World

ගෝලීය කොවිඩ් ආසාදිතයන් ගණන එක්කෝටි විසිතුන් ලක්ෂය ඉක්මවයි

අද වන විට ලොව පුරා රටවල්වලින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව එක්කෝටි විසිතුන් ලක්ෂයකට අධිකයි.

වසංගතයෙන් ලොව පුරා පුද්ගලයන් පන්ලක්ෂ පනස් හයදහසකට වැඩි පිරිසක් මියගොස් තිබේ.

මේ අතර බොලිවියාවේ අන්තර්වාර ජනාධිපතිනියටත් කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත.

අමෙරිකාවෙන් වාර්තාවන දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ දමමින් ඊයේ (09)දින එරටින් ආසාදිතයන් හැට එක්දහස් හැට හතක් හඳුනාගෙන තිබුණි.

ඒ සමග එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 3,219,999ක් දක්වා වැඩි වී ඇත.

අමෙරිකාවෙන් වාර්තාවන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 135,822 ක්.

මෙවන් පසුබිමක් තුළ රටේ කොවිඩ් පරීක්ෂණ ප්‍රමාණය තවදුරටත් ඉහළ දැමිය යුතු බව වසංගත රෝග ව්‍යාප්තිය පාලනය හා වැළැක්වීම සඳහා වන ආයතනය පවසයි.

එමෙන්ම අමෙරිකාවේ පාසැල් යළි විවෘත කිරීම සඳහා නව මාර්ගෝපදේශන මාලාවක් නිකුත් කර නොමැති බවත් එම ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.

බ්‍රසීලයෙන් අද වන විට කොවිඩ් ආසාදිතයන් දාහත් ලක්ෂ පනස් දහසකට වැඩි පිරිසක් හඳුනාගෙන ඇති අතර වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව හැත්තෑ දහසකට ආසන්නයි.

මේ අතර එරට සාඕ පවුලේ නගරයේ කාය වර්ධන මධ්‍යස්ථාන සහ උද්‍යාන ලබන සඳුදා සිට යළි විවෘත කරන බව එහි නගරාධිපතිවරයා පවසයි.

තමාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව බොලිවියාවේ අන්තර්වාර ජනාධිපතිනී ජෙනීන් අන්යෙස් ට්විටර් පණිවුඩයක් මඟින් නිවේදනය කර තිබේ.

වෛරසයට ගොඳුරුවූ තුන්වන ලතින් අමෙරිකානු රාජ්‍ය ප්‍රධානියා ඇයයි.

මෑතක දී කොවිඩ් ආසාදනයට ලක්වූ බොලිවියා කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් පිරිසක් පිළිබඳවත් ජනාධිපතිනිය අනාවරණ කර තිබුණි.

ඉන්දියාවේ දිනක් තුළ හඳුනාගත් වැඩිම කොවිඩ් ආසාදිතයන් ගණන වාර්තා කරමින් ඊයේ ආසාදිතයන් 25,790ක් හඳුනාගෙන තිබුණි.

ඒ සමග සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව හත් ලක්ෂ අනූහතර දහස ඉක්මවා ගිය අතර සිදුව ඇති කොවිඩ් මරණ ගණන 21,623 ක්.

චීනයේ කොවිඩ් ව්‍යාප්තිය පාලනයට ස්ථාපිත කර තිබූ ආරක්ෂක මුරපලක සිටි ස්වෙච්ඡා සේවකයන් දෙදෙනෙක් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කළ විසි හතර හැවිරිදි පුද්ගලයෙකුට එරට මහජන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබේ.

කොවිඩ් අවදානම හේතුවෙන් බ්‍රසීලය, බංග්ලාදේශය, කුවේට් ඇතුළු රටවල් 13ක ජනතාවට සිය රටට ඇතුල්වීම තහනම් කිරීමට ඉතාලිය පියවර ගෙන තිබේ.

කොවිඩ් වෛරසය වැදෑමහ ඔස්සේ කළලයට ඇතුල්විය හැකි බව ඉතාලියේ දී සිදුකළ නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

කොවිඩ් ආසාදනයවී සිටි ගැබිණි මව්වරුන් 31 දෙනෙක් සහභාගි කරගනිමින් අධ්‍යයනය සිදුකර තිබුණි.

මේ අතර ලොව පුරා කොවිඩ් වසංගතය පාලනය කෙරෙන ආකාරය සහ වසංගතයට යොදන පිළියම් සමාලෝචනය කිරීම සඳහා ස්වාධීන මණ්ඩලයක් පත්කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයට අමෙරිකාවේ ට්‍රම්ප් පරිපාලනයෙන් එල්ල වූ දැඩි විවේචනවලින් අනතුරුවයි.

Related posts

ක්වොන්ටම් පරිගණක තාක්ෂණය හදුන්වා දීමට ඉන්දියාව සැලසුම් කරයි

colombotoday

කැරලිකරුවන් දේශප්‍රේමීන් යැයි ඉවන්කා ට්‍රම්ප් කියයි

colombotoday

බ්‍රසීල ජනපතිට දෙවන වරටත් කොවිඩ් වැළදේ

colombotoday

එක්සත් රාජධානියෙන් තවත් එන්නතකට අනුමැතිය

colombotoday

අවුන්සාන් සුකී හිරකෙරූ අෂින් වීරතු හිමියන් මියන්මාර හමුදාව නිදහස් කරයි

colombotoday

කම්හලක වෙඩි තැබීමකින් තිදෙනෙක් ජිවිතක්ෂයට

colombotoday