Colombo Today Local News

දේශපාලන පන්දමෙන් සෞදි ගිය ‘කුකුළ් කොටු හිමිකරු’ වෙනුවට ‘තානාපතිවරයෙක්’ සෞදියට ඕනෑකර තිබේ

 සෞදිඅරාබියේ ගෘහසේවයේ නියුතුව සිටියදී අනියම් ඇසුරක් පැවැත්වීමේ වරදට ගල් ගසා මැරීමට නියමව ඇති ශ්‍රී ලාංකික කාන්තාව එරට ශරීයා නීතිය අනුව එසේ මරා දැමීම තමන් අනුමත කරන බව සෞදියේ ශ්‍රී ලංකා තානාපති අස්මි තාසීම් විසින් ප්‍රකාශ කර ඇත.

‘අරාබි නිව්ස්’ පුවත් සේවයට අදහස් දකවමින් ඔහු වැඩි දුරටත් පවසා ඇත්තේ සෞදි අරාබිය තුළ පවත්නා නීතිය කිසිවෙකුට වෙනස් කළ නොහැකි බවත් එම නීතියට අනුගත නොවිය හැකිනම් එහි නොපැමිණිය යුතු බවයි. ලංකාව අරාබියේ නීතියට ගරු කළ යුතු බවත් ඊට බලපෑම් නොකල යුතු බවත් අවධාරණය කර ඇති ඔහු මෙරට මාධ්‍ය විසින් එම දඩුවම විවේචනය කිරීම තමන් හෙළා දකින් බවත්, මෙම සිද්ධිය නිසා දෙරට අතර මතභේදාත්මක තත්ත්වයක් ඇතිවිය හැකි බවත් පවසා ඇත.

අපට නැගෙන පළමු ප්‍රශ්නය නම් මොහු රටක් නියෝජනය කරන තානාපතිවරයෙක්ද නැතිනම් ආරාබි ස්වාමීන්ගේ දෙපතුල් ලෙව කන කීකරු වහලෙකුද යන්නයි. ඔහු සේවය කරන්නේ තමන්ගේ මව් රටටද නැතින්ම් සෞදි අරාබියටද? කිසිම රටක තානාපතිවරයෙකු තමන්ගේ රටේ පුරවැසියෙකු සම්බන්ධයෙන් වෙනත් රටකදී මෙවැනි නිවට නියාලු ප්‍රකාශ කරනවා අප අසා නැත. සෞදි රටේ මිලේච්ඡ ගෝත්‍රික අමන වනචාරී නීතිය එසේම තිබියේවා, එය අපට කම් නැත. අදාල කාන්තාව වරදක් කර ඇතිනම් එම රටේ නීතිය අනුව දඩුවම් නියම කර තිබෙනවා විය හැකිය. නමු රටක් නියෝජනය කරන තානාපතිවරයෙකුගේ වගකීම වන්නේ අදාල රටේ නීතිය ඉදිරියේ තමන් නියෝජනය කරන රටේ ගරුත්වය හෑල්ලු කිරීම නොවේ. කොන්දෙසි රහිතව ඔහු තම රටේ පුරවැසියන් වෙනුවෙන් පෙනී සිටිය යුතුය. ඒ සදහා රාජ්‍යතාන්ත්‍රිකව මැදිහත් විය යුතුය. එසේ තමන්ගේ රට නියෝජනය කළ නොහැකිනම් ඔවුන් තානාපති නිලධාරීන් නොව දේශපාලන පන්දමට රට පැනගත් තානාපති සේවය ගැන අකුරක් නොදන්නා, පිට රටට වී රටේ ජනතාවගේ බදු මුදලින් බඩ කට පුරවාගන්නා නිකමුන්ය. එවැන්නන් ගැන සජීවි අත්දැකීම් පසුගිය කාලයේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඇත.

අදාල කාන්තාව අත්අඩංගුවට පත්වී සති දෙකක් යනතුරු සෞදි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් කිසිවෙක් හෝ අයගැන සොයා බලන්නට කටයුතු කර නොමැතිබවද සෞදියෙන් ඇසෙන ආරාංචි මාර්ග පවසයි. මරණ දඩුවම පනවා ඇත්තේ ඇය විසින් කරන ලද පාපොච්චාරණයක් මත බවද කියවෙයි. එසේ නොමැති වුවත් පුරුෂයන් හතර දෙනෙකුගේ ඇසින් දුටු සාක්ෂි ඇතිනම් කාන්තාවක් වරදකරුවෙකු කිරීම සෞදි නීතියට එතරම් අපහසු වැඩක් නොවේ. පොලීසියේදී එල්ලවූ පීඩනය නිසා ඇය මෙම පාපොච්චාරණය කර ඇති බව ද සෞදියේ ආරංචි මාර්ග පවසයි. කාන්තාවට පා දූවිල්ලක් තරම්වත් අයිතිවාසිකමක් නොලැබෙන සෞදිය වැනි රටක කාන්තාවකට එරෙහිව විභාගවන නඩු කටයුත්තකින් පවා සාධාරණයක් බලාපොරොත්තු වීම විහිළුවකි. එවැනි තත්වයක් මත තම ශ්‍රී ලාංකික පුරවැසියා වෙනුවෙන් පෙනී නොසිට සෞදි නීතිය වෙනුවෙන් පෙනී සිටින්නටනම් රටේ මුදලින් තානාපතියන් සෞදියට යැවීමට අවශ්‍ය නැත.

ශ්‍රී ලංකාව නොව සෞදි අරාබියේ ශරීයා නීතිය වෙනුවෙන් පෙනී සිටින මේ අපූරු තානාපති තැන පිළිබදව සොයා බැලීමේදී ඔහු අමාත්‍ය කබීර් හෂීම්ගේ සමීප ඥාතියෙකු බවත් මීට කලකට පෙර හම්බන්තොට ප්‍රදේශයේ ‘කුකුල් කොටු’ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය අයෙකි. කුකුල් කොටුවට අමතර හම්බන්තොට ප්‍රදේශයේ කුකුල් කෑම බෙදා හැරීමේ ව්‍යාපාරයක්ද මොහු විසින් පවත්වාගෙන ගොස් ඇත. ඒවන විට ගොඩනගාගෙන තිබූ දේශපාලන සම්බන්ධතා මත වාණිජ මණ්ඩලයට සම්බන්ධ වී 1993 දී “හම්බන්තොට වාණිජ මණ්ඩලයේ ආරම්භක සභාපතිවරයා වශයෙන් කටයුතු කර ඇත. මොහු යටතේ හම්බන්තොට ප්‍රදේශයේ කර්මාන්ත සංවර්ධනය සදහා නෝර්වේ සහ ජර්මානු ආධාර යටතේ ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක වී ඇති අතර එහිදී ජාතිවාදී පදනමෙන් එක්තරා පිරිසකට වැඩි සැළකිලි දැක්වූ බවටද චෝදනාවක්ද ඇත. එජාප නායකයාගේ දකුණු පළාතේ සමීප සගයෙකු වූ මොහු යහපාලනය ගොඩ නැගීම සදහා ඇප කැපවී දර දිය ඇදීම එකම සුදුසුකම නිසාම තානාපති තුඩු පඩුරක් ලැබ සෞදි අරාබියාවට සේන්දු වන්නේ මීට මසකට පමණ පෙරය.

ඥාති හිතමිතුරු සංග්‍රහ වලින් අඩුවක් නැතිවූ පසුගිය රාජපක්ෂ යුගයේ ශ්‍රී ලංකා විදේශ සේවය වල පල්ලටම වැටුණු බව රහසක් නොවේ. තානාපති සේවය පිළිබදව මළපොතේ අකුරක් නොදන්නා ගජ මිතුරන් රටේ බදු ගෙවන ජනතාවගේ මුදලින් කා බී ප්‍රීති වී සුඛවිහරණය කරමින් ඒ ඒ රටවලට වී ජෝගි නැටුවා මිසක බහුතරයක් දෙනා රට වෙනුවෙන් පෙනී සිටියේ නැත. ඒ පිළිබදව යුරෝපයේ ඇතැම් රටවල සහ බහුතරයක් මැදපෙරදිග රටවල ශ්‍රී ලාංකිකයෝ හොදින්ම දනිති. රාජපක්ෂ පාලනය පලවාහැර මේ රටේ සැළකිය යුතු ජනතාවක් යහපලනයක සුබ සිහින දැක්කේ එසමයේ සිදුවූ බොහෝ අකටයුතුකම් යහපාලනය තුළත් දැකීමේ බලාපොරොත්තුවෙන් නොවේ. අදෝමැයි, යහපාලනය පැතූ ජනතාවට සහ ඒ වෙනුවෙන් පෙනී සිටි ඈයින්ට වස විසා කා මුහුදේ පනින්නට වෙන තැනට වැඩ සිද්ධ කරමින් යහපාලන නාමධාරී වත්මන් පාලනයද සිදු කරමින් පවතින්නේ පෙර පාලනයේ පැවති අවකල් ක්‍රියාවන්මය.

සෞදි අරාබිය ඇතුළු මැදපෙරදිග රටවල තානාපති අංශ නිලධාරීන් සේවය කරන්නේ ශ්‍රී ලංකාවට නොව එකී මැගපෙරදිග රටවලටය. රටේ බදු මුදලින් විශාල වැටුප් ලබමින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ මුදල් යටිමඩි ගසමින් අධි සුඛෝපභෝගී සැප පහසුකම් විදිමින් එම රටවලට වී සිටිනවා විනා අරාබියේ වහල් මෙහෙය සදහා යන රටේ පුරවැසියන් වෙනුවෙන් පෙනී නොසිටින බව ප්‍රසිද්ධ කරුණකි. ආගමික බැදියාවන් මත අරාබියට වහල්කම් කරන, රට ඉදි ඇටයට, රියාලට යටවූ රටේ පුරවැසියන් පිළිබදව, රට පිළිබදව වගවීමක් නැති දේශපාලන පන්දම්කාර නිකමුන් තානාපති සේවයට පත්වීමේ කරුමය ගෙවා දමන්නට තව කොපමණ කාලයක් බලා සිටීමට විදේශගතවන ශ්‍රී ලාංකිකයන්ට සිදුවනු ඇතිද?

පණ්ඩුක රුවන්පතිරණ – ගාල්ල

Related posts

අක්කරෙයිපත්තුව කර්මාන්තශාලාවක ගින්නක්

colombotoday

විදුලි බල මණ්ඩලයට වාරණ නියෝගයක්

colombotoday

ඩීසල් ලීටර් 1000ක් සමග දෙකක් අල්ලයි

colombotoday

මවක් 14 හැවිරිදි දිය­ණි­යට වඳ සැත්ක­මක් කර තරු­ණ­යකු සමඟ නිවෙසේ ජීවත් වෙන්න ඉඩදීලා

colombotoday

‘ශ‍්‍රී ලංකා රජයේ අග‍්‍රාමාත්‍ය සජිත් පේ‍්‍රමදාස’ යැයි ආරාධනා පත‍්‍ බෙදයි

colombotoday

ඥානසාර හිමි විනාශ කිරීමේ “සිවූරෙන් බෙල්ල කැපිල්ල” කුමන්ත්‍රණය එලියට

colombotoday