ArticlesColombo Today Local News

කුලහීනයකුට වතුර උගුරක් නොදෙන තවමත් ඉවරයක් නැති යාපනයේ කුල යුද්ධය

යාපනය ශික්ෂණ රෝහලේදී ලේ ලබාදිය යුතු රෝගීන් විශාල ප්‍රමාණයක් ලේ ලබා ගැනීම ප්‍රතික්ෂේප කොට සිටියේ මීට වසර ගණනාවකට ඉහතදීය.

මේ පිළිබඳව දෙමළ ජනමාධ්‍ය මඟින් සිදුකළ ගවේෂණාත්මක වාර්තාකරණයේදී යාපනයේ උසස් කුලවල යැයි කියා ගන්නා කාන්තාවන් කිහිපදෙනකුම පවසා තිබුණේ කුලහීනයන්ගේ ලේ තමන්ගේ සිරුරුවලට ඇතුළත් කරවා ගැනීමට ඔවුන් අකැමැති බවයි.

යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය අධිකාරි පොන්නයියා සත්‍ය මූර්ති මහතා මේ සම්බන්ධයෙන් නිල වශයෙන් ප්‍රකාශයක් කිරීමට එදා මැළි වුවත් යාපනය ශික්ෂණ රෝහලේ රෝගීන් තුළින් කුලභේදය ඉස්මතු වූයේ ඒ අයුරින්ය.

මේ ආරංචිය කෙමෙන් කෙමෙන් කනින් කන තැනින් තැන රැව් පිළිරැව් දෙද්දී යාපනයේ හා මුලතිව් ප්‍රදේශවල සේවය කළ ආරක්ෂක හමුදාවේ නිලධාරීන් දෙසීයක් දෙනා යාපනය ශික්ෂණ රෝහලට ලේ පරිත්‍යාග කරන්නට පටන් ගත්හ.

ආරක්ෂක අංශ සාමාජිකයෝ සිංහල වුවද බොහෝ දෙමළ වැසියන් ඒ කාලයේදී සිංහල විරෝධී වුවද සිංහලයන්ගේ ලේ තමන්ගේ සිරුරට එකතු කරගැනීමට යාපනයේ ජනතාව කැමැති වූහ.
යාපනයේ ජනතාව තුළ ජාතිභේදයට වඩා ඉහළින් කුල භේදය ඇති බව සනාථ වීමට මේ සිද්ධිය හොඳම උදාහරණය වුවත් දෙමළ ජනමාධ්‍යද මේ පුවතේ සැබෑ තත්ත්වය එදා වසන් කොට ජනතාවට වෙනත් යමක් ලියා ඔවුහු ඇඟ බේරාගත්හ.

යාපනයේ ඉතා උසස් කුලවලට අයත් යැයි කියමින් ජීවත් වන පවුල්වලින් අඩු කුලේ යැයි සම්මත පිරිස්වලට වතුර උගුරක්වත් ලබා නොදෙයි. ඉතාම අවශ්‍ය කාරණයකට වතුර දීමට සිදුවන්නේ නම් ඒ සඳහා වෙනම ඇලුමිනියම් සෙම්බුවක් මේ උසස් කුලවල නිවෙස් තුළ ඇත.

නමුත් සිංහල වැසියකු මේ නිවෙස්වලට ගිය විට ඉතාම ගෞරවයෙන් සලකා වතුර පිරවූ පිත්තල සෙම්බුවක් සමඟ වීදුරුවක් ලබාදීමට මේ පිරිස අමතක නොකරති.

ඔවුන්ගේ කුලභේදය ජාතිභේදයට වඩා ඉස්මතු වන ලක්ෂණයක් වශයෙන් මෙයද හැඳින්විය හැකිය.

යාපනයේ මේ උසස්ම කුලවලට අයත් පිරිස්වලට යෑමට වෙනම කෝවිල් ඇත. ඒ කෝවිල්වල පූජා කටයුතු සිදුකරන්නේ බ්‍රාහ්මණ වංශිකයෝය. ඒ බ්‍රාහ්මණ වංශිකයෝද යාපනයේ මේ උසස් කුලවල පිරිසද කිසිදිනක මස් මාළු අනුභව නොකරති. ඔවුන්ගේ මුළු ජීවිතයම ගත කරන්නේ නිර්මාංසවය.

ආහාර ගැනීමේ රටාවේද වෙනසක් දක්නට ලැබෙයි. ඔවුහු කිසිදාක පිඟානකට බෙදාගෙන ආහාර නොගනිති.
කෙසෙල් කොළය ඔවුන්ගේ ආහාර ගන්නා පිඟානයි.

එමෙන්ම උඩක සිට ආහාර ගැනීමෙන් ආහාරවලට විශාල අගෞරවයක් සිදුවන බව කියන මේ උසස් කුලවලට අයත් පිරිස් පවුලේ සියලුම දෙනා සමඟ ආහාර ගන්නේ බිම වාඩිවෙමිනි. ඔවුන් මේ සම්ප්‍රදාය ඔවුන්ගේ කෝවිල්වලදී ද අනුගමනය කරනු ලබයි.

ක්‍රිස්තු පූර්ව හයවැනි සියවසේ මැද භාගයේදී බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ මධ්‍ය දේශයේ පහළ වන විට කුලභේදය ඉතාම තදින් ඉන්දියාව පුරාම පැවැති බැව් සෘග්වේදයේ සඳහන් බොහෝ ශ්ලෝකවලින් පැහැදිලි වේ.
එදා ඉන්දියාවේ පැවැති කුල ක්‍රමයට අනුවද මුල්තැන හිමිවූයේ බ්‍රාහ්මණයන්ටය. යාපනයේ උසස් කුලවල පිරිස තමන් බ්‍රාහ්මණ කුලයට අයත් යැයි කීමට පෙලඹී සිටින්නේද මේ නිසාම විය හැකිය.

මෙරට යුද සමයේදී වරක් යාපනයේ සංචාරය කළ අවස්ථාවක යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ජේ‍යෂ්ඨ කථිකාචාර්ය සාමිනාදන් විමල් මහතා කියා සිටියේ යුද්ධයත් සමඟින් මේ කුලභේදය බොහෝ දුරට තුනී වී ගොස් ඇති බවක් දක්නට ලැබෙන බවය.

සිංහල කාන්තාවක් සමඟ විවාහ වී සිටින විමල් මහතාට මේ සංස්කෘතීන් දෙකම හා ඔවුන්ගේ කුල ක්‍රමයන් පිළිබඳව හසළ අවබෝධයක් ඇතිව තිබේ.

“යුද්ධ කාලෙට ඉස්සර වෙලා යාපනයේ කුල ක්‍රමය ඉතාම දරුණු විදියට තිබුණා. උසස් කුලවල අය කිසිම වෙලාවක පහත් කුලවල අයට සැලකීමක් කළේ නෑ. තැකීමක් කළේත් නැහැ.
නමුත් යුද්දෙත් එක්ක මේ සියලු දෙනාටම විවිධ පීඩාවලට ලක් වෙන්නට සිද්ධ වුණා.

යුද ගැටුම්වලදී ජීවිතය බේරගන්න මේ මොන කුලේ අයටත් ඉන්න වුණේ එකම බංකරයේයි. යුද්දෙන් පීඩාවට පත් වුණාම ඒ සියලු දෙනාටම ඉන්න සිද්ධ වුණේ එකම අනාථ කඳවුරකයි. මේ සේරටම ලැබුණු කෑම සමානයි. වතුර බොන්න පිත්තල සෙම්බු තිබුණේ නැහැ. කෑම කන්න කෙසෙල් කොළ තිබුණෙත් නෑ. පොල්කට්ටේ හරි වතුර බීලා තියෙන විදියට කාලා ජීවිතේ බේර ගන්න මේ අයට සිද්ධ වුණා. අනෙක් කාරණය තමයි යුද්දෙත් එක්කම යාපනයේ විශාල පිරිසක් යුරෝපා රටවලට සංක්‍රමණය වුණා. එහෙදි මේ කුල ක්‍රමය කරපින්නාගෙන ඉන්න බැරි නිසා මේ අයත් කුල ක්‍රමයෙන් බොහා් දුරට අෑත්වීමක් තමයි දකින්න ලැබෙන්නේ. යාපනයේ මිනිසුන්ගේ කුල ක්‍රමය විතරක් නෙවෙයි සමස්ත සංස්කෘතියම මේ යුද්දෙත් එක්ක වෙනස් වුණු බවක් පේනවා.”

යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ජේ‍යෂ්ඨ කථිකාචාර්ය සාමිනාදන් විමල් එදා යුද සමයේදී ඒ අන්දමට යාපනයේ කුල ක්‍රමය පිළිබඳව අදහස් දක්වා සිටියත් උතුරු පළාත් සභාව බිහිවූයේ යුද්ධය හමාර වී වසර හයකටත් පසුවය.

මේ පළාත් සභාවේ ප්‍රධාන තැනට පැමිණි සෑම ආණ්ඩුකාරවරයකුටම යාපනයේ පවතින කුල භේදය ඉතාම පැහැදිලිව දැකගන්නට ලැබිණි.

තවමත් උතුරේ ආණ්ඩුකාරවරයා වශයෙන් කටයුතු කරන්නේ රෙජිනෝල්ඩ් කුරේ මහතාය. ඔහු මේ ගැන යාපනයේ ප්‍රධාන රැස්වීම්වලදී ද කතා කළේය.

යාපනයේ බොහෝ උදවියට කොතරම් උගත්කමක් තිබුණද රැකියා ලබාගැනීමේදී කුලභේදය ඉස්මතු වන නිසා ඔවුන්ට බොහෝ රැකියා අහිමි වී යන බව රෙජිනෝල්ඩ් කුරේ උතුරු පළාත් ආණ්ඩුකාරවරයා කියා සිටියේය.
මේ කුල ක්‍රමය අවසන් වනතුරුම යාපනයේ ජනතාවට කිසිම සෙතක් සිදුනොවන බවද ආණ්ඩුකාරවරයා ඉස්මතු කළේය. කුඩා ළමයින් සහභාගි වන උත්සවවලදී ඔහු ඒ ළමයින් අමතා කියා සිටියේ මේ පළාතේ ඇති කටුක බවෙන් මිදීමට නම් ඉතා හොඳින් අධ්‍යාපනය හැදෑරිය යුතු බවයි.

නමුත් ගතානුගතික මිනිසුන් විසින් පවත්වාගෙන යන කුල ක්‍රමයට විරුද්ධ වන මෙන් ආණ්ඩුකාරවරයා කියා සිටියේය.

යාපනයේ ජනතාවට කිසිම දිනයක නැඟී සිටීමට මේ කුල ක්‍රමයෙන් ඉඩක් නොලැබෙන බවත් සුදුස්සාට නියම සුදුසුකම මේ ක්‍රමය නිසා නොලැබෙන බවත් රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ අදහස විය.
මෙපමණක් නොව වරෙක උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාව සිටි සී.වී. විග්නේශ්වරන් මහතාද යාපනයේ වැසියන්ගෙන් විශාල පිරිසකට ඉඩම් අහිමි වී යෑමට හේතුව වී ඇත්තේ කුල ක්‍රමය බව පැවැසීය.
“යාපනයේ පවතින කුල ක්‍රමය මත නීතියට පටහැනිව හදාගත් විවිධ ක්‍රමවේදයන් තිබෙනවා. ස්වාමියාට අයත් ඉඩම ස්වාමියා මිය ගිය පසුව බිරියට ලැබිය යුතු නමුත් යාපනයේ බොහෝ තැන්වල එවැන්නක් සිදුවන්නේ නැහැ.
ඔවුන්ගේ කුල ක්‍රමයේ ඇති චාරිත්‍රයට අනුව එම ඉඩම ඒ පවුලේ වැඩිමල්ම පිරිමි දරුවා වෙත පවරා දීම ඔවුන්ගේ කුල ක්‍රමයේ ලක්ෂණයක් වී තිබෙනවා. මේ නිසා ඒ බිරියට කිසිදාක ඉඩම් අයිතියක් ලැබෙන්නේ නැහැ.
යුද්ධයෙන් විපතට පත් පවුල් ස¼දහා ආධාර සැපයෙන රජයේ ක්‍රමවේදයට අනුව ස්වාමියාට ලැබිය යුතු දේ බිරිය ජීවතුන් අතර සිටිනවා නම් ලැබෙන්නේ බිරියටයි. නමුත් ඔවුන් කුල චාරිත්‍ර අනුව බිරියගේ සියලු අයිතිවාසිකම් පවුලෙන් ඉවත් කොට ඇති නිසා ඔවුන්ට කිසිම ආධාරයක් ලැබෙන්නේ නැති තත්ත්වයක් උද්ගත වී පවතිනවා.

මේ නිසා මුලින්ම කුලය මත පදනම් වී තිබෙන දේ බැහැර කොට සම්මතවාදී නීතියට අනුව සියලු දේ යළි සකස් කරගැනීමට යාපනයේ පවුල් විශාල සංඛ්‍යාවකට සිදුව තිබෙනවා.”
උතුරු පළාත් ආණ්ඩුකාරවරයාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයාත් කී දේ සැකසෙමින් යාපනයේ ජන සමාජය අලුත්ම අදියරකට ගමන් කිරීමට සූදානමක් ඇති බවක් මේ සතියේදී දැකගන්නට ලැබිණි.
“යාපනයේ හින්දු ආගමික සංසදය” මුළු යාපනයේ ජනතාවටම විශේෂ නිවේදනයක් නිකුත් කොට තිබේ. මේ දිනවල යාපනයේ ජනතාව අතර හුවමාරු වෙමින් පවතින ඒ නිවේදනයෙන් කියැවෙන්නේ මේ කුලභේදය නිසා යාපනයේ ජනතාවට කිසිදු දෙයක් රජයෙන් ලැබෙන තත්ත්වයක් දක්නට නොමැති බවයි.

එම සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වන්නේ ජාති භේදය හා උග්‍ර කුල භේදය නිසා ගැටුම් හා භීෂණකාරී තත්ත්වයක් පවා වර්ධනය වී එය යුද්ධයක් කරා නැවත තල්ලු විය හැකි බැවින් උතුරේ දෙමළ ජනතාව මේ අවස්ථාවේදී ඉතා කල්පනාකාරීව ජීවත් විය යුතු බවයි.

මඩකළපුව වවුනතිව් ප්‍රදේශයේ සිදුවූ සිදුවීම තරයේම හෙළා දකින බවද එම නිවේදනයේම සඳහන් වන අතර එවැනි සිද්ධීන් හටගනු ලබන්නේද මේ උග්‍ර ජාතිවාදය හා කුල භේදය නිසා බව එහි සඳහන් කොට ඇත.
උතුරේ දෙමළ වැසියන් තුළ පවත්නා මේ ජාති හා කුල භේදය නිසා රජයෙන් ලැබිය යුතු රැකියා ඇතුළු බොහෝ දේ ද විශාල පිරිසකට නොලැබෙන බව එම නිවේදනයේ සඳහන් කොට ඇත.
යාපනයේ පවතින මේ කුල ක්‍රමය නිසා යාපනයේදී රජයේ රැකියාවක් පවා ලැබෙන්නේ ඒ ඒ කුලවලට අයත් පිරිසට පමණකි. දේශපාලනඥ කවුරුන් වුවද ඔහු සලකනු ලබන්නේ තමන්ගේ කුලයට අයත් පිරිසට පමණක් වීම යාපනයේ දක්නට ලැබෙන සුවිශේෂී ක්‍රියාවලියකි.

අප පෙර සඳහන් කළ පරිදි ඉන්දියාවේ පැවැති කුල ක්‍රමය මත එදා රැකියාව තීරණය විය. ලෝකය කෙතරම් දියුණු වුවත් යාපනයේ අදටත් ක්‍රියාත්මක වන්නේ එයම බව වවුනියාව මඩුකන්ද ශ්‍රී ධම්මරතන විද්‍යායතන පිරිවෙනේ දෙමළ භාෂාව උගන්වන සුමිත් ප්‍රසන්න සෝමපාල මහතා කියා සිටියි.

“යාපනයේ පවතින කුල ක්‍රමයට අනුව කෝවිල්වලට හා බැඳුණු අය බ්‍රාහ්මණ කුලයේ උදවිය වෙනවා. ඒ අය සාමාන්‍යයෙන් පොදුජන සමාජය සමඟ ගැටෙන්නේ ගනුදෙනු කරන්නේ නැහැ.

මීළඟට දකුණේ ගොවිගම කුලය කියන්නා වගේම යාපනයේ වෙල්ලාලන් කුලය ඉහළ කුලයක් විදියට සලකනු ලබනවා. විවාහවලදී එහෙම ඔවුන්ට ලැබෙන තත්ත්වය ඉතාම ඉහළයි.

මේ වෙල්ලාලන් කුලයේ සිට ක්‍රමයෙන් පහළට වැටෙන කුල ක්‍රමයේ අවසානයේම ඉන්නේ “කසළ ශෝධකයන්” ඔවුන්ට භාවිත කරන නම අපි නොකියා ඉඳිමු. නමුත් ඒක හැමෝම දන්නවා.

මේ කුල ක්‍රමයට අනුව තමයි යාපනයේදී රැකියා පවා ලැබෙන්නේ. රජයේ රැකියා ලබාදීමේදී දේශපාලනයෙන් හා උසස් රාජ්‍ය නිලධාරීන්ගෙන් විශේෂ අනුග්‍රහයක්, උදව්වක් ලැබෙන්නේ ඒ තමන්ගේ කුලවල උදවියටයි.
රජයේ නොවන රැකියාවලදීත් එහෙමයි. ඔවුන්ගේ රැකියාව තීරණය වෙන්නේ ඔවුන්ගේ කුලය මතයි.

මාළු අල්ලන්න පුළුවන් “කරයන්” කියන කුලයේ අයට විතරයි. මාළු විකුණන්න හැකි වන්නේ “මේල් ඕංගි කරයන්” කුලයේ අයටයි. කුලියට මාළු මුදලාලි ළඟ වැඩට යන්නේ “සම්මාට්ටි” කුලයේ අය විතරයි.
යාපනයේ රා මදින්නේ “නල්ලවර්” කුලයේ පිරිස පමණයි. කම්මල් වැඩ කරන්නේ “කොල්ලර්” කියන කුලයේ උදවියයි. කෝවිල්වල මඟුල් ගෙවල්වල බෙර ගහන්නේ “නට්ටුවාල්” කුලයේ පිරිසයි. පල්ලර් කුලයේ අය මළ බෙර ගහනවා. වඩුවැඩ කරන්නේ “තච්චන්” කුලයේ අයයි. මේ විදියට ඒ ඒ රස්සාව කරන්නේ ඒ ඒ කුලයට අයිති උදවිය පමණයි. මේ කුල ක්‍රමය උතුරේ ඉතාම තදබල විදියට තියෙන්නේ යාපනයේ විතරමයි. අනිත් අය සාමාන්‍ය විදියට ජීවත් වෙනවා”

ලෝකය ඉතා ශීඝ්‍රයෙන් දියුණුව කරා ළං වී තිබියදී මිනිසුන් උත්සාහ කරන්නේ අඟහරු ලෝකයෙන් පර්චස් කිහිපයක් හෝ මිලට ගැනීමටය. එහෙත් යාපනයේ වැසියෝ තවමත් ජීවත් වන්නේ ලෝකයේ කිසිවකුත් නොදුටු මහා බ්‍රහ්මයා විසින් උගන්වන ලද මැවීමේ සංකල්පයෙන් ලෝකයට දායාද වූ කුල ක්‍රමය මත සිටගෙනය.

“යාපනයේ හින්දු ආගමික සංසදය” විසින් දුර දක්නා නුවණින් යුතුව යාපනයේ කුල ක්‍රමය අහෝසි කිරීමට ගන්නා උත්සාහය සාර්ථක වුවහොත් එදිනට මේ ලෝකය බොහෝ සුන්දර තැනක් වනු ඇත.

වවුනියාව –
රසාදි චතුරංගි
ගමගේ

Related posts

පොලිස්පති පූජිත් ජයසුන්දර CIDයෙන් අත්අඩංගුවට ගනී !

colombotoday

නිරෝධායන නීති කැඩූ බස් 40ක බලපත්‍ර අහෝසි

colombotoday

චීන එන්නත බංගලාදේශයට ඩොලර් 10යි. ලංකාවට ඩොලර් 15 යි. වැඩි ඩොලර් 5 යන්නේ කාටද?

colombotoday

බොදු බල සේනාව අන්තවාදී නෑ. තහනම් කරන්න කියන නිර්දේශයට මම සම්පුර්ණයෙන්ම විරුද්ධයි. | අමාත්‍ය සරත් වීරසේකර කියයි.

colombotoday

“මාදුළුවාවේ සෝභිත හිමියන් අපවත් වූවා නොව ඝාතනය කළා” – උඩුවේ ධම්මාලෝක හිමි

colombotoday

ජල මිල ඉහළ දැමීම ගැන සජිත්ගෙන් රජයට චෝදනා

Admin