ArticlesColombo Today Local News

ඇමරිකාව එන්න හදන්නේ මොකාටද? ජනපතිවරණයෙන් බයිඩන් / කමලා දිනුවොත් අපිට අමාරුයි

ඇමරිකාවේ රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ ඔක්තෝබර් 20 වැනිදා කෙටි කාලයකට ශ්‍රී ලංකාවට ගොඩබැස්සේ නත්තලට කලියෙන්ම තෑගි බෙදා දී යෑමටද? ‘‘මේ මොහොතේ ශ්‍රී ලංකාව ඔවුන් ගමන් කරන දිශානතිය පිළිබඳව තීරණය කළ යුතුයි’’ යැයි පොම්පෙයෝ පැවැසුවේ ශ්‍රී ලංකාව සහ චීනය සමග ඇති සම්බන්ධතාව පිළිබඳවයි. ‘‘(චීනයේ) පාරදෘශ්‍ය ගනුදෙනු පසෙකලා, ඇමරිකාව විසින් ඉදිරිපත් කරන විනිවිද භාවයෙන් යුත් විකල්ප සංවර්ධන ප්‍රතිපත්තීන් ශ්‍රී ලංකාව තෝරාගත යුතුයි’’ යැයි ඇමරිකානු රාජ්‍ය ලේකම් කියා සිටියේය. ඇමරිකාව කියන මේ විනිවිද භාවයෙන් යුත් විකල්ප ප්‍රතිපත්තීන් MCC, ACSA සහ SOFA යන ත්‍රිත්වය බව සැකයක් නැත. පොම්පෙයෝ අවසාන වශයෙන් කියා සිටියේ, ශ්‍රී ලංකාවට අසීරු, එහෙත් ගැළපෙන තීරණ ගැනීම සඳහා ඇමරිකාව අඛණ්ඩව අවවාද කරන බවයි. මෙලෙස ‘අසීරු නමුත් අවශ්‍ය තීරණ’ ගන්නා ලෙස ඇමරිකානු රාජ්‍ය නිලධාරියකු වෙනත් රටකට බලපෑම් කළ පළමුවැනි අවස්ථාව මෙයෙ නොවේ. අන්තර්ජාතික සබඳතා පවත්වාගෙන යෑමේදී එක් කඳවුරක් තෝරා ගන්නා ලෙස කරන බලපෑම් ‘‘සීතල යුද්ධ මානසිකත්වයෙන්’’ පසුවන රටක රාජ්‍ය නියෝජිතයකුගේ වචනවලින් ඇසීමට ලැබීම පුදුම විය යුතු කාරණයක්ද නොවේ. මෙවැනි උද්‍ර්ධච්ච ප්‍රකාශ වර්තමාන ඇමරිකානු රජයේ නිලධාරීන් අනන්තවත් කර තිබේ. මෙම ප්‍රවේශය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අන්තර්ජාතික රාජ්‍ය තාන්ත්‍රික භාවයේ ස්වභාවය පිළිබිඹු කරයි.

ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්තිය යනු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහ සම්මතයන්ට සිදුවන හානිය නොසලකා ඇමරිකාවේ අවශ්‍යතා ඉටුකර ගැනීමයි. එය පැහැදිලිවම ඒකපාර්ශ්වික, කඩාකප්පල්කාරී සහ අප්‍රසන්න ප්‍රතිපත්තියකි. නොවැම්බර් 3 වැනිදා පැවැත්වීමට නියමිත ඇමරිකානු ජනාධිපතිවරණය අත ළඟ තිබියදී තකහනියෙන් පොම්පෙයෝ ආසියානු සංචාරයක යෙදුණේ කුමන කාරණයක් නිසාද? මෙහිදී පොම්පියෝගේ අග මුල සොයා බැලීම වැදගත් වේ.

MCC ශ්‍රී ලංකාවට හිතකර ගිවිසුමක් යැයි ප්‍රකාශ කරන ලාංකික විද්වතුන් බොහෝය. එහෙත් මෙම විද්වතුන් සහ විශාරදයන් කුමක් පැවැසුවත් අප තරයේ සිහියට නැගිය යුතු කාරණය නම් MCC ගිවිසුම යනු ඩොලර් මිලියන 480 ක ප්‍රදානයක් හෝ තෑග්ගක් නොවන බවත් මෙම මුදල් ශ්‍රී ලංකාවට හිමි නොවන බවය. මෙම ශ්‍රී ලංකා විරෝධී ගිවිසුමට පක්ෂව සිටින පාර්ශ්වවලට පෞද්ගලික වරප්‍රසාද ගණනාවක් ලබාදීමට ඇමරිකාව පොරොන්දු වී ඇතැයි අනුමාන කළ හැක්කේ එම උපක්‍රමය ඇමරිකානු අධිරාජ්‍යය විසින් ඓතිහාසිකව යොදා ඇති නිසාය. රුසියානු විප්ලව සමයේ සිට ඇමරිකාවේ පාලකයන් ඔවුන්ගේ අධිරාජ්‍යවාදය සාධාරණීකරණය කිරීම සඳහා නිරන්තරයෙන් ක්‍රම දෙකක් භාවිතා කර ඇත. පළමුවැන්න​ භෞතික ප්‍රවේශයයි. ඇමරිකානු යුද හමුදා කඳවුරු ලෝකයේ සෑම කොනකම ව්‍යාප්ත කිරීම, ඇමරිකානු නාවික බළඇණිවල සංචලතාවය, CIA සංවිධානය විසින් විවිධ රටවල-අභ්‍යන්තර දේශපාලන මැදිහත්වීම, ඇමරිකානු අධිරාජ්‍යයට හිතෛෂී, මිත්‍රශීලි දේශපාලනඥයන් සහ විද්වතුන්ට අල්ලස් දීම මෙම උපක්‍රමයට අයත් අප කවුරුත් හොඳ හැටි දන්නා කරුණු වේ. ඇමරිකන් අධිරාජ්‍යයේ දෙවැනි ක්‍රමය දෘෂ්ටිවාදාත්මකය. එනම් තුන්වන ලෝකයේ රටවල විද්වතුන් ඔස්සේ ගොඩ නගන කොමියුනිස්ට් නොවන, සමාජවාදී නොවන, ජාතිකවාදී නොවන, ලිබරල් සහ ‘ස්වාධීන’ මාවතයි. මෙය මිථ්‍යාවකි. එහෙත් මෙම මිථ්‍යාව අධ්‍යාපනය, ලිබරල් චින්තනය සහ ලිබරල් මාධ්‍ය තුළින් සමාජ ගතකර ඇති අතර මෙම චින්තනයේ පද්ධතියේ නවතම ඉලක්කය චීනයයි. MCC ගිවිසුම අත්සන් කිරීම ඇමරිකාවේ ඉන්දු – පැසිපික් ක්‍රමෝපායේ අනිවාර්ය අංගයක් වේ. චීනයට එරෙහිව ක්‍රියාත්මක වන ක්වොඩ් කණ්ඩායමේ ඇමරිකාව ප්‍රමුඛ, ඉන්දියා, ඔස්ට්‍රේලියා සහ ජපන් සන්ධානයේ ක්‍රියාකාරකම්වලට සෘජු අභියෝගයක් වී ඇත්තේ ශ්‍රී ලංකාව තවමත් MCC ගිවිසුමට අත්සන් නොතැබීමයි. චීනයේ ‘නව සේද මාවත’ යන වෙළෙඳ ව්‍යාපෘතිය අවහිර කිරීම සඳහාත්, චීනය පාලනය කිරීම සඳහාත් චීනය සමග වෙළෙඳ ගනුදෙනු කරන සහ උපාය මාර්ගික වශයෙන් වැදගත් කුඩා රටවල් අපහසුතාවට පත්කිරීම මෙම ක්වොඩ් සන්ධානයේ එක් උපක්‍රමයකි. බොහෝ සාමාන්‍ය ඇමරිකානුවන්ද නොදන්නා කරුණක් වනුයේ තම රට විසින් මුළු ලෝකයේම හමුදා බළකොටු තර කරමින් සිටින බවයි. ඇමරිකාව ගෝලීය වශයෙන් මිලිටරිකරණය තීව්‍ර කිරීමට යොදා ගන්නේ ලිලී පෑඩ් (Lily – Pad) ලෙස හඳුන්වන කඳවුරු විශේෂයකි. ලිලී පෑඩ් ක්‍රමය ආදේශ කළ හැක්කේ පොකුණක පිහිටි නෙළුම් කොළයකටයි. ගෙම්බකු මෙම නෙළුම් කොළය ආධාරයෙන් තම ගොදුර දෙසට පොකුණක් හරහා පනිනවාක් මෙන් ඇමරිකාවද තම ග්‍රහණයට ලක්කර ගන්නා රටවලට ප්‍රවේශ වන එක් ආකාරයක් වනුයේ ලිලී පෑඩ් කඳවුරු තුළින්ය. මේවා කුඩා, රහසිගත සීමිත, භට පිරිස්, අඩු පහසුකම් සහ සූක්ෂම ලෙස පෙර සූදානම් කළ ආයුධ සහ වෙනත් මිලිටරි සැපයුම් සහිත කඳවුරු වේ. මේවාට ඇතුළුවීමට අවසර තිබෙන්නේ ඇමරිකානු හමුදා භටයන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට පමණකි. ලෝක සිතියම පුරා අප්‍රිකාවේ ජිබූටි සිට හොන්ඩුරාස් වනාන්තර, මොරිටේනියාවේ කාන්තාර, ඔස්ට්‍රේලියාවේ කුඩා කොකෝ දූපත් දක්වා පෙන්ටගනය හැකි තරම් ලිලී පෑඩ් ස්ථාපිත කරමින් සිටී. මෙවැනි උපක්‍රමවල රහසිගත ස්වභාවය නිසා ඒවා පිළිබඳ තොරතුරු රැස්කිරීම අසීරු කාර්යයකි. එහෙත් විවිධ මූලාශ්‍රවලට අනුව පෙන්ටගනය 2000 වර්ෂයේ සිට ලිලී පෑඩ් 50 ක් සහ වෙනත් කුඩා කඳවුරු 50 ක් පමණ ඉදිකර ඇති අතර තව දුසිම් ගණනක් ඉදිකිරීමට බලාපොරොත්තු වේ. මෙවැනි ලිලී පෑඩ් කඳවුරු එක්සත් ජනපදයේ ගෝලීය අධිපත්‍ය පවත්වා ගැනීම සඳහා වොෂිංටන් විසින් ගෙන යන මිලිටරි උපාය මාර්ගයේ තීරණාත්මක අංගයක් බවට පත්වී ඇත. හිටපු ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්ගෙන් ආරම්භ වන ‘ආසියාව දෙසට හැරීමේ’ සැලැස්මට අනුව මීළඟට විශාල වශයෙන් ලිලී පෑඩ් නිර්මාණය කිරීමට සැරසෙන්නේ ආසියාවේය. දැනටමත් ඔස්ට්‍රේලියාවේ ඩාවින්හි ඇමරිකානු නාවික කඳවුරක් ස්ථාපිත කොට ඇත. ඔස්ට්‍රේලියාවේ කොකෝ දූපත්වල ඩ්‍රෝන සහ නිරීක්ෂණ කඳවුරක් ඉදිකර තිබේ. ඇමරිකානු භට පිරිස් බ්‍රිස්බේන් සහ පර්ත් නගරවලද නේවාසිකව සිටිති. තායිලන්තයේ යුමපාවෝහිද ‘ආපදා සහන මධ්‍යස්ථානයක්’ ලෙස පෙන්ටගනය නාවික වරායක් ඉදිකිරීමට එම රජයත් සමග ගිවිසුම් ගෙන ඇත. මෙම ක්‍රමෝපාය වසර ගණනාවක් තුළ සිදුවෙමින් පවතී. එය දිගුකාලීන සහ ගෝලීය වශයෙන් ගොඩනගන ඇමරිකානු අධිරාජ්‍යයේ කේන්ද්‍රීය ලක්ෂණයකි. මෙහිදී පුදුමයට හේතුවක් වන්නේ ‘විනිවිද භාවය’ පිළිබඳ ශ්‍රී ලංකාවට සහ චීනයට දැනමුතුකම් කියන ඇමරිකාව ලිලී පෑඩ් උපක්‍රමය පිළිබඳව තොරතුරු තම රටේ මහජනතාවගෙන් වසන් කිරීමයි. මෙම ප්‍රතිපත්තිය පිළිබඳ මහජන අවධානයක් හෝ සැලකිය යුතු රාජ්‍ය අධීක්ෂණයක්ද නොමැත.

නොවැම්බර් 3 වැනිදා පැවැත්වෙන ඇමරිකානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයත් සමග ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තිය වෙනත් අතකට යෑමට ඉඩ තිබේද? ශ්‍රී ලංකාවට ට්‍රම්ප් රජයෙන් දැනට එල්ල වන බලපෑම් යම්තාක් දුරට අඩුවේද? මෙවර ඇමරිකානු ජනාධිපතිවරණයට තරග කරන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජෝ බයිඩන්ය. බයිඩන් නියෝජනය කරන්නේ ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයයි. ට්‍රම්ප් සමග උප ජනාධිපති ධුරයට තරග කරන්නේ වර්තමාන ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස්ය. බයිඩන් සමග උප ජනාධිපති ධුරයට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් තරග කරන්නේ දකුණු ඉන්දියානු දමිළ සම්භවයකින් යුත් කමලා හැරිස්ය. මෙම පක්ෂ දෙකම ඉදිරියට ගෙන යන්නේ ඇමරිකානු අධිරාජ්‍යයේ පුරෝගාමී චරිතයක් වන ඇලෙක්සැන්ඩර් හැමිල්ටන්ගේ දර්ශනයයි. හැමිල්ටෝනියාන චින්තනයට අනුව ඇමරිකන් අධිරාජ්‍යය ලෝකයට අවශ්‍ය දෙයකි. ඇමරිකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම, අන් රටවල් සමග වෙළෙඳාම දියුණු කිරීම, විශාල ව්‍යාපාරිකයන් සහ සමාගම් සමග අත්වැල් බැඳ ගැනීම සහ ගෝලීය වෙළෙඳාම හැසිරවීමේ ආධිපත්‍යය තම අතට ගැනීම මෙම දර්ශනයේ ප්‍රධාන අංගයන් වේ. ඕනෑම රටක් යුරෝපයේ හෝ ආසියාවේ ශක්තිමත්වීම වළක්වා ගැනීම අත්‍යවශ්‍ය වන අතර යම් රටක් තම ආර්ථික බලය සහ ශක්තිය වැඩි දියුණු කරගන්නා විට, එයට විරුද්ධව සන්ධානයක් ගොඩනගා යුද මාර්ගයෙන් හෝ ‘සාමය’ භාවිත කරමින් එරට අභ්‍යන්තර වශයෙන් දුර්වල කර පහතට ඇද දැමීම මෙම චින්තන පද්ධතියේ කේන්ද්‍රීය කරුණකි. ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය සහ බයිඩන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මෙම හැමිටෝනියානු දර්ශනය ඉදිරියට ගෙන යන නමුත් එම පක්ෂ දෙකේ මුහුණුවර වෙනස්ය. ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය ක්‍රියාත්මක කරන්නේ ‘ඇමරිකාව පළමුව’ තබන ප්‍රතිපත්තියකි. දෙවැනි වරටත් ට්‍රම්ප් ජනාධිපති ධුරයට තේරී පත්වුවහොත් ඇමරිකානු රජයේ විදේශ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නොවනු ඇත. හිටපු ජනාධිපතිවරුන් වන බුෂ් සහ රේගන් ලෙස බහුපාර්ශ්වික හා සහයෝගීතාව පෙරට ගත් උපාය මාර්ගයකට ට්‍රම්ප් පිවිසෙන්නේ නැත. ජනාධිපති ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්තිය මැනවින් පිළිබිඹු කරන්නේ ඔහුගේ මනෝභාවය සහ ආකල්පයයි. තම පළමු ධුර කාලය තුළ ට්‍රම්ප් තම ක්‍රියාකාරී නිදහසට ඇති බාධක ක්‍රමානුකූලව ඉවත් කර, ඔහුගේ අභිමතයන් සහ මනාපයන් ඉටු කරන පක්ෂපාතී අය රාජ්‍ය යාන්ත්‍රණයේ ස්ථාපනය කළේය. මෙම ප්‍රවණතාව ඔහුගේ දෙවන ධුර කාලය තුළ අඛණ්ඩව සිදුවනු ඇත. ඔහු අන්තර්ජාතික සන්ධාන, වෙළෙඳාම සහ ගැටුම් පිළිබඳව තම හිතුමතයට අනුව කටයුතු කරනු ඇත. පශ්චාත් දෙවැනි ලෝක යුද සමය පිළිබඳ ඇමරිකානු ප්‍රතිපත්තිවලින් බැහැර වීමට ඉඩකඩ ඇති අතර, NATO සංවිධානය දියකර හැරීම ට්‍රම්ප් විසින් ඉදිරියට කළ හැකි දෙයකි. ට්‍රම්ප්ගේ දෙවැනි ධුර කාලයේදී ඇමරිකානු අවශ්‍යතා ඉටුකර ගැනීමට ජාත්‍යන්තර සන්ධාන ගොඩනැගීම වෙනුවට, ඇමරිකාවේ සහ අනෙක් රටවල ප්‍රාග්ධන පන්තිය සමග ගනුදෙනු කිරීමට ඔහු උත්සුක වනු ඇත.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිය මුළුමනින්ම පාහේ තීරණය වූයේ ඇමරිකාව සහ ක්වොඩ් කණ්ඩායමට චීනය සමග ඇති එදිරිවාදිකමේ පදනම මතය. MCC ගිවිසුමේ ඩොලර් 480 දැකිය හැක්කේ ශ්‍රී ලංකාව චීනයේ කක්ෂයෙන් බැහැර කිරීමට දරන උත්සාහයක් ලෙසටය. මීට අමතරව ඇමරිකාව තම බලය යොදා ගනිමින් ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහාද ශ්‍රී ලංකා රජය බිය ගැන්වීමට විවිධ උපක්‍රම යොදමින් සිටී.

ජෝ බයිඩන් ඇමරිකාවේ ජනාධිපති ධුරයට පත්වුවහොත්, තම විදේශ ප්‍රතිපත්තිය හසුරුවනු ලබන්නේ ට්‍රම්ප්ට වඩා වෙනස් මුහුණුවරකින්ය. ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ හැමිල්ටෝනියානු අවශ්‍යතා සපුරාලීමට යොදා ගන්නේ ට්‍රම්ප්ගේ ඒකාධිපතිවාදී, ජාතිකවාදී, ජනවාර්ගික මුහුණුව​ර නොවේ. තෝමස් ජෙෆිර්සන් විසින් හඳුන්වා දුන් නිදහස්, ප්‍රජාතන්ත්‍රවාදය සහ අයිතිවාසිකම් ගොනු කරන ලද දර්ශනය, ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මුහුණුවරක් ලෙස භාවිත කරයි. ජෝ බයිඩන් ඇමරිකානු විදේශ ප්‍රතිපත්තීන්ට ආගන්තුකයකු නොවේ. ඔහු ඇමරිකාවේ සෙනෙට් සභිකයකු ලෙස වසර 36 ක් සහ බැරැක් ඔබාමා යටතේ උප ජනාධිපති ලෙස වසර 8 ක් සේවය කළේය. සිය දේශපාලන වෘත්තියේ ආරම්භයේ සිටම අන්තර්ජාතික සබඳතා කෙරෙහි උනන්දුවක් දැක්වූ ඔහු සෙනෙට් විදේශ සබඳතා කමිටුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කළේය. බයිඩන්ගේ ලෝකය වන්නේ ඇමරිකානු නායකත්වයෙන් බැබළෙන, ලිබරල්, ජාත්‍යන්තර ව්‍යුහයකි. ඔහු විසින් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් ශක්තිමත් කරන ලෙස අන්තර්ජාතික වශයෙන් සන්ධාන ගොඩනැගීමට නියමිතය. ගෝලීය වශයෙන් මෙන්ම කලාපීය වැදගත්කම පිළිබඳ ගැටලු විසඳීම සඳහා ඇමරිකාව ප්‍රමුඛ සන්ධාන ගොඩනැගීමට බයිඩන් මුල්වනු ඇත. ඔහුගේ යම් තීරණ මෑත අතීතයේදී විවාදයට ලක්ව තිබේ. ඉරාකය දෙකට කිරීම සඳහා මිලිටරි බලය යෙදීම එවැනි විවේචනාත්මක තීරණයකි.

බයිඩන් ජනාධිපති ධුරයට පත්වුවද ඇමරිකාවේ ආසියානු කලාප ප්‍රතිපත්තිය විශාල වශයෙන් වෙනස් නොවනු ඇත. තුර්කියට ළංවෙමින් පවතින පාකිස්තාන රජය නැවත තම ග්‍රහණයට නතුකර ගැනීමට බයිඩන් උත්සාහ ගැනීමට ඇති ඉඩකඩ බොහෝය. ට්‍රම්ප්ගේ සහ බයිඩන්ගේ ක්‍රියාකලාප වෙනස් වුවද ඔවුන් දෙදෙනාගේම අරමුණ පොදුවේ පෞරුෂත්වය සහ ගැටුම්කාරී ප්‍රවේශයන් අනුගමනය කරන ට්‍රම්ප්, ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වැනි තමාට ගැළපෙන අදහස් ඇති රාජ්‍ය නායකයන් සමග සමීපව කටයුතු කරයි. බයිඩන් යනු සාම්ප්‍රදායික නව ලිබරල්වාදී දේශපාලන සත්වයෙකි. ඇමරිකානු අධිරාජ්‍යයේ ව්‍යාප්තිය උදෙසා කටයුතු කරන ඔහු ට්‍රම්ප් මෙන් ගැටුම්කාරී ප්‍රවේශයක් ගන්නා මිනිසකු නොවේ. එනිසා චීනය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා පාලනය කිරීමේදී ඔහු සූක්ෂම ලෙස කටයුතු කරනු ඇත. බයිඩන් ජනාධිපති ධුරයට පත්වුවහොත් ඇමරිකාවේ උප ජනාධිපති ධුරයට පත්වන්නේ කමලා හැරිස්ය. හැරිස් අද වනතෙක් විදේශීය ප්‍රතිපත්තීන් පිළිබඳ විශේෂ උනන්දුවක් දක්වා නැති නමුත් එය ඉදිරියේ වෙනස් වන්නට පුළුවනි. ඇමරිකාවේ 2020 ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී හැරිස් තම දකුණු ඉන්දියානු දමිළ සම්භවයට වඩා තම අනන්‍යතාව වැලඳ ගන්නේ කළු ජාතික කාන්තාවක් ලෙසින්ය. එහෙත් ඡන්දයෙන් පසු, විශේෂයෙන් ඇමරිකාවේ දකුණු ආසියා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී ඇය තම ඉන්දියානු අනන්‍යතාවය පෙරටු කරගන්නට ඉඩ ඇත. හැරිස්ගේ ප්‍රධාන උපදේශිකාවක් ලෙස දැනට කටයුතු කරන්නේ ලාංකීය දෙමළ සම්භවයකින් යුත් රෝහිණී කොසොග්ලු නමැති ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට සම්බන්ධ තැනැත්තියයි. බ්‍රිතාන්‍ය රජය එල්ටීටිඊ සංවිධානය ත්‍රස්තවාදී කණ්ඩායම් ලැයිස්තුවෙන් ඉවත් කිරීමත් සමගම කොටි සංවිධානයට සහය දෙන ද්‍රවිඩ ඩයස්පෝරාව තවත් ශක්තිමත් වී ඇත. කැනඩාවේ මෙවැනි ප්‍රවණතාවක් දක්නට ලැබෙන අතර 2019 දී ඔන්ටාරියෝ ප්‍රාන්තයේ ව්‍යවස්ථාදායක සභාව විසින් ‘දෙමළ ජන සංහාර සමූලඝාතන සතිය’ පාසල් සහ වෙනත් ප්‍රසිද්ධ ස්ථානවල සැමරීමට නීතිගත කළේය. බයිඩන් – හැරිස් දෙපළ ජනාධිපතිවරණය ජයග්‍රහණය කළහොත් දකුණු ආසියානු කලාපයේ වෙසෙන දෙමළ ජනතාවට වැඩි සැලකිල්ලක් දක්වන ලෙසට ඉල්ලා සිටිමින් ඩයස්පෝරාව කමලා හැරිස් වෙත පැමිණීමට බොහෝ ඉඩ ඇත. ඒවායේ ප්‍රතිඵලවලට අපට මුහුණ දීමට සිදුවන්නේ 2021 වර්ෂයේ මානව හිමිකම් කවුන්සිලයේදීය. මෙවැනි පසුබිමක ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය ස්ථාවර විය යුතුය. අප වොෂිංටන්හි මීළඟ පියවර ගැන කල්පනා කොට එයට සූදානම් විය යුතුයි. ශ්‍රී ලංකාව අද වන විට බොහෝ රාජ්‍ය තාන්ත්‍රික අවුල් ජාලයක පැටළී ඇති බව පෙනේ. මෙයින් සමහරක් හිතාමතාම අභ්‍යන්තරයෙන් (දේශපාලන සහ උපදේශන කාර්යභාරයන්හි යෙදෙන විද්වතුන්) සහ ඇමරිකානු සහචරයින් සහ හිතවතුන් විසින් සිද්ධ කර තිබේ. ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන්ට නොතේරෙන දෙය නම්, රජයේ බලතල MCC පෞද්ගලික සමාගමට පැවරීමත් සමග ඔවුන්ගේම බලය අඩුවන බවයි. ළඟ පෙනෙන ඩොලර්වලට ඇති කෑදරකම නිසා රට පාවාදීමට ඇතැම් දේශපාලනඥයන් සැරසෙන බව අප කවුරුත් දන්නා රහසකි. මයික් පොම්පෙයෝගේ පැමිණීම සහ ඉන්දියාවේ වර්තමාන ක්‍රියාකලාපයෙන් පෙනී යන්නේ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් සහ අන්තර්ජාතික සබඳතා තුළින් හුදකලා සහ අසරණ කිරීමයි. මෙය ඇමරිකාවේ උපාය මාර්ගයකි. මෙවැනි පසුබිමක මෙරටේ නායකත්වය කිසිසේත් නොකළ යුතු සහ නොකිව යුතු දේ ඇත. එයින් එක් දෙයක් වන්නේ ‘‘ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉවත් වනවා’’ යැයි නගන ප්‍රකාශයන්ය. මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාව රාජ්‍ය තාන්ත්‍රිකව වෙනත් රටවල්වලට ළංවිය යුතුයි. අන්තර්ජාතික සන්ධාන පුළුල් කරගැනීමෙන් සහ අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ ගෙන දෙන සැලසුම්වලට සහභාගි වීමෙන් ශ්‍රී ලංකාවට ක්වොඩ් කණ්ඩායමෙන් එල්ල වන බලපෑම නිෂ්ක්‍රිය කළ යුතුයි. ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට බාධා නොකරන රටවල් සමග සන්ධාන ගත වීම සහ අවශ්‍ය විටෙක ජාත්‍යන්තර තලයේ ගනුදෙනුවලට උපකාර ලබාදීම අප අතින් සිද්ධ විය යුතුය. ඇමරිකාව සහ චීනය අතරින් එක පැත්තක් තෝරාගන්නා ලෙස ඇමරිකාව තර්ජනය කරන පසුබිමක, ශ්‍රී ලංකා රජයේ ඉහළ පෙළේ ඇතැම් නිලධාරීන්, විද්වතුන් සහ දේශපාලනඥයින් නොබැඳි ජාතීන්ගේ සංවිධාන සාමාජිකත්වයෙන් අප රට ඉවත් කර ගැනීමේ උත්සාහයක යෙදී සිටී. මේ අවස්ථාවේ අප රටට තිබිය යුත්තේ උදාසීන විදේශ ප්‍රතිපත්තියක් නොවේ. අන්තර්ජාතික රාජ්‍ය තාන්ත්‍රික සබඳතා කළමනා කිරීමේදී ‘වැඩ උඩ සිටීම’ ඉතා හානිදායකය. මෙනිසාම ශ්‍රී ලංකාවේ මෑත යුගයේ විදේශ ගනුදෙනු අපකීර්තියට පත්ව තිබේ. ශ්‍රී ලංකාවට දැන් අවශ්‍ය වී ඇත්තේ ස්වාධීන විදේශ ප්‍රතිපත්තියකි. එකිනෙකාගේ භෞමික අඛණ්ඩතාව, ස්වෛරී භාවය, අන්‍යොන්‍ය ගෞරවය, ආක්‍රමණශීලී නොවීම, දේශීය කටයුතුවලට මැදිහත් නොවීම, සමානාත්මතාව, අන්‍යොන්‍ය ප්‍රතිලාභ සහ සාමකාමී සහජීවනය යන ප්‍රතිපත්තීන් පෙරට ගත් විදේශ ප්‍රතිපත්තියකට අප අවතීර්ණ විය යුතුය. මෙහිදී තානාපතිවරුන් විසින් විශාල කාර්යභාරයක් ඉටුකළ යුතුවේ. එහෙත් අවාසනාවකට වර්තමාන දේශපාලන සංස්කෘතියේ තානාපති ධුර සලකන්නේ විදේශ සවාරි ගොස් විවේක සුවයෙන් ගත කිරීමටය. අපට වෙනස් වීමට හැකිද? හැකියාව කෙසේ වෙතත් වෙනස් වීම හැරෙන්නට අප කළ යුතු වෙනත් දෙයක් නොමැත.

ආචාර්ය වගීෂා ගුණසේකර

Related posts

අපේක්ෂකයෙක්ගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා ඇමරිකානු සහ ඉන්දියානු එම්බසි ඩොලර් මලු තෑගි දෙයි

colombotoday

හමුදාවේ එහෙම කණඩායම් සිටියානම් මුලින්ම අත්අඩංගුවට ගත යුත්තේ ෆොන්සේකාවයි

colombotoday

FCID ගිය පද්ම උදයශාන්තගෙන් ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක් (Video)

colombotoday

මෙරටට ලබාගෙන ඇති රාජ්‍ය ණය ගැන විශේෂ විගණනයක්

colombotoday

පැන්ඩෝරා චෝදනා ගැන සොයාබැලීමට තේරීම් කාරක සභාවක් ඉල්ලයි

colombotoday

“මම ගියොත් ක්‍රිකට් ඉවරයි.. බාරගත් වැඩේ ඉවර කරල මිස මම යන්නෑ” – තිලංග

colombotoday