Colombo Today Local News

ජිනීවා-ඇමරිකානු යෝජනාවට ලංකාව දැක්වූ සම අනුග්‍රහයෙන් ඉවත්වීමේ සූදානමක්…

ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ ශ්‍රී ලංකාවේ සම දායකත්වය ඇතිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට 2015 වසරේදී ඉදිරිපත් කළ යෝජනාවට අනුග්‍රහය දැක්වීමෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා රජය අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව ඒකාබද්ධව මානව හිමිකම් කවුන්සිලයට එම යෝජනාව ඉදිරිපත් කරන ලදි. 

එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජයට පත් කිරීමේ  යුද්ධයේ අවසාන සමයේදී සිදු වූ බව කියන මානව හිමිකම් කඩවීම් සහ වගවීම් සම්බන්ධයෙන් වන කරුණු එම යෝජනාවේ අඩංගු වේ. එම යෝජනාවට අනුව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සහභාගීත්වය ද සහිතව යුද අපරාධ විනිශ්චය සභාවක් ස්ථාපිත කළ යුතු යැයි ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ප්‍රකාශ කර තිබිණි. 

මේ පිළිබඳව ‘සන්ඩේ ටයිම්ස්‘ පුවත්පත කළ විමසුමකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ එම යෝජනාවට අනුග්‍රහය දැක්වීමෙන් ශ්‍රී ලංකාව ඉවත් කරවා ගැනීමට තමා බලාපොරොත්තු වන බවයි. 

අපේ හමුදාව යුද අපරාධ නොකළ අතර දරුණුතම අපරාධ කර ඇත්තේ එල්.ටී.ටී.ඊ සංවිධානය යැයි ද ජීනිවාහිදී සිය ස්ථාවරය පැහැදිලිව ප්‍රකාශ කරන බව ද ජනාධිපතිවරයා කීය. 

මේ අතර ජනාධිපතිවරයාගේ උපදෙස් මත එම යෝජනාවට අනුග්‍රහය දැක්වීමෙන් ඉවත් වුවහොත් ඇතිවිය හැකි වාසි සහ අවාසි සම්බන්ධයෙනුත් විදේශ කටයුතු අමාත්‍යාංශය අධ්‍යයනය කරමින් සිටින බව ද වාර්තා වේ. එවකට විදේශ කටයුතු අමාත්‍යවරයාව සිටි මංගල සමරවීර මහතා 2015 විසින් වසරේ සැප්තැම්බර් 20 වැනි දින මානව හිමිකම් කවුන්සිලයට එම යෝජනාව ඉදිරිපත් කරන ලදි. 

එම යෝජනාවට අනුග්‍රහය දැක්වීමෙන් ඉවත් වුවහොත් එය ශ්‍රී ලංකාව 2015 වසරේ සිට දැරූ නිල ස්ථාවරයේ සිදුවන සැලකිය යුතු වෙනසක් බව ද පැවසේ.  ජීනිවා නුවරදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරය ආරම්භ වී තිබෙන මොහොතක ශ්‍රී ලංකා රජය මෙම යෝජනාවට අනුග්‍රහය දැක්වීමෙන් ඉවත් වීම සම්බන්ධයෙන් සලකා බලමින් සිටී. 

එම යෝජනාව නිසා ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකා රජය කෙරෙහි විශ්වාසය තැබීය. එහෙත් ජනාධිපතිවරයාගේ අවසරය ඇතිව ශ්‍රී ලංකාව එම යෝජනාවට අනුග්‍රහය දැක්වීමෙන් ඉවත් වුවහොත් නව රාජ්‍ය තාන්ත්‍රික ගැටළු රැසක් ඇතිවිය හැකි අතර එය ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට දුන් පොරොන්දු ප්‍රතික්ෂේප කිරීමක් ද වේ. ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ නොකළ බවට වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ස්ථාවරය නිසා එවැනි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වනු ඇත. 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරය පෙබරවාරි 22 සිට මාර්තු 25 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. 

සන්ඩේ ටයිම්ස් ඇසුරිනි 

Related posts

ලංකා ගමනා ගමනයට අයත් බස් රථ සාමාන්‍ය පරිදි ධාවනයට

colombotoday

උපෙළ වෘත්තීය විෂය හදාරන සිසුන්ට රු 500ක දෛනික දීමනාවක්

colombotoday

නැව්වලින් එන මගීන්ට රටට ඇතුළුවීමේ තහනමක්

colombotoday

ආණ්ඩුව කොටි ත්‍රස්තවාදීන් නිදහස් කරන්නේ ඔවුන් ලවාම මහින්ද – ගෝඨාභය ඝාතනය කරවන්නද?

colombotoday

භූමිදානය අවශ්‍යනම් කලයුත්තේ පාරේ උද්ඝෝෂණ රංගන දැමීම හෝ අමාත්‍ය ධුර අවභාවිතා කරමින් වංගු ගැසීම නොවෙයි.

colombotoday

පඩි වැඩිකරන්නැයි තැපැල් සංගමය පාර්ලිමේන්තු වටරවුම අසල උද්ඝෝෂණයක

Admin