Colombo Today Local NewsEntertainment

මහගම සේකරයන්ගේ 90වන ජන්ම දිනය අද… ඒ වෙනුවෙන් තැබෙන සටහනකි

ශ්‍රී ලංකාවෙන් බිහිවුණු අග්‍රගණ්‍ය කලාකරුවෙකු වශයෙන් සැලකෙන මහගම සේකරයන්ගේ 90වන ජන්ම දිනය අදට යෙදී ඇත. 1929 අප්‍රියෙල් මස 7 මෙලොව එලිය දුටු ඔහු කවියකු, ගීත රචකයකු, නවකතා කරුවකු, කෙටි කතා කරුවකු, නාට්‍ය රචකයකු සහ චිත‍්‍රපට අධ්‍යක්ෂකයෙකු වශයෙන් සුපතල විය. ඔහු වැඩි වශයෙන්ම ප්‍රසිද්ධ වූයේ සිංහල ගීත රචකයෙකු වශයෙනි. සිංහල නිසඳැස් පද්‍ය කලාවේ සුවිශේෂී සලකුණක් තැබු සේකරයන් 1976 ජනවාරි මස 14 වනදා මෙලොවින් සමු ගත්තේය.

මහගම සේකරගේ කවිය සහ ගීතය, අපගේ සිංහල සාහිත්‍ය වංසය පුරා පැතිර ගිය කාලපරිච්ඡේදය, අවුරුදු විස්සකට අඩු තරම්ය. වරින් වර ඔහුගේ කවි සහ ගීත පුවත්පත් හා සඟරාවල පළ වුවද, ඔහුගේ ග්‍රන්ථාගත මුල්ම කවිය පළව ඇත්තේ, 1960 වසරේදීය. ඔහු මෙලොව හැර ගියේ, 1976 ජනවාරි 15 වැනිදාය. කවියාගේ මහා කාව්‍යය වන ප්‍රබුද්ධ, ඔහුගේ මරණින් පසුව 1977 දී ප්‍රකාශයට පත් විය.

කේ. ජයතිලකගේ රචනා කිහිපයක්ද ඇතුළුව, 1960 දී පළ වුණු ව්‍යංගා නමැති කෘතියෙහි, මහගම සේකරගේ මුල් කව් පළ විය. ඉන් අනතුරුව සක්වා ලිහිණි (1961), හෙට ඉරක් පායයි (1963), මක්නිසාද යත් (1964), රාජතිලක, ලයනල් සහ ප්‍රියන්ත (1967), බෝඩිම (1970), නොමියෙමි (1973), ප්‍රබුද්ධ (1977) යන කාව්‍ය කෘතීන් ප්‍රකාශයට පත්ව ඇත.

මහගම සේකර විසින් කවියේම සහෝදරයකු හැටියට හඳුන්වන ලද ගීත රචනා සංග්‍රහ දෙකක්, ඔහු නමින් පළ විණි. මහගම සේකර‍ගේ ගීත නමැති කෘතිය නිකුත් වූයේ 1972 දීය. ඔහුගේ මරණින් පසුව, 1984 දී, මහගම සේකරගේ නොපළ ගීත යන හිසින් තවත් ගීත සමුච්චයක් ප්‍රකාශයට පත්ව ඇත. එසේම 1961 දී පළවුණු සද්දන්ත හා තවත් නාටක නමැති කෘතියෙහි, ඔහුගේ ගීත සංඛ්‍යාවක් ඇතුළත් විය. ගුණසේන ගලප්පත්ති සමඟ ලියා පළ කළ මූදු පුත්තු නාට්‍යයෙහි ගීත ලියන ලද්දේද, මහගම සේකර විසිනි.

මීටද අමතරව, ඔහු විසින් ලියන ලද ඉතා අපූරු නවකතා ද්වයක්ද වෙයි. ඉන් පළමුවැන්න වූ තුංමං හන්දිය 1967 දීද, දෙවැන්න වූ මනෝ මන්දිර 1971 දීද ප්‍රකාශයට පත් විය.

ඔහුගේ මරණින් පසුව 1981 දී, මහගම සේකරගේ කෙටිකතා හා චිත්‍ර නමැති කෘතියද, 1985 දී හංස ගීතය සහ වෙනත් නිර්මාණ යන කෘතියද ප්‍රකාශයට පත්ව ඇත.

රත්නසිරි අරංගල විසින් සංගෘහිත “හංස ගීතය සහ වෙනත් නිර්මාණ” නම් කෘතියෙහි, මහගම සේකර මුල් කාලයේදී රචනා කළ කුණ්ඩලකේශී, ත්‍රෛලෝකාධිපති, හංස ගීතය, සබ්බා නදී වංග ගතා සහ ගමන යන නාට්‍යයන් ඇතුළත්ය. ඒ අතරින් කුණ්ඩලකේශී, සබ්බා නදී වංක ගතා සහ ගමනා යන නිර්මාණ, සපුරාම ගීත නාටක ආකෘතියෙන් ලියන ලද්දේ විය. හංස ගීතය සහ ත්‍රෛලෝකාධිපති යන නිර්මාණ ද්වය, ගද්‍ය පද්‍ය මිශ්‍රිත ආකෘතියකින් නිර්මාණය වූයේය.

ඊටද අමතරව, රූබයියාට් කාව්‍යයේ තෝරාගත් පද්‍ය කිහිපයක අනුවර්තනද, තෝරාගත් සීගිරි ගී කිහියක සරල පද්‍ය ප්‍රතිකථනද එම කෘතියෙහි දැක්වෙයි. නෙළුම් මල සහ හිරකාරිය යන පද්‍ය නිර්මාණ දෙකක්ද එහි ලා සංගෘහිතව ඇත.

මහගම සේකර කවියා, සුප්‍රකට රූබයියාට් පද්‍ය දෙකක් සිංහලට නගන්නේ මෙපරිද්දෙනි.

“අවන්හලේ දොරකඩ ළඟ උන්නෝ
කුකුළා හඬලන කල මොර දුන්නෝ
“ඇරපන් දොර, ටික දවසයි ඉන්නේ
ගියාට පසු නෑ ආපසු එන්නේ”

“මී විත පුරවන්
පසුතැවිල්ල නම්
සීත කාලයේ ඇඳුම අරන්
වසන්තයේ ගිනි මැලයට ලා,
අන්න බලාපන්
කාල ලිහිණියා
පියාඹලා යනවා.
පියාඹන්ට තව ඌට තියෙන්නේ
ඉතාම ටික දුරකුයි”
“අනග්රි මිහිද්මි ලිතිම්
බදින් කිසෙස් බෙයන්ද්හි රන්වනුන් දුටුවො
ළද පියො වුර් දකුත් දකුත්
ඔවුන් නිසසල නුයුනට”

යන සීගිරි ගීය වර්තමාන කවි බසින් ප්‍රතිකථනය කරනුයේ, පහත දැක්වෙන ආකාරයෙනි.

“බෙය‍ඳේ රන්වමියන් දුටුවන් හට
ළද පියොවුර නිබඳව පෙනෙනා විට
උන්ගේ නිසසල ඇස් අරමුණු කොට
ගීත බැන්ද හැකි වේ දෝ කෙලෙසට”

ඉහත දැක්වූ නිදසුන් කිහිපයෙන් පෙනී යන්නේ, මහගම සේකර කවියා, ස්වකීය පද්‍ය රීතියත් බසත් පිළිබඳව පුළුල් අධ්‍යයනයක යෙදෙමින්, අභ්‍යාස ලබමින් සිටි බවය. නව පද්‍ය රීතියේ හැම ඉසව්වක්ම ඔහු විසින් ගවේෂණය කරන ලද්දේ විය. මෙම අභ්‍යාස යුගයටම අයත් වන පද්‍ය රචනා සංඛ්‍යාවකුත්, ගීත රචනා කිහිපයකුත් “හංස ගීතය සහ වෙනත් නිර්මාණ” යන කෘතියෙහි සංග්‍රහ කරනු ලැබ ඇත්තේය.

එහි දැක්වෙන “පහන” නමැති පද්‍ය රචනය මෙසේ වෙයි.

“නැඟී සිටිවු, දැන් නිදි කත් හරිවු, ලෝ
පහන් ව යේ ළා රිවි කැන් වැදී යයි.
දනන් කනේ ලා කියනා පරිද්දෙන්,
හඬත් කුරුල්ලෝ තුරු හිස් සැදුම් දුන්

“දුඹුල් රැසින් යුත් තුරු කැන් ගිලී ඒ,
කඩා හැලෙන්නා ලෙස පින්න වෑහේ
ස‍ඳේ කැලුම් බී සුදුවන් වුණා සේ
පෙනේ සිහිල් මීදුම් දූල ආසේ

“හැනී සුපුල් මල් සුව‍ඳේ පවන් දැල්
හමා බසින්නේ ලෙළවා සුනිල් පත්
තමන් අයත්කම් නිමැ වූ කුසුම්හී
පලා ගියේ අත් හැරලා කුසුම් හී!

“උදා හිරේ ළා කැල්මන් වැදීමෙන්
රනින් අලෙවු දුන් සිතුවම් පටන් මෙන්
දිලේ නෙරුක් මල් පල්ලෙන් සැදී ඊ
වටා සරත් මී මැස්සෝ සොයා මී

“රැයක් ගෙවී, අන් දවසෙක් උදා වී
“අපේ වැඩක් දැන්ම පටන් ගනුම්හ”යි
නැඟී උදා වත් නිමවා වසන් වී
දනෝ තමන් – ගේ කෙත් වත් බලා යෙත්,”

එහිලා දාතමක් නොදැක්වුණද, ම රචනය මහගම සේකරගේ කාව්‍යකරණයේ අභ්‍යාස යුගයට අයත් බැව්, සැලකීම අනුචිත නොවේ. එකී රචනයෙහි පෙනී යන වැගත්ම කාරණය නම්, කවියා මුනිදාස කුමාරතුංගගේ කවි රීතියෙන් හා කවි බසින් ලබන ලද නොමඳ ආභාසයයි. ශික්ෂා මාර්ගය 2 වැනි පොතෙහි පළ වූ කුමාරතුංගගේ සුප්‍රකට “උදය” නමැති රචනය දෙස බැලුව මැනවි.

“ඇසෙන්නෙ කා කා හඬ සෑම පැත්තෙන්
නැ‍ඟෙවු කියන්නා වැනි දැන් ම නින්දෙන්
දොරින් අඩක් මේ ඇරියා ම එන්නේ
සිහිල් සුළං “ආයුබෝවන්” කියා මෙන්

“පියා හඹත් කූඩුවලින් කුරුල්ලෝ
ඉතා ම මීරි යි හඬ දැන් ඔවුන්ගේ
සුළං වැදීමෙන් උදයේ සිහිල් වූ
අලුත් පණක් ගස්වලටත් ලැබී-ලා

“සෙවෙන් සෙමෙන් මල් කැකුළුත් තොසින් මෙන්
පිප‍ීගෙන යි එන්නෙ නෙළුම් විලේ මේ
අහස් දෙසේ රෝස ගසත් සිනා සී
බැලීමට යි දැන් සැරැසී සිටින්නේ

“දිසාවෙනැ යි මේ හිරු එන්නෙ පායා
හැරී සිටී සූරියකත් ගසේ මල්
රැසුයි දිළෙන්නේ ලණු මෙන් ඇදීලා
මඟුල් ගෙයක් දෝ ලොව මේ වෙලාවේ

“උතුම් වෙලාවැ යි කියමින් සියල්ලෝ
යෙදෙත් නොලස් වී ම තමන්ගෙ කම්හි
ඇඟත් සැහැල්ලු යි සිතෙහිත් බරෙක් නෑ
බලන්න පත් පොත් මට මේ වෙලාවයි”

වස්තු විෂයයෙන්, බසින් මෙන්ම විරිතින්ද, මහගම සේකර, කුමාරතුංග අනුගමනය කරන අයුරු මැනවින් පෙනී යයි.

මුනිදාස කුමාරතුංගගේ කවි බසින් ලබන ලස අභ්‍යාසය, පසු කලෙක මහගම සේකරගේ ගී බස හැඩගැස්වීම කෙරෙහිද බලපා ඇති අයුරු දැකගත හැක.

එසේ ලබන ලද ආභාසය වඩාත් නිදහස් ලක්ෂණ පළ කළ ගී බසක් දක්වා හැඩගැසෙන අයුරු, මුල් කාලයේදී රචිත ඇතැම් පද්‍ය නිර්මාණයෙක වුව, දැක්ක හැකිය. නිදසුනක් හැටියට, “වෙසක්” යන හිසින් එන නිර්මාණයේ ඇද දක්වන මෙම මුල් පද කිහිපය විමසා බැලුව මැනවි.

“මං නිවන්හි පෑ, මහා රදාණනේ!
සව් ලෙවන් දුකින් මිදූ, වෙදාණනේ
මේ වෙසක් දිනේ, මහත් බැතින් ඔබේ,
පා පියුම් පුදම්, ගොයුම් පියාණනේ

“ඇල් පවන් සෙමෙන් සෙමෙන් හමා බැසී, ළ – පත් සලා
ගස් – කොළන් සුදෙන් සදා, හ‍ඳේ රිදී කැලුම් ගලා
සෑ රදාණනේ, අහෝ, ඔබේ, ගුණේ බලා
ලෝ නිවී ගියා වැනියි සුසිල් දියේ මැ, පා! වැලා

“මල් බරින් නැමී වැටෙයි, ගසුත් වැලුත් – අහස් තෙලේ
මීරි වූ දසුන් මවා, නෙවන් පහක් කැලුම් නැ‍ඟේ
සුන්දරයි, දැකුම්කලුයි සියල් දිසා පහන් වැ නිවේ
සොම්නසේ අපාර සාගරේ ගිලී, මසිත් නිවේ

“සිත් කෙලෙස් මලින් මුදා – ‍දෙ – අත් කැලෑ (ම)ලින් සරා
බැතින් දනෝ
මෙ දා විඳිත් සුවේ
වෙසක් දිනේ අදයි”
සිල් සුදෙන් විහාර ගේ සදා, සැදෑ
සාමිනේ ඔබෙ දෙ – පා පුදා,
සාදු! සාදු!! සාදු!!! ඒ උතුම්

යට සඳහන් සාහිත්‍ය විෂය ක්ෂේත්‍රයන්ට අමතරව, මහගම සේකර ඉතා ප්‍රවීණ චිත්‍ර ශිල්පියකු වූ වගද, ප්‍රතිභා සම්පන්න චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ වගද ප්‍රකට කාරණයකි. තුංමං හන්දිය චිත්‍රපටය, තිර නාටකයද ලියා අධ්‍යක්ෂණය කරන ලද්දේ ඔහු විසිනි.

ස්වතන්ත්‍රව නිර්මාණය කරන ලද චිත්‍ර විශාල සංඛ්‍යාවකට අමතරව, විවිධ කතුවරුන‍්ගේ සාහිත්‍ය නිර්මාණ උදෙසා ඔහු විසින් නිමවන ලද කංචුක චිත්‍ර සංඛ්‍යාවද අනල්පය. ඒ අතින් සලකන විට, පොත් පිටකවර කලාවටද නව රීතියක් හා සම්ප්‍රදායක් හඳුන්වා දෙන ලද්දේ ඔහු විසිනි.

මෙපරිදි, කලාංග රැසක් පුරාම පැතිර ගිය ඔහුගේ නිසර්ග ප්‍රතිභා මහිමය සැබැවින්ම අසිරිමත්ය. ඒ සියල්ල ගැන සාහිත්‍යකාමීන්ගේ සහ අවශේෂ විද්‍යාර්ථින්ගේ අවධානය යොමු කරනු සඳහා, ලියා පළ කළ යුතු වන්නේ සුවිශාල ග්‍රන්ථයකි.

අවුරුදු විස්සක පමණ කාලයක් තුළ හැදී වැඩී පරිපාකයට පත්ව, ප්‍රබුද්ධ කාව්‍යයෙන් කූටප්‍රාප්ත වූ ඔහුගේ කවි මහිමය, ආශ්චර්යයකි, අතිශයින් ප්‍රබල නිසර්ග කවිත්වයක මහරු ඵලය, රටට ජාතියට බසට හා සාහිත්‍යයට නොමසුරුව ප්‍රදානය කළ මහගම සේකර නමැති නිර්ව්‍යාජ කවියාට, ඔහුගේම නිර්මාණ සම්පත්තිය හැරුණු විට, අනෙක් අභිදානයක් අවශ්‍ය වන්නේ නැත.

අන් කුමන කාර්යයකදී බොරු කළත් සාහිත්‍යයේදී බොරු කළ නොහැකියයි වරක් පැවසුවේ, රුසියානු මහ ගත්කරුවකුව සිටි ඇන්තන් චෙකෝව්ය. එය සැබෑවකි. කිසිම ව්‍යාජ නිර්මාණයක් අවසාන විග්‍රහයේදී සැබෑ සාහිත්‍ය නිර්මාණයක් හැටියට ඉතිරි වන්නේ නැත. මේ අතින් බලන විට, වර්තමාන සිංහල පද්‍ය වංසයෙහි අව්‍යාජ කෘතීන් හැටියට, මහගම සේකරගේ කාව්‍ය හා ගීත නිර්මාණ කාලයේ විනිශ්චයට ලක් වෙමින් මතු මත්තෙහිද පවතිනු ඇත්තේය.

මහගම සේකර කවියා, ස්වකීය “රාජතිලක, ලයනල් සහ ප්‍රියන්ත” නමැති කෘතියට ලියූ පෙරවදනින් උපුටා ගත් මෙම වැකි කිහිපය, ඔහු‍ගේ කාව්‍ය නිර්මාණ පිළිබඳව මෙන්ම ඔහු ගැනද කළ යුතු නිවැරදි විවරණය වෙතැයි මට සිතෙයි.

“කවිය වූකලී කවියාගේ ආධ්‍යාත්මය මිස අනෙකක් නොවේ. එබැවින් කවියා දේශීය වන තරමට, කවිය දේශීය ගුණයෙන් යුක්ත වෙයි. කවියා සංයමයෙන් යුක්ත වන තරමට, කවියෙහි සංයමය ඇති වෙයි. කවියා නිර්ව්‍යාජ වන තරමට, කවිය නිර්ව්‍යාජ වෙයි.”

මහගම සේකරත්, ඔහුගේ කවියත්, ඔහුගේ ගීතයත්, සාහිත්‍යකරුවකු හැටියට ඔහුගේ දෘෂ්ටියත් ගැන, ඊට වැඩි විවරණයක් කරනු අවශ්‍ය නොවෙයි. 

Related posts

යහපාලන ආණ්ඩුවේ කරුංකා හොරු, තේ හොරු, ගම්මිරිස් හොරු, අන්නාසි හොරුත් ඉන්නා බව ජනපති කියයි

colombotoday

පාස්කු ප්‍රහාරයට අදාළ අසම්පුර්ණ පරීක්ෂණ වාර්තා 18ක් වැඩබලන පොලිස්පතිවරයාට නැවත යවයි

colombotoday

පාඨලී ස්වාධීන වෙයි

colombotoday

දකුණු පළාත් ආණ්ඩුකාර කැෆේ කීර්තිට ඉල්ලා අස්වෙන ලෙස ජනපති දන්වයි

colombotoday

පිළිපීනයේ සිටි ලාංකිකයන් 223ක් දිවයිනට

colombotoday

ඥාණසාර හිමියන්ට අධිකරණයෙන් තීන්දුවක් !

colombotoday