Colombo Today Local News

අල්ලස කෝටි 26යි. අවලංගුවට කෝටි 1780යි. රටක් බිමට පහත් කළ ජාතික ගුවන් සේවයේ ගසා කෑම.

මේ අසාර්ථකභාවය පිළිබඳ ප‍්‍රශ්නයක් නොවේ. වංචනිකභාවයේ වර්ගඵලය පිළිබඳව සිදුකෙරෙන නිරාවරණයකි. 1992 වසර වන විට ඒ – 340 යානා හයක්, එවකට තිබූ එයාර් ලංකා ගුවන් සමාගම සතුව තිබුණි. වසර දහසයක් පමණ ගතවන විට, මෙම ගුවන් යානා වැඩකට ගත නොහැකි තත්ත්වයකට පත්වීම, එහි ස්වභාවය ය. මේ නිසා ජනාධිපති පේ‍්‍රමදාස මහතා විසින් එයාර් බස් ආයතනයෙන් නව ගුවන් යානා කිහිපයක් ගෙන්වීම සඳහා එයාර් ලංකා ආයතනය වෙත අනුමැතිය ලබා දුන්නේය. ඒ අනුව එයාර් බස් වර්ගයට අයත්, 340 යානා දෙකක් පේ‍්‍රමදාස ආණ්ඩුව විසින් ශ‍්‍රී ලංකාවට
 ගෙන්වා ගත්තේය. වසර දහසයකින් පමණ ඉවත දැමිය යුතු එම යානා, අවුරුදු 22 ක කාලයක් පුරා පාවිච්චි කිරීම හේතුවෙන් රාජපක්ෂ ආණ්ඩු කාලයේදී හෙවත් 2014 වන විට නව ගුවන් යානා මිලදී ගැනීම සඳහා යායුතු බව ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ පරිපාලනය තීරණය කළේය. මේ කාලය වන විට ශ‍්‍රී ලංකන් ගුවන් සේවය සතුව තිබූ ගුවන් යානා බලඇණිය සැදී තිබුණේ, ඒ – 320 හෙවත් පටු බඳ ගුවන් යානා, ඒ – 330, ඒ – 340, යන පුළුල් ගුවන් යානාවලිනි. මෙයින් අර්ධයක් පමණ සමන්විත වූයේ, ඒ – 320 ගුවන් යානා මගිනි.

අලූත් ගුවන් යානා ගැනීමට තීරණයක්

 මෙම තීරණය ඊට වසර තුන හතරකට පෙර ගත යුතු වුවත්, එකල සිටි ශ‍්‍රී ලංකන් පරිපාලනය ඒ සඳහා වගකීමෙන් කටයුතු කර තිබුණේ නැත. 2014 වන විට සිටි, ශ‍්‍රී ලංකන්හි ප‍්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන විසින් එතෙක් සිදුව තිබූ පමාව වෙනුවට, තම පරිපාලනය යටතේ නව ගුවන් යානා ඇණවුම් කිරීම පිණිස තීරණය කළේය. ශ‍්‍රී ලංකන් ගුවන් සේවය සඳහා නව, ගුවන් යානා මිලදී ගතයුතු බවට තීරණය කරන ලද මොහොතේ සිට ඒ සඳහා නොයෙක් වාද විවාද මතු විය. එය කොතෙක් දුර දිග ගියේ ද කිවහොත් රාජ්‍යතාන්ත‍්‍රික ගැටලූවක් තරමට එය ප‍්‍රබල වී තිබුණි. යුරෝපයේ නිෂ්පාදනය කරන එයාර් බස් වර්ගයේ ගුවන් යානා වෙනුවට තම රටේ නිෂ්පාදනය කරන බෝයිං ගුවන් යානා මිලදී ගන්නා ලෙස, ඇමරිකානු රජය විසින් රාජපක්ෂ ආණ්ඩුවට බලපෑම් කරන තරමට ප‍්‍රශ්නය තීව‍්‍ර විය.

ආණ්ඩුව පෙරළුෑ බෝයිං – එයාර් බස් ගනුදෙනුව

 බෝයිං ගුවන් යානා ශ‍්‍රී ලංකන් වෙත මිලදී ගත්තේ නම්, ඒ වන විට එයාර් බස් ගුවන් යානා අලූත්වැඩියාව සහ සේවා සැපයීම පිණිස සියලූ සම්පත් තිබූ ශ‍්‍රී ලංකන් ආයතනය වෙත, නව සේවා මධ්‍යස්ථානයක් බෝයිං වෙනුවෙන් වෙන්කිරීමට සිදුවෙනවා ඇත. එසේම ඒ වන විටත් ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ නියමුවන්ගේ සිට කාර්මිකයා දක්වා සියලූදෙනා විශේෂඥභාවයක් ප‍්‍රකට කර සිටියේ බෝයිං පිළිබඳව නොව, එයාර් බස් ගුවන් යානා පිළිබඳව ය. මේ සියල්ල සලකා බලා එයාර් බස් වර්ගයට අයත් ඒ-350 යානා සිය ආයතනයට මිලදී ගැනීමට ශ‍්‍රී ලංකන් පරිපාලනය තීරණය කළේය. මානව හිමිකම් ඉදිරියට දමා, රාජපක්ෂ ආණ්ඩුව සමග ඇමරිකා එක්සත් ජනපදය හැප්පීමට එක් හේතුවක් වූයේ, සිය රටේ නිෂ්පාදනය කරන බෝයිං ගුවන් යානා වෙනුවට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීම බව පසුව ආරංචි විය.

 එයාර් බස් ගුවන් යානා, ශ‍්‍රී ලංකන් වෙත මිලදී ගැනීමට සැරසෙන විට එයට විරුද්ධව චෝදනා කිහිපයක් සමහර පාර්ශ්ව එල්ල කළේය. ”දුර දුවන ගුවන් යානා අපිට ගැලපෙන්නේ නැහැ. අපි යන්නේ ළඟ ළඟ රටවලට…” යැයි කියමින් සමහරු ඒ සඳහා ප‍්‍රතිචාර දැක්වීය. එසේ තිබියදී ප‍්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන විසින් එයාර් බස් මිලදී ගනු ලැබුවේ, සිය පස් අවුරුදු සැලැස්මට අනුකූල බව කියමිනි. එම සැලැස්ම අනුව යුරෝපයට සහ චීනයට ගමන් කිරීම සඳහා ශ‍්‍රී ලංකන් අපේක්ෂා කර තිබුණි. ඒ වන විටත් ඒ – 330 යානා මගින් සිය යුරෝපීය ගමනාන්ත වෙත ශ‍්‍රී ලංකන් පියාඹමින් සිටියේය. මේ නිසා වැඬේට කදිමට ගැලපී තිබුණේ එයාර් බස් ගුවන් යානා ය. ඒ වන විටත් ලෝකය පුරා ප‍්‍රධාන පෙළේ ගුවන් සේවා ආයතන 33 ක් විසින් ඒ – 350 යානා 613 ක් පරිහරණය කරමින් සිටියේය. මේ සියලූ සාධක අනුව ශ‍්‍රී ලංකන් ගුවන් සේවය සඳහා මිලදී ගත යුතුව තිබුණේ එයාර් බස් වර්ගයේ ගුවන් යානාය. පසුගිය බ‍්‍රහස්පතින්දා, කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ භාර්යාව වන ප‍්‍රියංකා නියෝමාලි විජේනායක වෙත මාංචු වැටෙන්නේ මෙම මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගත්තා යන චෝදනාව සම්බන්ධයෙනි.

එයාර් බස් වෙනුවට එයාර් කැප් එයි

air2

මේ සියල්ල බලා ඒ-350 යානා මිලදී ගැනීම සඳහා ඇණවුම භාරදීමට එයාර් බස් ආයතනය වෙත ශ‍්‍රී ලංකන් සමාගමේ පරිපාලන නිලධාරීහු ගියෝය. ඇණවුම වූයේ, ගුවන් යානා අටකි. 2017 වසර වන විට අවම තරමින් එයින් හතරක් හෝ තමනට අවශ්‍ය බව ශ‍්‍රී ලංකන් ආයතනය පවසා සිටියේය. එසේ වුවත් ඒ වන විට එයාර් බස් ආයතනය ලබාගෙන සිටි ඇනවුම් අනුව, එවැනි ඇණවුමක් තමන්ට එම කාලය වන විට ලබාදිය නොහැකි බව එයාර් බස් ආයතනය පවසා සිටියේය. 2020 වන තෙක්, තමනට ශ‍්‍රී ලංකන් ආයතනය වෙත, එයාර් බස් 350 වර්ගය සැපයිය නොහැකි හෙයින් තමන්ගෙන් මීට කලින් ගුවන් යානා ඇණවුම් කර තබාගෙන සිටින එයාර් කැප් ආයතනය සමග සාකච්ඡා කර ගුවන් යානා කිහිපයක් මිලදී ගන්නා ලෙස ශ‍්‍රී ලංකන් ආයතනයට, එයාර් බස් ආයතනය විසින් දන්වා සිටියේය. එයාර් කැප් යනු ගුවන් යානා ලීසිං කරනා ආයතනයකි. මෙවැනි තදබදකාරයන් සඳහා ගුවන් යානා සැපයීමට එයාර් කැප් ආයතනය, කලින්ම එයාර් බස් ගුවන් යානා සඳහා ඇණවුම් බාර දී තිබෙන බව සදහන් විය. දැන් සිදුවී ඇති හෙළිදරව්ව අනුව එයාර් කැප් සහ මෙම තදබදයේ ඇත්ත නැත්ත පිළිබඳව සොයා බැලිය යුතුමය. අවසානයේ එයාර් කැප් ආයතනය සමග ගුවන් යානා හතරක් සඳහා, ශ‍්‍රී ලංකන් සමාගම ගිවිසුම් අත්සන් කළේය.

 කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ භාර්යාවට එරෙහිව නැගෙන චෝදනාවේ පදනම ඇත්තේ මෙතැනය. ‘සිය අතරමැදියන් යොදාගෙන ගුවන් යානා කොන්ත‍්‍රාත් ලබා ගැනීම’ යන එයාර් බස් සමාගමට ඇති චෝදනාව ශ‍්‍රී ලංකාවේදී ගැළපිය හැක්කේ එයාර් කැප් සමගය.

නොසිතු ලෙස එළියට ආ අල්ලස් කතාව

 එයාර්බස් සමාගම විසින් අතරමැදියන් යොදාගෙන ශ‍්‍රී ලංකාව, මැලේසියාව, ඉන්දුනීසියාව, තායිවානය සහ ඝානා යන රටවල් සඳහා ගුවන් යානා කොන්ත‍්‍රාත් ලබාගැනීම සඳහා අල්ලස් ලබා දුන් බවට, අති දරුණු චෝදනාවක් එල්ල වන්නේය. මෙය අති දරුණු ලෙස හැඳින්විය හැක්කේ, ලෝකයේ මිලදී ගැනීම් ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් නැගුණු බරපතල චෝදනාවක් වීම නිසාය. අදාළ චෝදනා සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ බරපතළ වංචා කාර්යාලය, ප‍්‍රංශය සහ ඇමරිකා එක්සත් ජනපදය සිව් වසරක් පුරා ඒකාබද්ධ විමර්ශනයක් පැවැත්වූහ.චෝදනාවලට එරෙහිව පැවති නඩුව, බේරුම්කරණයකට එකඟ වීමත් සමඟ, එක්සත් රාජධානිය, ඇමරිකාව සහ ප‍්‍රංශ බලධාරීන්ට යුරෝ බිලියන 3.6ක මුදලක් ගෙවීමට එයාර්බස් සමාගමට සිදුවන බවට ලන්ඩන් අධිකරණය සිය අවසන් තීන්දුව ලබා දුන්නේය. කොහේ ගින්නක් පත්තු වුණත්, ඒ සඳහා ලංකාවේ ද නම ගෑවෙන බව පැවසීම සත්‍ය කරමින්, එයාර් බස් හි බේරුම්කරණ තීන්දුව, ශ‍්‍රී ලංකාවට උසාවියෙන් බේරාගත යුතු දරුණු නඩුවක් ඇති කර තිබුණි.

ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ නිලධාරියෙකුගේ බිරිඳක්…

 එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීම සහ බද්දට ගැනීමේදී එම සමාගම අතරමැදියන්ට විවිධ ක‍්‍රම ඔස්සේ අල්ලස් ලබා දී ඇති බව මෙම නඩුවේදී සාක්ෂි සහිතව හෙළිදරව් විය. 2011 ජූලි සිට 2015 ජුනි දක්වා කාලය ඇතුළත ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහළ නිලධාරියකුගේ බිරිඳට එයාර්බස් ගුවන්යානා ගනුදෙනුවක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 16 ක අල්ලසක් ලබා දීමට එයාර්බස් සමාගම එකඟ වී ඇති බව, ලන්ඩන් නඩු තීන්දුවෙන් හෙළිවීමත් සමග, ඒ පිළිබදව ‘මෙහේ ගිනි පත්තු වෙන්නට’ පටන් ගත්තේය.

 එයාර්බස් මිලදී ගත් මැලේසියාවේ ද තත්ත්වය එයම විය. ලන්ඩන් නඩු තීන්දුව නිමා වූයේ, ප‍්‍රබල ගුවන් සේවා ගණනාවක පමණක් නොව, ඒවා හිමි රාජ්‍ය ගණනාවක් ද උණුසුම් කරමිනි. එයාර්බස් සමාගම විසින් අධිකරණයේදී එකඟතාවය වෙනුවෙන් නිකුත් කරන ලද ලියවිලි, සිය ගෝලීය නියෝජිතයින් සහ අතරමැදියන් පිළිබඳව සවිස්තරාත්මකව සඳහන් කර තිබුණි. මේ අනුව අදාළ යටිමගඩි සඳහා ප‍්‍රංශයේ සහ ජර්මනියේ සමාගම් සහ පුද්ගලයන් දායක වූ බව හෙළිදරව් විය.

රටවල් ගණනක ගුවන් යානා ‘ගිනි’

air3

 මැලේසියාවේ එයාර් ඒෂියා හි ඉහළ නිලධාරීන් සම්බන්ධයෙන් එහිදී හෙළිදරව් වීමත් සමග එයාර් ඒෂියා හි කොටස් අගය 11% දක්වා පහතට වැටෙන්නට පටන් ගත්තේය. එයාර් ඒෂියා සමූහයේ ප‍්‍රධාන විධායක නිලධාරී ටෝනි ෆර්නැන්ඩස් සහ සභාපති කමරුඩින් මෙරානුන් යන ආසියාවේ විශාලතම අඩු මිල ගුවන් සමාගමේ සම-නිර්මාතෘවරුන් දෙදෙනා වෙත එල්ලවූ මේ චෝදනාව සමග ඔවුන් එතෙක් ගොඩනගාගෙන තිබුණු කිර්ති නාමය වෙනුවට අපකීර්තිමත් දූෂිත ලේබලයක් ඇලවෙන්නට විය.

 මිලිටරි ප‍්‍රවාහන ගුවන් යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් රජයේ නිලධාරියෙකුගේ ඥාතියෙකු වෙත එයාර් බස් ආයතනය මගින් ගෙවීම් කළ බවට චෝදනා කරමින් ඝානාවේ දේශපාලන කුණාටුවක් ඇති විය.

 කොලොම්බියාවේ ගුවන් සමාගමක් වන ඒවියන්කා ආයතනයේ ලොකු පුටු වෙත ද මෙම චෝදනාව ගොනු වීමත් සමග ඔවුන් ප‍්‍රකාශ කර සිටියේ, එයාර් බස් සමාගම සමඟ ඇති සම්බන්ධය විමර්ශනය කිරීමට සහ එහිදී සිදුවී ඇතැයි පැවසෙන දූෂණ සම්බන්ධයෙන් සෙවීමට ස්වාධීන නීති ආයතනයක් වෙත භාර දුන් බවය. බේරුම්කරණ ලියකියවිලිවල සඳහන් වූයේ එවියන්කා සමාගමට ජෙට් අලෙවි කිරීමේදී එහි ඒජන්තවරයෙකු වෙත ඩොලර් මිලියන ගණනක කොමිස් මුදලක් ගෙවීමට එයාර් බස් එකඟ වූ බවය.

 ශ‍්‍රී ලංකන් ගුවන් සේවය වෙත මෙම නඩු තීන්දුව ඔස්සේ චෝදනා එල්ලවීමත් සමග අදාළ දූෂණය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදු කරන මෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබාදුන් අතර, ඒ සඳහා ජනාධිපති කොමිසමක් පත් කිරීමට ද පියවර ගනු ලැබීය. ඒ සමග වේගයෙන් ක‍්‍රියාත්මක වූ නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා සිටියේ අදාළ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.

2011 ජුලි සිට 2015 ජුනි දක්වා කාලය ඇතුළත ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහළ නිලධාරියකුගේ බිරියට එයාර්බස් ගුවන්යානා ගනුදෙනුවක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 16 ක අල්ලසක් ලබා දීමට එයාර්බස් සමාගම එකඟ වී ඇති බව, ලන්ඩන් අධිකරණයේදී හෙළිදරව් වූ බව බීබීසිය සිය වාර්තාවකින් සනාථ කළේය. එම වාර්තාව අනුව ඉහත කී මුදල ගෙවීම සඳහා බෘනායි රාජ්‍යයේ ඒ වෙනුවෙන්ම ව්‍යාජ සමාගමක් තිබුණි.

 ගුවන් යානා දහයක් මිලදී ගැනීමට සහ තවත් ගුවන් යානා හතරක් බද්දට ගැනීමට ශ‍්‍රී ලංකා රජයට බලපෑම් කළ හැකි අතරමැදියෙකු ලෙස, මෙම කාන්තාව යෙදවීම මෙහි අරමුණ වී ඇත. කෙසේ නමුත්, අදාළ ‘නිලධාරී බිරියට’ ගුවන් යානා විෂය සම්බන්ධයෙන් කිසිදු දැනුමක් නැතැයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ. 2013 මාර්තු 29 වන දින එයාර්බස් සමාගම විසින් A330 වර්ගයේ ගුවන් යානා හයක්, A350 ගුවන් යානා හතරක් ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමට විකිණීම සහ තවත් A350 ගුවන් යානා හතරක්, බදු දීම සඳහා අතරමැදියකු සමඟ ගිවිසුමක් අත්සන් කර තිබූ බව අධිකරණ වාර්තාවේ දැක්වේ. මේ අතර, ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගම මිලදී ගන්නා සෑම A330 ගුවන් යානයක්ම සඳහා ඩොලර් මිලියනයක්ද, බදු ගන්නා සෑම A350 ගුවන් යානයකටම ඩොලර් මිලියන 1.16 ක් ද කොමිස් මුදලක් ලෙස අතරමැදියාට ගෙවීමට එකඟ වී ගිවිසුමක් අත්සන් කර තිබුණි. එමෙන්ම, 2015 ඔක්තෝබර් 30 වන දිනට පෙර ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගම වෙනත් කිසිදු තරගකාරී ගුවන් සමාගමකින් වෙනත් ගුවන් යානා මිල දී නොගන්නේ නම්, අතරමැදියාට තවත් ඇමරිකානු ඩොලර් මිලියන පහක් ලබා දීමට අදාළ ගිවිසුම මඟින් එයාර්බස් සමාගම එකඟ වී තිබිණි.

කෙසේ නමුත්, එයාර්බස් සමාගම අතරමැදියාට ගෙවා ඇත්තේ පෙර එකඟ වූ ඇමරිකානු ඩොලර් මිලියන 16.84ක මුදලෙන් ඇමරිකානු ඩොලර් මිලියන දෙකක් පමණි.

 2013 ජුනි 19 පැරීසියේ පැවැත්වුණු ගුවන් යානා ප‍්‍රදර්ශනයේ දී, එයාර්බස් සමාගමේ A330 ගුවන් යානා හයක් ඇණවුම් කිරීමට ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම පියවර ගෙන ඇතැයි අධිකරණ වාර්තාවේ දැක්වෙයි. එම ගුවන් යානා හය ශ‍්‍රී ලංකාවට එවීමට කටයුතු කර තිබිණි. එසේ වුවත් 2013 ජුනි 28 ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම සහ එයාර්බස් සමාගම අතර ඇති වූ දෙවෙනි ගිවිසුම් ප‍්‍රකාරව ඇණවුම් කරන ලද A350 ගුවන් යානා හතර ශ‍්‍රී ලංකාවට එවා නොමැත.

එක්සත් රාජධානිය මෙම විමර්ශනවල මූලිකත්වය ගත්තේ ඇයි?

 ලොව පුරා බොහෝ රටවල් අපනයන මූල්‍ය ආයතනවලින් ලබාගන්නා ණය මුදල් සිය රටවල භාණ්ඩ අපනයනය සඳහා යෙදවීමට ක‍්‍රියා කරයි. එක්සත් රාජධානියේ අපනයන මූල්‍ය ආයතන ද එරටේ නිෂ්පාදන මිලදී ගැනීම සඳහා වෙනත් රටවලට බැංකු ණය ලබා දෙයි. එයාර්බස් සමාගම ද සිය ගුවන් යානා අපනයනය සඳහා ප‍්‍රංශ, ඇමරිකානු සහ බි‍්‍රතාන්‍යය සමාගම්වලින් ණය ලබාගෙන තිබිණි.

 එක්සත් රාජධානියේ බරපතල වංචා කාර්යාලය විමර්ශන පැවැත්වූයේ එයාර්බස් සමාගම අදාළ ගුවන් යානා කොන්ත‍්‍රාත් ලබා ගැනීම සඳහා මෙම ණය මුදල් යෙදවීම පිළිබඳය. එයට මුල් වූ හේතුව නම්, අදාළ ගනුදෙනුවලට අතරමැදියන් සම්බන්ධ කර ගැනීම ප‍්‍රයෝජනවත් වන්නේ කෙසේදැයි හේතු දැක්වීමට එයාර්බස් සමාගම අපොහොසත් වීමය.

 විමර්ශන පැවැත්වෙන කාලය ඇතුළත එයාර්බස් සමාගම ඉදිරිපත් කළ අපනයන ණය මුදල් ඉල්ලූම්පත් නැවත්වීමට එක්සත් රාජධානිය, ප‍්‍රංශය සහ ජර්මනිය ක‍්‍රියා කළ නමුත්, 2018 වසරේ දී එම තීරණය ආපසු හැරවිණි.

අපනයන මූල්‍ය ආයතනය නොමඟ යවයි

air4

එක්සත් රාජධානියේ අපනයන මූල්‍ය ආයතනය අදාළ ගෙවීම් පිළිබඳ එයාර්බස් සමාගමෙන් විමසූ අවස්ථාවේ දී, ශ‍්‍රී ලංකාවේ අතරමැදි කාන්තාවගේ නම සහ ස්ත‍්‍රී පුරුෂ භාවය සම්බන්ධයෙන් නොමඟ යැවීමක් සිදු කර බෘනායිහි ලියාපදිංචි කළ ව්‍යාජ සමාගමට ඩොලර් මිලියන දෙකක මුදල ගෙවා තිබුණි.

 ”කොමිස් මුදල ලබා දෙන අතරමැදියාගේ අනන්‍යතාවය සැඟවීම සඳහා එයාර්බස් බලධාරීන් අදාළ කාන්තාවගේ නම සහ ස්ත‍්‍රී පුරුෂ භාවය ගැන බි‍්‍රතාන්‍ය මූල්‍ය ආයතනය නොමඟ යවා තිබෙනවා,” යැයි බි‍්‍රතාන්‍ය අපනයන මූල්‍ය ආයතනය සිදු කළ ප‍්‍රකාශයක් අධිකරණ වාර්තාවේ සඳහන් වේ.

 එයාර්බස් සමාගම සිය අතරමැදියන්ට ගෙවීම් සිදු කරනු ලබන්නේ යුරෝවලින් පමණි. මේ හේතුව නිසා ශ‍්‍රී ලංකාවේ අතරමැදි කාන්තාව යුරෝ ගනුදෙනු සඳහා ‘ස්ටෑන්ඩර්ඞ් චාර්ටර්ඞ් බැංකුවේ‘ (Standard Chartered Bank) විශේෂ ගිණුමක් විවෘත කර ඇතැයි අධිකරණ වාර්තාවේ දැක්වෙන බව, බීබීසී වාර්තාව සඳහන් කරයි.

 කපිල චන්ද්‍රසේන සහ බිරිඳට එරෙහිව ඇති චෝදනා මෙන්න

 කොටුව මහෙස්ත‍්‍රාත් අධිකරණ නඩු අංක බී 14363/19 අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙතෙක් සිදුකළ විමර්ශනවලින් සනාථ වී ඇති කරුණු මෙසේය.

 * Biz Solutions නමැති සමාගම ප‍්‍රියංකා නියෝමාලි විජේනායක නමැත්තිය නමින් ලියාපදිංචි වී ඇති අතර ඇය එම සමාගමේ එකම අධ්‍යක්ෂිකාවය.

 * මෙම සමාගම පවත්වාගෙන ගිය ගිණුමට 2013.12.27 වෙනි දින ඇමරිකානු ඩොලර් මිලියන දෙකක් EADS HQ/ SSC France ත්‍ර්බජැ නමැති ප‍්‍රංශ සමාගමක් විසින් ඒවා ඇති අතර, කපිල චන්ද්‍රසේන එම මුදල ඔස්ටේ‍්‍රලියාවේ Commonwealth Bank හි පවත්වාගෙන ගිය ගිණුමකට මාරු කර තිබිණි.

 * Biz Solutions සමාගමට අයත් ගිණුම 2015.11.25 වෙනි දින වසා දමා ඇති අතර, ඒ වන විට එහි කිසිදු මුදලක් තිබී නොමැත.

 * ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම ප‍්‍රංශයේ එයාර් බස් සමාගම සමග A330-900 වර්ගයේ ගුවන් යානා හතරක් සහ A330-300 වර්ගයේ ගුවන් යානා හයක් මිලදී ගැනීමට 2013.05.16 වෙනි දින අවබෝධතා ගිවිසුමකට එළඹී ඇත.

 * ඉහත සඳහන් EADS HQ/ SSC France නමැති සමාගම එයාර්බස් SAS සමාගමේ මව් සමාගම වේ.

 * කපිල චන්ද්‍රසේන ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී ලෙස 2011.08.01 වෙනි දින පත් කර ඇති අතර, 2015 ජනවාරි මස දක්වා එම තනතුරේ කටයුතු කර ඇත.

 * ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරි ලෙස රාජකාරි කළ කපිල චන්ද්‍රසේන වෙත EADS HQ/ SSC France යන Air Bus SAS සමාගමේ මව් සමාගම ඇමරිකානු ඩොලර් මිලියන දෙකක් ඔහුගේ බිරිඳ වන ප‍්‍රියංකා නියෝමාලි විජේනායක යන අයගේ ඉහත දැක්වූ ගිණුම හරහා අල්ලස් හෝ තුටු පඬුරු වශයෙන් ගෙවා ඇති බව.

 * එම මුදල බාර ගැනීම සිදු කර ඇත්තේ සිංගප්පූරුවේ ස්ටෑන්ඩර්ඞ් චාර්ටර්ඞ් බැංකුවේ Biz Solutions නමින් ප‍්‍රියංකා නියෝමාලි විජේනායක පවත්වාගෙන ගිය ගිණුමෙන් බව.

 * ඉන් අනතුරුව ප‍්‍රියංකා නියෝමාලි විජේනායක සිය සැමියා වන කපිල චන්ද්‍රසේනගේ ඔස්ටේ‍්‍රලියානු Commonwealth Bank ගිණුමට එම මුදල් කොටස් වශයෙන් යැවීමෙන් මුදල් විශුද්ධිකරණය කිරීමේ වරද සිදු වී ඇති බව,

 * කපිල චන්ද්‍රසේන මුදල් විශුද්ධිකරණය කිරීමේ වරද සිදු කර ඇති බව පෙනී යන අතර, ඔහුගේ බිරිඳ වන ප‍්‍රියංකා නියෝමාලි විජේනායක එයට ආධාර අනුබල දී ඇති බව පෙනී යයි. තවද , මෙම දෙදෙනා ඉහත කී මුදල් විශුද්ධිකරණය කිරීමේ වරද සිදු කිරීමට දැනට පැමිණිල්ල නොදත් තවත් පුද්ගලයන් සහ සමාගම් සමග කුමන්ත‍්‍රණය කර ඇති බවද පෙනී යයි.

ජනවාරි අට පෙරළියෙන් එයාර් බස් අලූත් පාරකට

air5

ගුවන් යානා ශ‍්‍රී ලංකන් වෙත ලැබීමට පෙර 2015 ආණ්ඩු පෙරළිය සිදුවිය. ඒ අනුව අජිත් ඩයස් ශ‍්‍රී ලංකන් සමාගමේ සභාපති ලෙසත්, සුරේන් රත්වත්තේ එහි ප‍්‍රධාන විධායක ලෙසත් පත් විය. නව පරිපාලනය විසින් ශ‍්‍රී ලංකන් භාර ගන්නා විට, එහි පාඩුව වූයේ රුපියල් බිලියන 16.5 ක් හෙවත් කෝටි 1650 කි. එය වැඩිම පාඩුව ලබන ලද්දේ, 2014 වසරේදීය. එම පාඩුව රුපියල් බිලියන 32 ක් හෙවත් කෝටි 3200 ක් විය. රාජපක්ෂ ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද පස් අවුරුදු සැලැස්ම අනුව 2014 පාඩුව ඊළඟ වසර වන විට භාගයකින් අඩු කර ගැනීමටත්, 2016 වන විට ලබන පාඩුව තවත් භාගයකින් අඩුකර ගැනීමටත්, 2018, 2019 වසර වන විට, ලාභ – පාඩු සම මට්ටම හෙවත් පාඩු නොලබන තත්ත්වයක් දක්වා පත් කර ගැනීමත් අරමුණ වී තිබුණි. 2015 අපේ‍්‍රල් 31 වෙනිදායින් අවසන් වන මුදල් වර්ෂයේදී රාජපක්ෂ ආණ්ඩුවේ සැලසුම තිතට හරි ගොස් තිබුණි. ආණ්ඩු පෙරළියෙන් පත්වූ නව පරිපාලනය යටතේම රාජපක්ෂ ආණ්ඩුව විසින් ශ‍්‍රී ලංකන් වෙත ලබාදුන් ජයග‍්‍රහණය එළි දැක්වී තිබුණි. නව පරිපාලනය ඒ සියලූ සැලසුම් පසෙක දමා, වියදම් අඩු කිරීමේ නව ක‍්‍රමවේදයක් ශ‍්‍රී ලංකන් වෙත හඳුන්වා දෙන්නට පටන් ගත්තේය. පැරිස්, ෆ‍්‍රෑන්ක්ෆට්, මිලානෝ, රෝමය යනාදී ගමනාන්ත කපා හරිමින් ‘යහපාලන කොස් කටිං’ ක‍්‍රමවේදය දියත් වන්නට පටන් ගත්තේය. එහි අග‍්‍ර ඵලය වූයේ, කිසිදු විද්‍යාත්මක ක‍්‍රමවේදයක් නොමැතිව එයාර් කැප් ආයතනය මගින් ශ‍්‍රී ලංකන් වෙත කල්බදු ක‍්‍රමය යටතේ ලබාගෙන තිබූ ඒ – 350 ගුවන් යානා තුන ගැනීම අවලංගු කිරීමය.

 එයාර්බස් ගනුදෙනුවේදී ශ‍්‍රී ලංකන් ආයතනය දෙවන වරටත් අපචාරයට ලක්වන්නේ මෙතැනදීය.

 මෙම අවලංගු සිදුවන්නේ හිතුමතේටය. ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතියක් හෝ ජනාධිපතිවරයා වෙත කරන ලද දැනුම්දීමක් ආදී කිසිවක් සිදු නොකරන තරම් ඉහළක, ශ‍්‍රී ලංකන් යහපාලන බලධාරීහු රැඳී සිටියෝය. එයාර්බස් ගනුදෙනු පිළිබඳව ලන්ඩන් අධිකරණ තීන්දුවෙන් පසුව පාර්ලිමේන්තුවේ ප‍්‍රකාශයක් කරමින් එවකට ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම සිය විෂය පථයට අයත්ව තිබූ කබීර් හෂීම් ප‍්‍රකාශ කරන ලද්දේ, තමන් මේ පිළිබඳව කිසිවක් නොදන්නා බවත්, එවකට ශ‍්‍රී ලංකන් පරිපාලනය බාරව සිටි පිරිස තමන් විසින් පත් නොකළා සේම ඔවුන් තමන් වෙත මේ කිසිවක් දැනුම් දුන්නේ ද නැති බවත්ය.

 ගිවිසුම අවලංගු කිරීමෙන් පසුව 2016 ඔක්තෝබර් 26 දින කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කරමින් ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාව හෙවත් පසුකාලීනව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් අවලංගු කර දමන ලද ‘එජාපයේ ආර්ථික මණ්ඩලය’ විසින් මෙම අවලංගු කිරීම පිළිබඳව කැබිනට් මණ්ඩලය වෙත දන්වා තිබුණි. ඒ පිළිබඳව නිරීක්ෂණ දක්වමින් ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩල සංදේශයක් මගින් පවසා ඇත්තේ, මෙම අවලංගු කිරීම සම්බන්ධව වෙනම අමාත්‍ය මණ්ඩල සංදේශයක් මගින් කරුණු දක්වන ලෙසය. ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය නොලැබීම ද මෙහි ඇති විශේෂත්වය ය. ජනාධිපතිවරයාගේ නිරීක්ෂණය සඳහා ‘කොළේ වසා ගැසීමකට’ පිරිස සැරසෙන්නේ ඒ අනුවය. ඒ වන විට සියල්ල ඉවර කර දමා තිබුණත්, එය නොදන්නා සේ මේ පිළිබඳව කැබිනට් මණ්ඩලයට දන්වා ‘වැඬේ කරන බව’ පැවසීමට එජාප බල ඇණිය කටයුතු කළේය. සියල්ල තම හිතුමතයට ඉදිරිපත් කිරීමෙන් පසු, මේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි කර ගැනීම සඳහා වෙනම කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කරන ලෙස අග‍්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා විසින්දන්වා යවන ලදි. ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ විෂය ක්ෂේත‍්‍රය හිමි රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යාංශය වෙත මේ බව දන්වා යවන්නේ, නොවැම්බර් 17 දිනය. මෙය පෙරහැර ගියාට පසු කස ගසනවා වැනි තත්ත්වයකි.

අවලංගුව අලවංගුවක් වෙයි

 සුරේන් රත්වත්තේ ප‍්‍රධාන විධායක නිලධාරිවරයා සහ එයාර් කැප් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී සීන් සොලවන් විසින් එයාර් බස් යානා තුන ලබා ගැනීම අවලංගු කර ඇත්තේ, මේ සියල්ලට පෙර 2016 ඔක්තෝබර් හතර වෙනිදාය. ඒ පිළිබඳව සභාපති අජිත් ඩයස් විසින් කරනු ලබන්නේ ඊ මේල් දැනුවත් කිරීමක් පමණය. එම දැනුම් දීම කර ඇත්තේ, පුද්ගලික ඊ මේල් පණිවිඩ කිහිපයකට පමණි. ඒ අතර ravikaru@icloud.comkabbahh@gmail.commolingam@hotmail.com යනාදී පුද්ගලයන්ට දන්වා තිබුණි. එම ඊ මේල් පණිවිඩය, ආචාර්ය රාජන් සාරා සහ ප‍්‍රධාන විධායක නිලධාරී සුරේන් රත්වත්තේ යන අයට ද යවා තිබුණි. ඒ සඳහා ප‍්‍රතිචාර දක්වමින්, ශ‍්‍රී ලංකන් සභාපති අජිත් ඩයස් වෙත අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ සේවය කරන චරිත රත්වත්තේ විසින් දන්වා ඇත්තේ, ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපතිවරයා විසින් තමාට දන්වා ඇති පරිදි ඉදිරියට යායුතු බවත්, අග‍්‍රාමාත්‍යවරයා විසින් ඔහුට ඒ සඳහා උපදෙස් ලබා දී ඇති බවත්ය. එසේ නම් මේ මරාලයේ අවසානයේ පැටවෙන්නේ කා පිටද යන්න දැන් පැහැදිලිය.

ජනාධිපතිටත් වඩා බලවත් රාජන් සාරා…

air6

මෙම පණිවිඩය අනුව ආචාර්ය රාජන් සාරා නමැති චරිතය මෙම කල්බදු ගිවිසුම අහෝසි කිරීම ඉදිරියට ගෙන ගිය බව සඳහන් වේ. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත නොදන්වා, කැබිනට් මණ්ඩලයට නොදන්වා එවැන්නක් සඳහා සාකච්ඡා සිදු කළ මේ රාජන් සාරා කවුද…? එවැන්නෙක් වෙත ජාතියේ ගුවන් සේවය සම්බන්ධ මෙවැනි තීන්දු තීරණ, සියල්ලන්ටම ඉහළින් සිට ගත හැකිද…?

 තමන්ගේ නිවසේ බලූ කුඩුවක් ඉවත් කරනවා සේ මෙම ගිවිසුම අහෝසි කිරීමට ශ‍්‍රී ලංකන් ප‍්‍රධාන විධායක නිලධාරි සුරේන් රත්වත්තේ ගත් තීන්දුව සඳහා රුපියල් බිලියන 17.8 ක මුදලක් හෙවත් කෝටි 1780 ක වියදම් කරනට ශ‍්‍රී ලංකන් වෙත සිදුවිය. ඒ කල්බදු ගිවිසුම අවලංගු කිරීම ගාස්තුව ලෙසය. මෙම අහෝසි කිරීමේ අතිරේක කොන්දේසි කිහිපයක් විය. ඒ අනුව ඒ – 330 වර්ගයේ පෘතුගාලයේ ගාල් කරන ලද ‘පට්ට ගසන ලද’ ගුවන් යානයක් ශ‍්‍රී ලංකන් වෙත භාර ගැනීමට සිදුවිය. මෙම යානය නිරීක්ෂණය කරන ලද ශ‍්‍රී ලංකන්හි ඉංජිනේරුවන් එය ලබා නොගන්නා ලෙස නිර්දේශ කරන ලද මුත්, මේ දරහැව පැදගෙන පැමිණි පෘතුගීසි ජාතික නියමුවන් දෙදෙනෙක්, එය අපේ ගුවන් තොටුපළේ නවතා දමා යන්නට ගියහ. ඊට හේතුව වූයේ වෙනදා නව ගුවන් යානයක් පැදගෙන සිය රටට ගෙන ඒමට ශ‍්‍රී ලංකන් නියමුවන් යතත්, මෙම ගුවන් යානය පැදගෙන ඒම ඔවුන් විසින් ප‍්‍රතික්ෂේප කිරීමය. 2009 වසරේ මාර්තු මාසයේ නිෂ්පාදනය කරන ලද මෙම යානය වසර දහයකට වඩා පැරණිය. ශ‍්‍රී ලංකන් වෙත සිය ගුවන් මෙහෙයුම් සඳහා මෙය ලබාදී ඇතත්, එය ගුවන් යානා කටුගෙයකට මිස සක‍්‍රීය ගුවන් සේවයක ධාවනයකට යොදා ගත නොහැක්කකි. මසකට ලක්ෂ 999 ක කල්බදු වාරිකයක් ගෙවමින් එය දැන් පැත්තකට කර දමා තිබේ. මේ ශ‍්‍රී ලංකන් උදෙසා දියත් කරන ලද ‘යහපාලන කොස් කටින්’ ප‍්‍රතිපලයක්ය.

 ඒ සමග තවත් කරුමයකට කර ගැසීමට ශ‍්‍රී ලංකන් වෙත සිදුවිය. තවත් කොන්දේසියක් සැපිරීම සඳහා එයාර් බස් ඒ 330 තවත් යානයක කල් බදු කාලය නිකරුනේ දීර්ඝ කර ගැනීමට ශ‍්‍රී ලංකන් වෙත සිදුවිය. 2004 වසරේ නිෂ්පාදනය කර ඇති එම යානය, සඳහා වන කල් බදු කාලය තවත් වසර දහයකින් දීර්ඝ කර ගැනීම, මළ මිනියකට වසර දහයක් පමණ කන්න අඳින්න දෙනවා වැනි වැඩකි. සාමාන්‍යයෙන් මෙවැනි ගුවන් යානයක ආයු කාලය වසර අටක් පමණ වේ. නව කොන්දේසි හේතුවෙන් ඒ සඳහා වසර 24 ක පමණ කාලයක් කල්බදු ශ‍්‍රී ලංකන් විසින් ගෙවිය යුතුය. ඒ සඳහා මාසිකව ගෙවිය යුතු කල්බදු වාරිකය රුපියල් ලක්ෂ 650 ක් පමණය. මේ යහපාලනය විසින් ශ‍්‍රී ලංකන් වෙත ලබා දෙන ලද අපමණ අගයය. අවාසිදායක කොන්දේසි ගණනාවක් සඳහා යටත් වී මෙසේ ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව හේතුවෙන් ශ‍්‍රී ලංකන් ගුවන් සේවය, මේ වනවිට පිම්මේ යන්නේ පාඩුවෙන් පාඩුවටය.

 මෙවැනි අර්බුද මධ්‍යයේ වුවද ආරක්ෂාව අතින් ශ‍්‍රී ලංකන් ගුවන් සේවය සිටිනුයේ, තරු හතේ ශ්‍රේණි ගත කිරීමේය. කටාර් එයාර් වේස් ආයතනය පවා සිටින්නේ තරු හයේ ශ්‍රේණි ගත කිරීමේය. භූමියේදී එල්ල වූ එල්ටීටීඊ ප‍්‍රහාර හැරුණු කොට ශ‍්‍රී ලංකන් වෙත ගුවනේදී කිසිදු අනාරක්ෂිත සිද්ධියක් සඳහා මුහුණ පාන්නට සිදුවී නැත. එදා ශ‍්‍රී ලංකන් ගුවන් සේවයට පටබැඳී තිබුණේ, එහි ශ්‍රේණි ගත ඉංග‍්‍රීසි අකුරු වන යූ.එල්. යන්න සඳහා යූෂුවලි ලේට් හෙවත් ‘සුපුරුදු පමාව’ යන්නය. ඒ සියල්ල බිඳ දමා, මේ වන විට ශ‍්‍රී ලංකන් හිමිකර ගෙන ඇත්තේ, ලෝකයේ නියම මොහොතට ගොඩබාන ගුවන් සේවා අතර පස්වෙනි ස්ථානය ය. ඒ ශ‍්‍රී ලංකන් සේවක කැපවීමය. ඉහත දැක්වූයේ ජනතාව විසින් තාවකාලිකව පරිපාලනය භාර දුන් පිරිස ශ‍්‍රී ලංකන් වෙත ලබා දුන් අපමණ අගයය. මේ සියල්ලේ ශේෂය විඳිය යුත්තේ, බස් එකේ එල්ලී, කෝච්චිය පත්තේ එල්ලී යන ජනතාවය.

උපුටා ගැනීම දිවයින ඉරිදා සංග්‍රහය

Related posts

උසස් පෙළ ප්‍රතිඵල ගැන බන්ධුලට ගැටළුවක්… කුමන්ත්‍රණයක් ගැනත් කියයි…

colombotoday

ලොව විශාලතම මෝටර් රථ ප්‍රවාහන නෞකාව හම්බන්තොට එයි

colombotoday

සිර දඩුවම් විදින සැකකරුවකු මගදී මාලයක් කඩා දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයේදී පනී

Admin

වෙන්න ගිය විනාශයෙන් රට බේරා ගත්තේ මමයි – රංගේ

colombotoday

පාසැල් ක්‍රීඩා යළි අරඹන්න සුදානම් – ක්‍රීඩා ඇමති

colombotoday

VAT වැඩි කළද සත්ත්ව නිෂ්පාදන මිල වැඩි කරන්නේ නැහැ

Admin