Colombo Today Local News

කුඩු විකුණා උපයාගත් කෝටි 100 ක් ඩුබායි රටට ඇද්ද හැටි, මොහොමඩ් සිද්දික් කියයි

siddiqමහා පරිමාණ අන්තර්ජාතික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන මොහොමඩ් සිද්දික් නමැත්තා පාකිස්තානයේ සිට මෙරටට හෙරොයින් තොග පිටින් එවා කෙටි කලකදී රුපියල් කෝටි 100කට අධික ආදායමක් උපයාගෙන ඇතැයි රහස් පොලිසිය, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා වෙත දන්වා සිටියේය.

එලෙස මෙරටදී කුඩු විකුණා උපයාගත් විශාල මුදල කොළොන්නාවේ ස්ථානයකදී නීති විරෝධී ලෙස හවාලා ක්‍රමය හරහා ඩුබායි රටට සැකකරු විසින් ගෙන්වාගෙන ඇතැයි රහස් පොලිසිය අධිකරණය වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් දන්වා සිටියේය.

ඉකුත් මාර්තු මස 18 වැනිදා පාකිස්තානයේ සිට මෙරටට රැගෙන ආ සැකකාර මොහොමඩ් සිද්දික් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියෝග පරිදි මෙතෙක් සිදු කළ විමර්ශනවලදී අදාළ කරුණු හෙළිදරව් වූ බව රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

මෙරටට සැකකරු විසින් එවනු ලැබූ මත්ද්‍රව්‍ය විකුණා 2013 වර්ෂයේදී රුපියල් ලක්‍ෂ 700ක්, 2014 පෙබරවාරි මාසයේදී රුපියල් ලක්‍ෂ 1000ක්, මාර්තු මාසයේදී රුපියල් ලක්‍ෂ 2,550ක් යනාදී වශයෙන් උණ්ඩියල් ක්‍රමය මඟින්ද මුදල් ඩුබායි රටට ගෙන්වා ගෙන ඇති බවට අනාවරණය වී ඇතැයි දන්වා සිටි රහස් පොලිසිය, ඊට අමතරව තවත් විශාල මුදලක් කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් නසීර් නමැත්තා මඟින් නීති විරෝධී මුදල් හුවමාරු ක්‍රමයක් වූ හවාලා ක්‍රමය මඟින් ඩුබායි රටට ගෙනගොස් ඇතැයි රහස් පොලිසිය දන්වා සිටියේය.

සැකකාර මොහොමඩ් සිද්දික් අදාළ හෙරොයින් ජාවාරම මෙරට සිදු කරගෙන යමින් තිබුණේ ගම්පොළ විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා මඟින් බව දන්වා සිටි රහස් පොලිසිය, සැකකරු සම්බන්ධයෙන් මෙරටට හෙරොයින් තොග වශයෙන් ගෙන්වීමේදී අකිතාබ්දීන් නොහොත් “භාවා” යන පුද්ගලයාද සම්බන්ධ කරගෙන ඇති බවත් අධිකරණයට දන්වා සිටියේය.

එලෙස හෙරොයින් ජාවාරමට සම්බන්ධ වූ භාවා නමැත්තා මේ වන විට මෙරටින් පලාගොස් ඇතැයිද රහස් පොලිසිය අධිකරණය වෙත දන්වා සිටියේය. සැකකාර මෙහොමඩ් සිද්දික් නමැත්තා උණ්ඩියල් ක්‍රමයට ඩුබායි රටට මුදල් ගෙන්වා ගැනීමේදී මෙරට නියෝජිතයා ලෙස පත්කර තිබුණේ වැල්ලවත්ත පදිංචි අබුබකර් සහජන් නමැත්තා බවද රහස් පොලිසිය දන්වා සිටියේය.

මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනත යටතට ගැනෙන නීති විරෝධී ක්‍රියාකාරකමක් වන මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම තුළින් මුදල් උපයාගෙන ඇති බවට චෝදනා එල්ල වී තිබෙන මොහොමඩ් සිද්දික් නමැති සැකකරු ඔක්තෝබර් 02 වැනි දින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියම කෙළේය.

Related posts

ලංකා විදුලි පුද්ගලික සමාගමට (LECO) හොර පාරෙන් කළමනාකරණ සහකරුවන් බදවා ගැනීමේ සූදානමක්.

colombotoday

මහින්ද – බැසිල්ට විදෙස්ගත වීම තහනම්

colombotoday

අයි.එම්.එෆ් ණය මුදල් ලැබෙන්න නිශ්චිත කාලයක් නෑ

colombotoday

වීසා ගැන ඇමති ටිරාන් අලස්ගේ යෝජනාවට කැබිනට් අනුමැතිය

Admin

ද්‍රවිඩ සන්ධාන බලපෑමට ඉරණමඩු හමුදා කදවුර ඉවත් කෙරේ !

colombotoday

වැඩි ගාස්තු අය කරන අර්ධ සුඛෝපභෝගී බස් දෙසැම්බර් 31 දා සිට ඉවතට

colombotoday