Colombo Today Local News

ඇවන් ගාඩ් නඩුවේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණය තීන්දු කරයි

ගාලු වරාය ආසන්න මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධියට අදාළව ඇවන් ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුවේ ඇතැම් චෝදනා ගොනු කර ඇති ආකාරය නීතිවිරෝධී බව සඳහන් කරමින් විත්තිය විසින් මතුකළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දු කර තිබේ.

ධම්මික ගනේපොල ආදිත්‍ය පටබැඳිගේ සහ මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබීය.

ඒ අනුව නඩුවේ සාක්ෂි විභාගය සැප්තැම්බර් මස 02 වන දා ආරම්භ කරන බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළේය.

කෙසේ වෙතත් නඩුවේ ඉදිරි කටයුතු සලකා බැලීම සඳහා ජුලි මස 30 වනදා එය යළි කැඳවන ලෙස ද විනිසුරු මඩුල්ල නියම කළේය.

පැමිණිල්ල මෙහෙය වන ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ පළමුවන සාක්ෂිකරු ලෙස නම් කර සිටින රියර් අද්මිරාල් නිලන්ත හීනටිගල මහතාට එරෙහිව මෙම නඩුවේ විත්තිකරුවකු විසින් වැඩබලන පොලිස්පතිවරයාට පැමිණිල්ලක් සිදුකර ඇති බවත් එම සාක්ෂිකරු දේශපාලන පළිගැනීම පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති කොමිසම හමුවේ වගඋත්තරකරුවකු ලෙස නම් කර ඇති බවත් පැවසීය.

මෙම තත්ත්වය මෙම නඩුවේ ඉදිරි කටයුතුවලට බලපෑම් සිදුව හැකි ආකාරය පිළිබඳව පැමිණිල්ල සාකච්ඡා කරමින් සිටින බව ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් මේ පිළිබඳව විවෘත අධිකරණයේ අදහස් දැක්වූ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ධම්මික ගනේපොල මහතා, ජනාධිපති කොමිසම හමුවේ සිදුකරන කටයුතුතම අධිකරණයට කිසිසේත්ම අදාළ නොවන බව පැවසීය.

ජනාධිපති කොමිසම හමුවේ සිදුවන කාරණා සම්බන්ධයෙන් තම අධිකරණයට බැඳීමක් නොමැති බවත් එම සාක්ෂිකරු කැඳවීම සම්බන්ධයෙන් තීරණයක් ගත යුත්තේ පැමිණිල්ල විසින් බවත් සභාපති විනිසුරුවරයා අවධාරණය කර සිටියේය.

Related posts

අධිවේගයේ අනතුරකින් කතක් මරුට… 5ක් රෝහලේ..

colombotoday

කෝප් කමිටුව ගිනි ගනියි – හොරු රකින්න එජාපයෙන් වෙනම වාර්තාවක්

colombotoday

අයිස් ගහන පාර්ලිමේන්තු පොලිසියේ කොස්තාපල් ගෙවල් කොල්ලකලා

Admin

හරිත ආර්ථිකයක් ස්ථාපනයට ජනපති නව නීති ගෙන ඒමට සැරසෙයි

Admin

ඇමති රිෂාඩ් පිට පිටම දෙවන වරටත් CID යෙන් කට්ටි පනී !!

colombotoday

කොටින්ට ඔත්තු දුන් හමුදා කපිතාන් සාන්ඡ් මොහමඩ් නිදහස්‌

colombotoday