Colombo Today Local News

එජාපයේ ජනප‍්‍රියම නායකයා ගෝටාභයයි !

පිවිතුරු හෙල උරුමය පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කරන ලදී.

මේ දිනවල නිතර ඇහෙන කතාවක් තමයි ගෝඨා සජිත් සුසංයෝගය. ගෝඨා ජනපති සජිත් අගමැති. මුලින් මුලින් ඔය කතාව කිව්වේ අජිත් පී පෙරේරා මන්ත්‍රිතුමා. එතුමා ඉතින් විහිලු කතා කියන්නට හරි ප්‍රසිද්ධ නිසා අපි නම් හිතුවේ තවත් එක රස කතාවක් විතරයි කියලා. බැලින්නම් බොලේ විපක්ෂනායකතුමා ඒ කතාව කියනවා. මට ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් එක්ක හොඳට වැඩකරන්න පුළුවන් මාගේ සිතුම් පැතුම් ද ගැලපෙනවා කියලයි කියන්නේ. ගෑණු ළමයෙකුට පෙම් කරන තරුණයෙක් ඇවිල්ලා දෙමවුපියන්ට කියන්නේ අපිට එකට ජීවිත කාලයම ගත කරන්න පුළුවන්, අප දෙදෙනාගේ අදහස් හරියටම ගැළපෙනවා, අනේ මේ කසාදය කරලා දෙන්නකෝ කියලා. අන්න ඒ වගේ තමයි මේ දවස් වල සජිත් ප්‍රේමදාස මැතිතුමා. තරුණියකගේ ආදරය පතන පෙම්වතෙක් ගේ ආකාරයෙනුයි හැසිරෙන්නේ.

හැබැයි මේකෙන් මොකක්ද රටට දෙන පණිවිඩය. අද අප ඉන්නේ ආණ්ඩුවේ 71වන දිනයේයි. පසුගිය ආණ්ඩුවට 49 වන දිනය වෙනකොට අපි මහින්ද සුළඟ නුගේගොඩින් පටන් ගත්තා. අපි කිව්වේ නැහැ මහින්ද මහත්තයට මෛත්‍රී ජනාධිපතිතුමා ෂෝක් කියලා. හරිම හොද සුසංයෝගයක් මේක කියලා. අපි එදා කිව්වේ මෛත්‍රී රනිල් සුසංයෝගය ගෙදර යවන ජනබලවේගය අප මහින්ද සුළඟින් පටන් ගත්තාය කියලයි. අප කතා කළේ ජනපති අගමැති දෙදෙනාම එකට තියලා ගෙදර යවන්නයි. නමුත් අද එක්සත් ජාතික පක්ෂයට සිදුවෙලා තියනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් බේරලා කතා කරන්න. මොකද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගෙදර යවමු කියලා කිව්වා නම් එක්සත් ජාතික පාක්ෂිකයාගේ ඡන්දයවත් එක්සත් ජාතික පක්ෂයට ලැබෙන්නේ නැහැ. අද එජාපයේ ජනප්‍රියම නායකයා රනිල් කරුවත් සජිත් වත් නොව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියන එකයි මේ ගෝඨා සජිත් සුසංයෝගයක් ගැන කතා කිරීමේදී ලෝකයට හෙළි වන්නේ.

පසුගිය ජනාධිපතිවරණයේ දී අප ගෝඨා ජනපති මහින්ද අගමැති කියලා ගෝඨා මහින්ද සුසංයෝගයක් තමයි ඉදිරිපත් කළේ. මේ සුසංයෝගයට තමයි ලක්ෂය 69ක් ජනතාව ඡන්දය දුන්නේ. සජිත් ප්‍රේමදාස එතනට ඔබන්න ඉඩක් නැහැ. ලක්ෂ 69ක් අනුමත කළ අගමැති කෙනෙක් පත් වෙලා අවසන්. ලක්ෂ 69ක බහුතර ජනතාවක් ප්‍රතික්ෂේප කළ සජිත් ප්‍රේමදාස මැතිතුමාව අගමැති ධූරයට පත් කරගන්නට රටේ ජනතාව සූදානම් නැහැ කියන එක අප ඉතාමත් වගකීමෙන් ප්‍රකාශ කරනවා.

දහනම වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා මේ රටේ බිහිවෙලා තියෙන්නෙ භේරුණ්ඩ පක්ෂියා වැනි හිස් දෙකක් සහිත ආණ්ඩුවක්. විධායක ජනපති අතේ තිබ්බ විධායක බලය ජනපති අගමැති සහ කතානායක අතර බෙදා දීලා. එවිට ජනපති සහ අගමැති අතර සමීප සම්බන්ධයක් අන්‍යෝන්‍ය අවබෝධයක් නොමැති නම් රට ඉස්සරහට යන්නේ නැහැ. 19 වැනි සංශෝධනයෙන් රටට සිදු වුණු ලොකුම හෙනයක් ඒක. එකම පක්ෂයෙන් පත්වූ ජනපති මෛත්‍රි සහ අගමැති රනිල් මරාගෙන ආණ්ඩුවද විසුරුවා හැරලයි එම ආණ්ඩුව අවසන් වුනේ. එහෙම නම් පක්ෂ දෙකකින් එන මතවාද දෙකක් නියෝජනය කරන බලවේග දෙකක් නියෝජනය කරන ගෝඨාභය රාජපක්ෂ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා එකට වැඩ කරන්නෙ කොහොමද. එවිට භේරුණ්ඩ පක්ෂියාගේ හිස් දෙකින් දෙපසට ඇද්දහම පක්ෂියා දෙකට ඉරිලා යනවා වගේ ලංකාව ඉදිරියට යන ගමන කඩාකප්පල් වීම පමණයි සිදු වෙන්නේ.

ජනාධිපතිවරණය කාලේ එජාපය පුනපුනා කිව්වා ගෝඨාභය රාජපක්ෂ කියන්නේ දූෂිතයෙක්. ගෝඨාභය රාජපක්ෂ කියන්නේ මිනී මරුවෙක්. ඔහු ඇමරිකානු පුරවැසියෙක්. ඒකාධිපති පාලකයෙක්. ඒ නිසා ගෝඨාභයට නම් ඡන්දය දෙන්න එපා කියලයි එජාපය කිව්වේ. දැන් මේ සුසංයෝගය ගැන කතා කරද්දී ඒ කියපුවා එහෙම නෙවෙයිද. එදා ඔවුන් කිව්වේ බොරුවක්ද කියලා එක්සත් ජාතික පක්ෂය මුලින්ම රටට කියලා රටට ජාතියට බොරු කීම සම්බන්ධයෙන් ජාතියෙන් සමාව අරගෙන ඉවරවෙලා සුසංයෝග ගැන කතා කරන්න ඒ අයට පුළුවන්.

ඒ වගේම සජිත් ප්‍රේමදාස මහත්තයා අපේ ආදරණීය මිත්‍රයා තමන් ගැන ඉන්නේ බොහොම ලොකු තක්සේරුවකින්. එතුමා කියනවා එතුමාගේ ඩයිනමෝව හොඳයි කියලා. ඒ ඩයිනමෝව කොතරම් හොඳ වුණත් ගැලපෙන්නෙ බයිසිකලයකට මිසක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වැනි සද්දන්ත නැවකට නොවෙයි. සජිත් ප්‍රේමදාස මැතිතුමා කියනවා එතුමාගේ එන්ජින් එකද හොඳයි කියලා. ඒ එන්ජිමද ගැලපෙන්නේ ත්‍රීරෝද රථයක් වැනි කුඩා වාහනයකට මිසක මහ මුහුදේ තිබෙන ගෝඨාභය කියන සද්දන්ත නෞකාවට නොවෙයි කියලා අප සජිත් ප්‍රේමදාස මැතිතුමාට සිහිපත් කරනවා.

– අරවින්ද අතුකෝරල

Related posts

අද සිට ලැබෙන බදු සහන මෙන්න

colombotoday

දිස්ත්‍රික්ක 7ක ප්‍රා.ලේ. කොට්ඨාස 29ක නායයෑමේ අවදානමක්

Admin

නව ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට හිමි තැන රටට කියන්න – මල්වතු මහා නාහිමියෝ කියති

colombotoday

මෛත්‍රීගේ මී ළඟ තුරුන්පුව, සජිත් අගමැති කර රනිල්, මලික්, කබීර්, රවී අත්අඩංගුවට ගැනීමද?

colombotoday

ඡන්දය ඉවරවනතුරු කසිප්පු වඩියක් පෙරාගන්න ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ පොලිසියෙන් ඉල්ලති

colombotoday

මැතිවරණ වියදම් නියාමන පනත මැතිසබයට ඉදිරිපත් කරයි

Admin