World

ට්‍රම්ප් නැවතත් ලෝක සෞඛ්‍ය සංවිධානය අමතයි

දින30ක් ඇතුළත් ප්‍රගතියක් පෙන්නුම් නොකළහොත් ලෝක සෞඛ්‍ය සංවිධානයට අරමුදල් සැපයීම සම්පූර්ණයෙන්ම නවතා දමන බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේදී ප්‍රකාශ කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානය, චීනයේ ‘‘රූකඩයක්’’ වී ඇති බවත් කිසිදු ප්‍රගතියක් පෙන්නුම් නොකළහොත් ඇමෙරිකා එක්සත් ජනපදය, ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකත්වයෙන් ඉවත් කරගන්නා බවත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එහිදි කීවේය.
නව කොරෝනා වයිරසයේ දෛනික තතු දැනුම් දීම සඳහා ධවල මන්දිරයේ පැවැත්වෙන දෛනික මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා ඊයේ (18) දින ඒ බව ප්‍රකාශ කළේය.

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වූ බවට සැලකෙන නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ඇමෙරිකාවට සහ ලෝකයට ප්‍රමාණවත් තොරතුරු දුන්නේ නැතැයි ජනාධිපතිවරයා දිගින් දිගටම චෝදනා කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ පැත්ත ගනිමින් ලෝකයට බොරු කීවේ යැයි ද හෙතෙම කීය. ඒ අනුව එම චෝදනා එල්ල කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයට ඇමෙරිකාවෙන් දෙන මුදල් තාවකාලිකව අත්හිටුවීමට ඇමෙරිකානු ජනාධිපතිවරයා පසුගිය මාසයේදී පියවර ගත්තේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරීහු ඇමෙරිකාවෙන් එල්ල වන මෙම චෝදනා අවස්ථා ගණනාවකදීම ප්‍රතික්ෂේප කළහ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ චීනයේ අසත්‍ය ලොවවටා ප්‍රචලිත කරන බවට ද ඇමෙරිකානු ජනාධිපතිවරයා චෝදනා කළේය.

කෙසේ නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම චීනය ද ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම චෝදනා ප්‍රතික්ෂේප කරයි. පළමු වරට විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්ෂික ලෝක සෞඛ්‍ය සමුළුව ඇමතූ චීන ජනාධිපතිවරයා ‘කොවිඩ්-19’ වසංගතය සම්බන්ධයෙන් චීනය විනිවිදභාවයෙන් සහ විවෘතව කටයුතු කළේ යැයි ඊයේ (18) දින පැවැසීය.

‘‘ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරි දින 30 ඇතුළත ප්‍රධාන වෙනස්කම් රැසක් කළ යුතුයි. සැලකිය යුතු ප්‍රගතියක් පෙන්නුම් කළේ නැත්නම් ලෝක සෞඛ්‍ය සංවිධානයට මුදල් දීම සම්පූර්ණයෙන්ම නවතා දමනවා. අපේ සාමාජිකත්වය ගැනද නැවත සලකා බලනවා’’ යැයි ඇමෙරිකානු ජනාධිපතිවරයා කීවේය.

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම කරුණු දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්‍රෝස් අදනොම් ට ලිපියක් ද යවා ඇත. ඇමෙරිකානු ජනාධිපතිවරයා එම ලිපිය ට්විටර් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ප්‍රසිද්ධියට ද පත් කර තිබිණි.

ලෝක සෞඛ්‍ය සංවිධානය වෛරසය සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය ‘‘ඉතා කනගාටුදායක’’ යැයි ඇමෙරිකානු ජනාධිපතිවරයා මීට පෙර ප්‍රකාශ කළ අතර ඊට මුදල් ලබාදීම සම්බන්ධයෙන් ඉක්මනින් තීරණයක් ගන්නා බව මීට පෙර පැවැසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානය , චීනයේ අතකොළුවක් නොවන බවත් ඉන් යැපෙන්නේ නැති බවත් සනාථ කළහොත් ඉදිරි ගමනක් තිබෙන බව ද එම සංවිධානය ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් සිය පරිපාලනය දැනටමත් වෛද්‍ය ටෙඩ්‍රෝස් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බවත් ඇමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේය.

නව කොරෝනා වෛරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයට ලොව රටවල් ප්‍රතිචාර දැක්වූ ආකාරය සම්බන්ධයෙන් ස්වාධීන විමසුමක් කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ (18) දින ප්‍රකාශ කළේය.

ලෝක සෞඛ්‍ය සමුළුව ඇමතූ චීන ජනාධිපති ෂී ජින්පින්ග් කොවිඩ්-19 ගෝලීය වසංගතයට එරෙහිව ගන්නා ගෝලීය ක්‍රියාමාර්ගවලට සහාය දීමක් වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට ඇමෙරිකානු ඩොලර් බිලියන 2ක් දෙන බව සඳහන් කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලස්ථානය පිහිටා ඇත්තේ ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවරය. එය එක්සත් ජාතීන්ගේ විශේෂිත සහ විශේෂඥ දැනුම ඇති සංවිධානයකි. ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයට එරෙහිව එන්නතක් සංවර්ධනය කිරීම, පරීක්ෂණ කිරීම්, ඖෂධ අත්හදා බැලීම් සහ නිෂ්පාදනය, රෝගීන් හඳුනාගැනීමේ කටයුතු සහ ප්‍රතිකාර කිරීම් යන ගෝලීය ක්‍රියාමාර්ගවලට නායකත්වය දෙන්නේ ද ලෝක සෞඛ්‍ය සංවිධානය යි.

ඇමෙරිකා එක්සත් ජනපදය 2019 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානයට ඇමෙරිකානු ඩොලර් මිලියන 400 ක් ප්‍රදානය කර ඇති අතර එය එම සංවිධානයෙන් අයවැයෙන් සියයට 15කට ආසන්න වේ.

මේ වසරේ මේ දක්වා කාලයේදී ඇමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයට ඇමෙරිකානු ඩොලර් මිලියන 58ක් ලබා දී ඇත.

පෝලීය තුරන් කිරීම, එන්නත්වලින් පාලනය කළ හැකි රෝග, එච්.අයි.වී, සෙංගමාලය, ක්ෂය රෝගය, මාතෘ, ළමා, අලුත් උපන් බිලිඳුන් සහ නව යොවුන් සෞඛ්‍ය යනාදිය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ක්‍රියාත්මක කරන වැඩසහන්වලට ඇමෙරිකාව සම්ප්‍රදායිකව ස්වේඡාවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනින් අරමුදල් ලබා දේ. ස්වේව්ඡාවෙන් එලෙස මුදල් ලබාදෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයට නිල වශයෙන් කරන මූල්‍ය ප්‍රදානවලට අමතරව ය.

එබැවින් ඇමෙරිකා මේ වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානයට ස්වේච්ඡාවෙන් මුදල කොපමණක් ද යන්න පැහැදිලි නැත.

Related posts

නයිජර් හි පාලනය හමුදාව සියතට ගනී

Admin

පැරීසියට නැවතත් ඉස්ලාම් ත්‍රස්ත බිය… ආරක්ෂාව පතා නගර වැසියන් පල්ලියකට ගාල් කරයි

colombotoday

ඉන්දියාවේ පුද්ගලයන් 140 කට හදුනානොගත් රෝගයක්.

colombotoday

“මගේ සල්ලි ජිහාඩ්වාදීන්ට දෙන්නේ නෑ” – මුස්ලිම් Taxi සේවාවක් වර්ජනය කිරීම ආන්දෝලනයට ලක් වේ

colombotoday

රාජ්‍ය රහස් පිට කළැයි ඉම්රාන්ට අධි චෝදනා ගොනු කෙරේ…

Admin

‘ඇමෙරිකානු ජනපති කවුරු වුවත් ඉරානයේ ප්‍රතිපත්තිවල වෙනසක් නැහැ’

colombotoday