝ මාව අත්අඩංගුවට ගන්නවෝ ඇවිල්ලා මාව බේරගනියෝ  කියලා දන්න හඳුනන පාක්ෂිකයන්ට එජාපයේ මන්ත්‍රිවරුන්ට කතා කළා. එවැනි ක්‍රියාදාමයක් අපේ පැත්තේ කිසිදු මන්ත්‍රිවරයෙක් කලේ නැහැයි කියන එක අපේ පැත්ත ගැන ආඩම්බරයෙන් සිහිපත් කරන්න කැමැතියි.

පච අංක – 2 – අධිකරණය විසින් තීන්දුවක් දුන් නඩුවක් යළි විවෘත කරන්නේ දේශපාලන පලි ගැනීමකටයි 

සංදීප් යට කර පලා ගියේ පාඨලි මන්ත්‍රිතුමා බව ඔහුව ලුහු බැඳ අල්ලා ගන්නා ගයාෂාන් වෙනුර සහ මොහොමඩ් සුෆයිර් යන සංදීප්ගේ මිතුරන් දෙදෙනා හඳුනා ගන්නවා.  ඒ අය දිවුරුම් ප්‍රකාශ හරහා එය පොලීසියට අධිකරණයට දැනුම් දෙනවා. මේ වන විට තුසිත කුමාර නමැති පාඨලිගේ රියදුරෙකු තමන් වාහනය ධාවනය කළ බවට බොරුවට පෙනී සිටිමින් පොලිසියට භාර වෙලා අවසන්.  ඒ අනුව පාඨලි මන්ත්‍රිතුමන්ගේ දුරකතනයේ සංඥා කුළුණු වාර්තාවක් ලබා ගන්නවා. පාඨලි මන්ත්‍රිතුමන්ගේ මේ සංඥා කුළුණු සටහන රාජගිරියේ අනතුර සිදු වුණු ස්ථානය සහ වෙලාවට හරියටම ගැලපෙනවා. එතකොට පාඨලි කියන්නේ තමන්ගේ ජංගම දුරකතනය රියදුරු ගාව තිබුණා කියලා.  නමුත් රියදුරාගේ ජංගම දුරකතනයේ කුළුණු සංඥා සටහන අනුව ඔහු ගමන් කරමින් තිබුණේ වෙනත් පාරක. මන්ත්‍රිතුමාගේ දුරකතනය රියදුරා අතේ තිබුණා වගේම රියදුරාගේ දුරකතනයත් තව කාගේ හරි අතේ තිබුණා කියමුකො. එහෙම වෙන්න බෑ තමයි. ඒත් එහෙම වුණා කියමුකො. අනතුරට කලින් පාඨලිගේ දුරකතනයට එවකට අගමැති රනිල් මැතිතුමා කතා කරලා විනාඩි හතරක සාකච්ඡාවක ඉඳලා තිබෙනවා. විනාඩි හතර කියන්නේ දීර්ඝ කාලයක්.  එක්සත් ජාතීන්ගේ සමුළුව අමතන රාජ්‍ය නායකයෙකුට දෙන්නෙත් විනාඩි තුනයි. එතකොට එවකට අගමැතිතුමා දුරකතන සාකච්ඡාව පවත්වලා තිබෙන්නෙත් පාඨලි මන්ත්‍රිතුමාගේ රියදුරා සමග ද? ඒ නිසා මේක අතේ පත්තු වෙච්ච නඩුවක්. 

පොලිසියේ එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරක සිටිමින් පොලිස්පති තනතුරට ඉව ඇල්ලූ පූජිත ජයසුන්දරගේ පිහිට පාඨලි මන්ත්‍රිතුමා පතනවා. එවකට පාඨලී මන්ත්‍රිතුමා කියන්නේ පොලිස්පති තනතුරට පුද්ගලයන් පත් කරන විව්‍යවස්ථා දායක සභාවේ සාමාජිකයෙක්. පූජිත ජයසුන්දර කල්ල මරේ කියලා මේ ලැබුණු ස්වර්ණමය අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය අරගන්නවා. ඒ අනුව පාච රණවකට එරෙහිව කරන ප්‍රකාශ පොලිස් පොතේ ලියැවෙන්නේ නෑ.  පූජිතගේ බලපෑමෙන් මේ වැදගත් තොරතුරු අධිකරණයට ඉදිරිපත් වෙන්නේ නෑ. අධිකරණයට එවකට ඉදිරිපත් වන තොරතුරු මත පාඨලි නිදහස් කරනවා. එතුමා නිදොස්කොට නිදහස් කරනවා නොවෙයි නිදහස් කරනවා විතරයි. මොකද තොරතුරු ප්‍රමාණවත් වන්නේ නැහැ ඔහු වැරදිකරු කරන්න. 

සංදීප්ගේ මිතුරන් දෙදෙනා මරණ තර්ජන මත විදේශ ගත වෙනවා.  ඒ වගේම පාඨලි විසින් පැහැරගෙන ගොස් විදුලි සැර ඇල්ලූ සුකිත් රටින් පනිනවා. ආණ්ඩු පෙරලියෙන් පසු මේ සියළු දෙනා ලංකාවට ඇවිත් යුක්තිය ඉල්ලනවා.  පාඨලි වෙනුවට තුසිත කුමාරව ඉදිරිපත් කිරීමට බොරැල්ල පොලිසියට රැගෙන යන්නේ සුකි හෙවත් හර්ෂ තිලකසිරි. පාඨලි වෙනුවට තුසිත ඉදිරිපත් කිරීමේ කුමන්ත්‍රණය සිදු වුණු හැටි සුකි විසින් මුල සිට අගටම පොලිසියට කියනවා. ඒ වගේම පොලිසියේ තර්ජන නිසා හැකිලී සිටිය සන්දීප් ගේ දෙමාපියන් යුක්තිය ඉල්ලනවා.  දේශපාලන බලය යොදා යටපත් කළ තොරතුරු හෙලි වුණාම අධිකරණය අදාල නියෝග දෙනවා.

නිදොස් කර නිදහස් නොකර හුදු නිදහස් කිරීමක් පමණක් කළ අයෙකු සම්බන්ධයෙන් යළි විමර්ශන කිරීමට උසාවියටත් පොලිසියටත් බලය තිබෙනවා.  ඒ නිසා මේක දේශපාලන පලි ගැනීමක් නොවේ.

පච අංක – 3 – ආණ්ඩුවට තමන් දේශපාලන තර්ජනයක් නිසා පලි ගන්නවා

තමන් ආණ්ඩුවට තර්ජනයක් නිසා පලි ගන්නා බවට පාඨලි මන්ත්‍රිතුමා කියනවා.  නමුත් මැතිවරණ ජයග්‍රහණයෙන් පස්සේ පැවැති පළමු මාධ්‍ය හමුවේ දී අපේ ජයග්‍රහණයට ඉහලම දායකත්වය දැක්වූ පුද්ගලයන්ට මම පින් දුන්නා.  එහිදී පාඨලි මන්ත්‍රිතුමාටත් මම පින් දුන්නා. මොකද හොරකම් මැරකම් සල්ලාලකම් කරලා දිගින් දිගටම ජනතාව ඉදිරියේ පච කියලා පසුගිය ආණ්ඩුව පිරිහීමට ලක් කිරීමට වැඩිම දායකත්වයක් දුන් පුද්ගලයෙක් විදියටයි මම පාච රණවක මන්ත්‍රිතුමන්ට පින් දුන්නේ.  එතුමා අපිට ආශිර්වාදයක් . නමුත් රටේ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෑ.

පාඨලි අපට තර්ජනයක්ලු.  ඒක නම් ඉතින් විහිළුවක් තමයි. එතුමා එහෙම ජනප්‍රිය නායකයෙක් නොවෙයි මේ රටේ.  පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී පාඨලි මන්ත්‍රිතුමා එජාප මනාප ලැයිස්තුවේ 26වෙනියා.  ජාතික වශයෙන් 47 වෙනියා. එහෙම බලන විට එතුමාට වඩා ජනප්‍රිය හරින් ප්‍රනාන්දු, හර්ෂ ද සිල්වා සහ සුජීව සේනසිංහ මන්ත්‍රිතුමන්ලා අපට තර්ජනයක්. ඒ නිසා එතුමා අපිට තර්ජනයක් කියන එක 2019 වසරේ හොඳම විහිලුවට වුනත් ගන්න පුලුවන්.

පච අංක – 4 – බැඳුම්කරයට සහ පාස්කු ප්‍රහාරයට වඩා ඉක්මනින් තමන්ට නඩු පැවරුවා

පාඨලි මන්ත්‍රිතුමාගේ තවත් චෝදනාවක් තමයි බැඳුම්කර වංචාව සහ පාස්කු ප්‍රහාරය පිළිබඳ නඩු දාන්නේ නැතුව තමන් පස්සෙන්ම පන්නවා කියන එක.  බැඳුම්කර වංචාවේ දී නිලධාරින් සහ දේශපාලකයින් අතර පාලම ලෙස කටයුතු කලේ අර්ජුන් මහේන්ද්‍රන්. අර්ජුන් මහෙන්ද්‍රන්ව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන තුරු දේශපාලන සම්බන්ධය හෙලි කරන්න බෑ. ඔහු රටින් පනිනවා ඊට කලින් තහනම් නියෝගයක් උසාවියෙන් ගන්න කියලා මම තුන් වතාවක් කියලා තියෙනවා.  පාඨලි මන්ත්‍රිතුමන්ලා තමයි අපේ විරෝධය මැද අර්ජුන්ට රටින් පැන ගන්න අවස්ථාව දුන්නේ. අර්ජුන්ව ලංකාවට පිටුවහල් කරන්න කියලා සිංගප්පූරුවෙන් ඉල්ලීමක් කරලා තිබෙනවා. ඔහුව පිටුවහල් කරන තුරු ඉදිරි ක්‍රියාමාරග නතර වෙලා තිබෙන්නේ.

පාස්කු ප්‍රහාරය පිළිබඳ කලින් ආණ්ඩුව යටතේ සිදු වුණු විමර්ශන වලින් ඊට අනුග්‍රහය දැක්වූ දේශපාලන නායකත්වය හෙලි වුණේ නෑ. මියගිය ත්‍රස්තවාදීන් පමණයි වැරදිකරුවන් උනේ. ත්‍රස්තවාදය පෝෂණය කරපු අන්තවාදීන් තමයි ඒ කමිටුව ඉඳගෙන කවුද හොරා කියලා හෙව්වේ. ඒක හොරාගේ අම්මගෙන් පේන ඇසීමක් නොවෙයි හොරාගෙන් පේන ඇසීමක්. වර්තමානයේ ජනාධිපති කොමිසම ඉදිරියේ තමයි තොරතුරු හෙලි වෙමින් තිබෙන්නේ.  ඒ නිසා ඒ සිදුවීම් දෙකේම විමර්ශන පසුගිය ආණ්ඩුව කාලයේ නිසි ලෙස සිදු නොවුණු නිසා දැන් තමයි ඒවා සිදු වෙන්නේ. නමුත් පාඨලි සිදු කළ හදිසි අනතුරේ තත්වය වෙනස්. විමර්ශන සිදු කර තොරතුරු වලින් 90%ක් හෙලි කරගෙන අවසන්. දේශපාලන බලපෑම මත ඒවා අධිකරණයට ඉදිරිපත් නොවීමයි සිදු වුණේ. ඒ නිසා ඒ නඩුව ඉක්මනින්ම අවසන් කරන්න පුළුවන්.

පච අංක – 5 – විමර්ශණ අවධියේ දී ප්‍රසිද්ධියේ අදහස් දැක්වීමට බාධාවක් තිබෙනවා 

පසුගිය සඳුදා පාඨලි මන්ත්‍රිතුමා පැවැත්වූ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදින් දිගින් දිගටම ප්‍රශ්න අසන විට මේක අධිකරණය ඉදිරියේ තිබෙන කාරණයක් නිසා ප්‍රශ්න අහන්න බෑ.  මම තමුන් පිළිබඳ අධිකරණයට දැනුම් දෙනවා කියලා මාධ්‍යවේදියාට තර්ජනය කරලා ඔහුගේ කට වස්සනවා. නමුත් මාධ්‍ය බිය වැද්දීමට පාච රණවක මන්ත්‍රිතුමා පාවිච්චි කලේ තවත් පචයක්.  අධිකරණය ඉදිරියේ විනිශ්චිත කරුණක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ අදහස් දක්වන්න බෑ තමයි. නඩු තීන්දු වලට අනුව අධි චෝදනා ගොනු කළ දින පටන් නඩු තීන්දුව දෙන දිනය දක්වා ඒ පිළිබඳ ප්‍රසිද්ධියේ කතා කරන්න බෑ.  නමුත් තවම මේ අනතුර පිළිබඳ අධි චෝදනා ගොනු කර නෑ. තවම තිබෙන්නේ විමර්ශන අවදියේ. ඒ නිසා මේ පිළිබඳ ප්‍රසිද්ධියේ අදහස් දැක්වීමට කාටවත් බාධාවක් නෑ. එදා පාච රණවක මන්ත්‍රිතුමා සිදු කලේ මාධ්‍ය බිය වැද්දීමක්. මාධ්‍ය නිදහස බොරු නීති තර්ක හරහා යටපත් කරන්නට පාඨලී මන්ත්‍රිතුමා දරපු උත්සාහය අපි පිළිකුලෙන් හෙළා දකිනවා. 

ඔන්න ඔය තත්වය නිසා තමයි මම දවසක් කිව්වේ “පාඨලි හොඳ නැත.  හොඳ ලී පාට කරන්නේ නැත” කියලා. මමත් ඕක දැනගෙන හිටියේ නෑ. මටත් කිව්වේ මොරටුවේ වඩු බාස් කෙනෙක්.

පාච රණවක මන්ත්‍රිතුමනි, දැන් තිබෙන්නේ තමුන්නාන්සේලා 19 වන සංශෝධනය හරහා ස්වාධීන කළ අධිකරණයක්.  තමුන්නාන්සේලා පත් කළ නීතිපතිවරයෙක්. තමුන්නාන්සේලා පත් කළ පොලිස්පතිවරයෙක්. දැන් තිබෙන්නේ දේශපාලන පලි ගැනීම් ගැන දේශපාලන පක්ෂග්‍රාහිත්ව ගැන නාහෙන් අඬන්නේ නැතුව පාක්ෂිකයෝ ලවා පොලිසියට බාධා කරන්නේ නැතුව තමන්ගේ නිදහසට කරුණු අධිකරණයට ඉදිරිපත් කරලා නිදහස් වෙන එකයි තිබෙන්නේ.

Related posts

අලුතින් පත්වන ඇමතිවරුන්ට වැටුප නෑ.

colombotoday

සරත් විජේසූරිය මාදුලුවාවේ සෝභිත හිමිට ශාප කරයි. – ප්‍රසිද්ධි විවාදයකට කොවිවියේ  සරත් විජේසූරියට අභියෝගයක්

colombotoday

ෆොන්සේකාගේ නෝනට කඩේ යන්න වාහන දුන්නෙත් ඇවන්ගාඩ් ?

colombotoday

ග්ලයිපොසෙට් තහනම් ඉවත් කරන්නේ කාගෙ උවමනාවටද? මහාචාර්ය චන්න ජයසුමන හෙළි කරයි

colombotoday

Breaking : ඊයේ පැනවූ ඇඳිරිනීතිය ඉවත් කරයි.

colombotoday

දොඩම්පහල ප්‍රදේශයේ අනතිරකින් 08 හැවිරිදි දරුවෙකු දිවි හැර යයි

Admin